2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

මීයන් පණපිටින් අල්ලන යන්ත්‍රයක් හැදූ මාතර සිසුවා

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

නව නිපැයුම් දෙකක් ලොවට ඉදිරිපත් කරමින් රටවල් තිස් දෙකක් අතරින් ජයග්‍රහණය කිරීමට සමත් වූ සිසුවෙක් මාතර ශාන්ත සර්වේසස් මහා විද්‍යාලයේ සිටී. ඔහු කුඩාවිතානගේ ශෙහාන් ඉරෝෂන නම් ශිෂ්‍යයාය. පාසලේ 9 වසර බී පන්තියේ ඉගෙනුම ලබන ශෙහාන් අගෝස්තු මස 9 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හයක් පුරාවට දකුණු කොරියාවේ පැවැති අදාළ තරගයට ඉදිරිපත් විය. නව නිපැයුම් අංශයේ කාර්මිකරණ නිර්මාණ කුසලතා ඇගයීමේ එම තරගාවලියට රටවල් තිස් දෙකක් සහභාගිවී සිටි අතර මේ එම ලංකාවේ ශිෂ්‍යයෝ දහදෙනෙක් සහභාගි වූහ. ශෙහාන් ඉන් එක් සාමාජිකයෙකි.

“ශෙහාන් 8 වසර පන්තියේ ඉදිද්දී මම විද්‍යා විෂය භාර ගුරුතුමියයි. ඒ දවස්වල ශෙහාන්ගේ දඟ ගතියක් තිබුණා. ඒ කාලේදි ශෙහාන්ගේ මව සේවය කළේ විදෙස්ගතවෙලයි. 8 වසර පන්තියේ මම දුන්න ගෙදර වැඩකදි ශෙහාන් උනන්දුවෙන් සාර්ථකව ඇටවුමක් හදාගෙන ආවා. 2016 අවුරුද්දේ පාසල් බලශක්ති සංගමය මට මට භාර දුන්නා. ඒකේදි මම ශෙහාන්ව ඒ සංගමයට බඳවා ගත්තා. ඒ සංගමයේදි ශෙහාන් ලේසර් කිරණ යොදාගනිමින් ජලය අපතේ යාම වළක්වා ගන්නා ඇටවුමක් නිර්මාණය කළා”.

ශාන්ත සර්වේසස් මහා විද්‍යාලයේ නව නිපැයුම් සංගමය භාර සී. දිල්රුක්ෂි කුමානායක ගුරැතුමිය එසේ තම අදහස් දැක්වූවාය. 

එම ඇටවුම මාතර කලාප කාර්යාලයේදීත් පාසල් තරගාවලියකටත් ඉදිරිපත් කෙරිණි. නමුත් සර්වේසස් පාසලෙන් ඉදිරිපත් කළ වෙනත් සාර්ථක නිර්මාණ දෙකකට ජයග්‍රහණ ලැබුණද ශෙහාන්ගේ නිර්මාණයට එවර ජයග්‍රහයක් නොලැබුණි. ශෙහාන්ගේ හිත රිදුණි. ඇස්වලට කඳුළු පිරුණි. තම නිර්මාණයේ සාර්ථකත්වය පිළිබඳව ඔහු තුළ තිබුණේ ලොකු විශ්වාසයකි.

“එදා ශෙහාන් දුක්වුණා. දුක්වෙන්න එපා ශෙහාන් අපි ඊළඟ තරගයට මීට වඩා දෙයක් හදමු කියලා එදා මම ශෙහාන්ට කිව්වා. ඇත්තටම ශෙහාන් ඒ නිර්මාණය කළේ ගොඩක් මහන්සි වෙලයි”. දිල්රුක්ෂි ගුරුතුමිය පැවසීය.

ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම මගින් සර්වේසස් මහා විද්‍යාලයට නව නිපැයුම් අංශයේ කාර්මීකරණ නිර්මාණ කුසලතා ඇගයීම් තරගාවලිය සඳහා අයැදුම්පත්‍ර කැඳවීමේ ලිපිය ලැබෙන්නේ මේ අතරය. ඒ වෙනුවෙන් දකුණු කොරියාවට යාමේ හැකියාවක්ද තිබෙන බව සඳහන් වී තිබිණි. එම අයදුම්පත්‍රය ලබාගත යුතුව තිබුණේ අන්තර්ජාලය ඔස්සේය.

ශෙහාන්ද එම අයැදුම්පත්‍රය අන්තර්ජාලය හරහා ලබාගත්තේය. ඒ වෙනවිට ඔහු නිර්මාණය කරන ලද නිර්මාණ ඇතුළත් සී.ඩී. තැටියක්ද සමඟ ශෙහාන් එය ඉදිරිපත් කළේය. අවසානයේදී ඔහු එම තරගාවලිය සඳහා තෝරා ගනු ලැබීය. නව නිපැයුම් කොමිසම මගින් පැවැත්වු විවිධ වැඩමුළු සඳහා ශෙහාන් සහභාගි විය. එම වැඩමුළුවෙන් තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි එක්දෙනකු දකුණු කොරියාවට යවන්නට නව නිපැයුම් කොමිසම තීරණය කළේය.

