විවිධ අදියර පසු කරමින් සිටින ව්‍යවසායකයන් පිළිබඳ අපි විටින් විට කතාබහ කරනවා. ඇතැම් අය මේ වන විටත් සාර්ථකත්වය හිමි පැත්තට නැගි අය. තවත් අය ආරම්භක අවස්ථාවේ සිටින්නෙ. අපිට ඔහු හම්බවෙන්නේ කොළඹින් දුර බැහැර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන්. ඔහුත් ආරම්භක අවස්ථාවේ ඉන්න සාර්ථක ව්‍යවසායකයෙක්.
ඔහු නමින් ටී.වී.ඩී.එච්.එස්. කරුණාරත්න. කරුණාරත්න මහත්මා නිර්මාණය කරලා තියෙනවා සේදුම් කාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්. එහි නම Vmax Products Pvt Ltd.
“අපි නිෂ්පාදනය කරන්නෙ පිරිසිදුකාරක ද්‍රව්‍ය. සබන්, සබන් කුඩු, වැසිකිළි පිරිසිදු කාරක ආදී සියලු පිරිසිදු කාරක ද්‍රව්‍ය අපි නිෂ්පාදනය කරනවා. මගේ ළඟ දැනට අට දෙනෙක් විතර වැඩ කරනවා."
දැනට අම්පාර, දඹුල්ල, නුවර, මාතර ආදී ප්‍රදේශවලට Vmax නිෂ්පාදන බෙදා හැරීමට කරුණාරත්න මහත්මා ඇතුළු පිරිස කටයුතු කරමින් සිටිනවා. ඇත්තෙන්ම ඒ ප්‍රදේශවල මේ නිෂ්පාදන පාරිභෝගිකයන් හඳුනන සහ මිලදී ගන්න නිෂ්පාදනයක්. එහෙත් තවමත් මෙම ව්‍යාපාරය තියෙන්නේ ආරම්භක අදියරේ.
“ඉස්සර මම වෙන ආයතනයකින් බඩු මිලදී අරගෙන විකිණුවා. එතැනදී ඒ ආයතනයේ අලෙවි කරන ක්‍රමවේද පිළිබඳ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. ඊට පස්සේ මට මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනෑ කියන අදහස ආවා."
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රුකියාවක් කළ මේ ව්‍යවසායකයා නිවසේ රැඳී සිට ව්‍යාපාරයක් කිරීමේ අවශ්‍යතාවය මත සේදුම්කාරක අලෙවි කිරීම තෝරාගෙන තිබුණා. වසර කිහිපයක් එම කටයුත්තේ දිගින් දිගටම නිරත වුණත්, ඔහුගේ අවසන් අභිප්‍රාය බවට පත්වෙලා තිබුණේ තමන්ගේම ව්‍යාපාරයක් නිර්මාණය කර ගැනීම.
“අන්තර්ජාලය ඇතුළු තොරතුරු ලබාගන්න පුළුවන් ස්ථානවලින් තොරතුරු හොයලා බැලුවා. කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් පුහුණුවකුත් ලබාගත්තා."
වසරකට පමණ ඉහතදී මෙම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා නිසි පුහුණුවක් ද ලැබූ මේ ව්‍යවසායකයා සනිටුහන් කර ඇත්තේ සවිමත් ඇරඹුමක්. ඔහු පවසන පරිදි අවශ්‍ය දැනුම සම්පාදනය කර ගැනීම ඔහුගේ මූලික අභියෝගය වී තිබෙනවා. ඒ සඳහා ඔහු තෝරාගෙන ඇත්තේ සුදුසුම සහ වඩාත් පිළිගැනීමක් සහිත ක්‍රමවේදයක්.
“අපි ඉස්සෙල්ලම පටන් ගත්තේ ඩිඩර්ජන් පවුඩර් එකෙන්. දැන් අයිටම් පහළොවක් විතර අපි ළඟ තියෙනවා."
ඇසුරුම් කිරීම, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම ආදිය සම්බන්ධයෙන් ආරම්භයේදී අපහසුතා රුසක් තිබූ බව කරුණාරත්න මහත්මා හෙළි කළා.
“බැංකුවලින් වුණත් ණය පහසුකම් ලබා දෙන්නේ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම වගේ දේවල් සඳහා විතරයි. කර්මාන්ත ශාලාව හදාගන්න දැනටත් මට විශාල අවශ්‍යතාවයක් තියෙනවා. දැනට අපි සාමාන්‍ය විදිහට තමා කටයුතු කරගෙන යන්නෙ."
මෙම ව්‍යාපාරය ආරම්භ වන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ වීමද තරමක් සුවිශේෂී තත්ත්වයක්. කොළඹ දී පමණක් සාර්ථක විය හැකිය යන අදහස පරදන්නට සමත් වූ ව්‍යවසායකයෙක් ලෙස කරුණාරත්න මහත්මාව හඳුන්වා දිය හැකියි.
“අපේ ප්‍රදේශවල අපේ සන්නාමය ප්‍රසිද්ධයි. ලංකාවටම අපේ නිෂ්පාදන බෙදා හරින්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බෙදාහරින්නන් සඳහා අවස්ථා සලසා තිබෙනවා. පියවර කිහිපයක් ඔස්සේ මේ කටයුතු සාර්ථක කර ගැනීම තමා අපේ බලාපොරොත්තුව."
තමන්ට ව්‍යාපාරය ආරම්භ කිරීමට කාර්මික සංවර්ධන මණ්ඩලය උදව් කළ බව ඔහු සිහිපත් කරන්නේ ඉතාම ගෞරවයෙන්. දිස්ත්‍රික් මට්ටමේ සිටින නිලධාරීන් මෙන්ම ජාතික තලයේ කටයුතු කරන නිලධාරීන්ගෙන් ද ඔහුට සහයෝගය ලැබී තිබෙනවා.
“පටන් ගත්තට පස්සේ ඕනෑම ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය අදහස්, පහසුකම් සම්පාදනය කරගන්න පහසුයි. පටන් ගැනීම තමා ගැටලුව. අවශ්‍ය දැනුම අන්තර්ජාලයේ වුණත් තියෙනවා. රාජ්‍ය ආයතන උදව් කරනවා, ණය ලබා දෙනවා. හොඳින් හොයලා බලලා මහන්සි වෙන කෙනෙක්ට වරදින්නේ නැහැ."
ආරම්භක අවස්ථාවේ සිටින මෙම ව්‍යවසායකයා, අලුත් ව්‍යවසාය ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න සැමට හොඳ ආදර්ශයක් සපයනවා. තමන්ගේම යමක් පටන් ගැනීමට අදිමදි කරමින් බියෙන් පසුවෙන අයට ඔහු පවසන්නේ එය ආරම්භ කරන ලෙසයි. උනන්දුවෙන් ඔබ යමක් ආරම්භ කළොතින් වරදින්නෙ නැති බව කියන්න මේ කතාව අපූරු උදාහරණයක්.