ඒ අනුව Second Korea International Youth Olympiad 2017 තරගාවලියට අගෝස්තු 09 වැනිදා දකුණු කොරියාවට යාමට ශෙහාන් ඇතුළු කණ්ඩායමට හැකිවිය. දින හයක් පුරා කොරියාවේ පැවැති මෙම තරගාවලියට ශෙහාන් සහභාගි වන්නේ ඒ අනුවය. කණ්ඩායමක් ලෙසින් සහභාගි වූ මෙම තරගාවලියේදි ඔවුහු ජයග්‍රහණය ලැබූහ.
සී.ඩී. රයිටරයක් උපයෝගි කරගෙන ශෙහාන් විසින් නිර්මාණය කළ ජීවග්‍රහණයෙන් යාන්ත්‍රිකව මීයන් ඇල්ලීමේ නිර්මාණයද ඉතා ඇගයීමට ලක්වුණු නිර්මාණයක් විය.

ශෙහාන් ඉරෝෂණ දරුවන් දෙදෙනෙකුගේ පවුලක බාල දරුවාය. හමුදාවේ සේවය කර විශ්‍රාමිකව පසුවන ශෙහාන්ගේ පියා සමන්ත දික්කුඹුරයි, මව කමලා වන අතර ශෙහාන්ගේ වැඩිමහල් සහෝදරිය එරංගා උමයංගනීයි.

තම ජයග්‍රහණය ගැන ශෙහාන් ඉරෝෂන දේශයට මෙසේ අදහස් දැක්වීය.

“මෙම තරගාවලියට මම ඉදිරිපත් කළේ යන්ත්‍රික රෝද පුටුවක්. මෙය දුරස්ථ පාලකයකින් තමයි ක්‍රියාකරන්නේ. ගෙවල්වල දොර ජනෙල් විවර කිරීම, වසා දැමීම, රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාකරවීම, නිවසේ විදුලි බල්බ ක්‍රියාකිරීම, ඇඳ ඇතිරිලි පිළියෙල කිරීම වැනි අවශ්‍යතාවයන් මෙම රෝද පුටුවේ හිඳ කිරීමේ හැකියාව තියෙනවා. කොරියාවෙන් අපිට යෝජනා කිහිපයක් කරලා තිබුණා. ඒ අතරින් ආබාධිත වැඩිහිටියන්ට තම අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සඳහා නව නිපැයුමක් තමයි මම ඉදිරිපත් කළේ. මෙම රෝද පුටුව මම තනියම තමයි හැදුවේ. ඊට අමතරව ආබාධිත වැඩිහිටියන්ට තම අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට අත්වැසුමක් සහ සපත්තුවක් මේ සමඟ මා නිර්මාණය කළා. තවම මෙම රෝද පුටුව සම්පූර්ණයෙන් නිර්මාණය කරලා නෑ. අපේ දැනුම අනුව ඔවුන් එය සාර්ථක දත්ත එකතුවක් කියලා පිළිගත්තා”.

මීට අමතරව ශෙහාන් විසින් නිර්මාණය කළ ජීවග්‍රහයෙන් යාන්ත්‍රිකව මීයන් ඇල්ලීමේ නිර්මාණ පිළිබඳව ඔහු මෙසේ අදහස් දැක්වීය. 

“මම විසින් නිෂ්පාදනය කරපු ජීවග්‍රහයෙන් යාන්ත්‍රිකව මීයන් ඇල්ලීමේ යන්ත්‍රයට ජාතික වශයෙන් සම්මානයක් හිමිවුණා. මේ වනවිට මම ඒ නිර්මාණය සාදා අවසන්. ඒක සාර්ථක නිර්මාණයක්. මේ නිර්මාණ කරන්න මට ගෙදරින් වගේම ඉස්කෝලෙන්ද ගොඩක් උදවු කරනවා. මට ඕන කරන දේවල් ගන්න සල්ලි දෙනවා. සමහරදාට මායි තාත්තයි මාතර ටවුමට ගිහින් ඒ දේවල් අරගෙන එනවා. අපේ පාසලේ විදුහල්පති මුණිදාස රත්නසේකර මහතාගේ නව නිපැයුම් සංගම් භාර දිල්රුක්ෂි ගුරුතුමිය ඇතුළු සියලුම ගුරු මණ්ඩලයෙන් මට මේ වෙනුවෙන් සහයෝගය ලබලා දුන්නා”.

මීට අමතරව ශෙහාන් නව නිපැයුම් කීපයක්ද නිර්මාණ කර ඇත. වතුර ටැංකි, වතුර කාන්දුවීමක් සිදුවෙද්දි එලාම් වැදීම වැනි නිර්මාණ ඔහු විසින් සාර්ථකව නිර්මාණ කර ඇත. 

“කොරියාවේ අපි දින හයක් හිටියා. අපිට භාෂා ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණේ නෑ. සමහර දේවල් අපිට සිංහලට පරිවර්තනය කරලා දුන්නා. මේ සඳහා රටවල් තිස් දෙකක් ආවා. ඇත්තටම ඒක හොඳ අත්දැකීමක්. ඉදිරියේදීත් මම තව තව නිපැයුම් කිරීමට බලාපොරොත්තු වෙනවා”.

ශෙහාන් තම ඉදිරි අනාගතය ගැනද දේශයට අවසන් වශයෙන් පැවසීය. මේ පුංචි හපනාට දේශයේ උණුසුම් සුබ පැතුම්.

I දිශානි ජයමාලි කරුණාරත්න