2024 මැයි 11 වන සෙනසුරාදා

බෝගම්බර සිපිරි ගෙදර සුපිරි හෝටලයක් වෙයි

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 155

අක්කර 11ක භූමි භාගයක පැතිරී පවතින බෝගම්බර සිපිරි ගෙදර ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම බන්ධනාගාරයයි. එය මහනුවර නගර සීමාවේ මහනුවර වැව, වේල්ස් උද්‍යානය, තරුණ බෞද්ධ සංගමය, මහනුවර නගර මධ්‍යස්ථානය (KCC) සහ මහජන පුස්තකාලයට නුදුරින් ඇහැලේපොළ කුමාරිහාමි මාවතේ පහත්බිම්කඩක පිහිටා තිබේ. මෙම ගොඩනැගිල්ල මහනුවර නගරයේ ඉංග්‍රීසි පාලන කාලයේ තැනූ පැරණි ගොඩනැගිල්ලක් වන අතර, පුරාවිද්‍යාත්මකවත් වැදගත් ස්මාරකයකි. බන්ධනාගාරය කුණ්ඩසාලේට මාරු කළ පසුව පාළුවට ගොස් තිබූ බන්ධනාගාර භුමිය ඉඳහිට ප්‍රසංග සඳහා ලබාදීම සිදුවිය. නුදුරේදී මේ විශාල බිම හෝටලයක් බවට පත්වීමට නියමිත බව  නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි. බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයන් කිහිප දෙනකු  ඉදිරිපත් වී සිටින බවත් ඒ අතරින් සුදුසු කෙනකු නුදුරු දිනයක තෝරාගැනීමට නියමිත බවත් නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා දේශයට පැවසුවේය. 

''හෝටල් ව්‍යාපෘතියට මුළු ඉඩමම ලබා දෙනවා. එහි තට්ටු තුනේ සිරමැදිරි පැවති ගොඩනැගිල්ල තමයි පළමුවැනි අදියර යටතේ හෝටලය බවට පත් කරන්නේ. මෙය පුරාවිද්‍යා ස්මාරකයක් නිසා පෞරාණික බව රුකෙන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කිරීම කළ යුතුයි. ඒ සඳහා වියදම දැරිය යුත්තේ අදාළ ආයෝජකයායි. ඔවුන්ට දීර්ඝකාලීන බදු පදනම මත මෙම බිම ලබා දෙනවා. අලුත් ගොඩනැගිලි මෙහි ඉදිකිරීමට පුරාවිද්‍යා අවසරයක් නැහැ. තිබෙන ගොඩනැගිල්ලේ ඇතුළත යම් සුළු වෙනස්කම් පමණක් කර හෝටලයක් බවට පත්කිරීමට නියමිතයි.''  ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා වැඩිදුරටත් කීවේය. මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයකු තෝරාගැනීමට නියමිතය. 

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි. අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටී. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපිං මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතව තිබේ.

2018 වන විට නාගරික සංවර්ධන අධිකාරිය බන්ධනාගාරය ඉදිරිපස කොටස සංරක්ෂණය කරන ලද පැරණි ගොඩනැගිල්ලක් සහිත උද්‍යානයක් ලෙසට ද සංවර්ධනය කර තිබේ. බන්ධනාගාරය ඉදිරියේ පවතින විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා තවදුරටත් පැවසුවේය. 

මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණුවිට අනෙකුත් භූමිය සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී තිබේ. 
ජනප්‍රවාදයට අනුව අවාසනාවන්ත මරණයකට මුහුණ දුන් ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත් කිරීමෙන් අනතුරුව මළසිරුර ගොඩ ගැසූ බවට සැලකෙන ස්ථානය ඇත්තේත් බන්ධනාගාර භූමිය ඇතුළතයි. ඊට හේතුව අතීතයේ දී  බෝගම්බර වැව පිහිටා තිබුණේ වර්තමානයේ බෝගම්බර ක්‍රීඩාංගනය සහ බන්ධනාගාරය පිහිටා ඇති ස්ථානයේ වීමයි.

උපරිම ආරක්ෂාව සහිත සිරගෙයක් වූ බෝගම්බර සිරගෙය ඉදිකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී මෙරට ප්‍රථම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස් වූ එන්.ආර්. සෝන්ඩර්ස්ගේ මෙහෙයවීම මත 1876 වසරේදීය. බ්‍රිතාන්‍ය මහ රුජනගේ ඔටුන්නේ හැඩයට එය ඉදිකර තිබේ. බෝගම්බර බන්ධනාගාරයේ ඇති විශේෂත්වයක් වන්නේ එය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම‍යි. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විතය. එය දිගින් අඩි 556ක්ද පළලින් අඩි 144ක්ද උසින් අඩි 102ක්ද වේ. එවකට බන්ධනාගාරය ඉදිකිරීමට රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය වී තිබේ. එහි ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි. බන්ධනාගාර ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුව උසින් අඩි 5ක් වන අතර ඉන් වරකට ඇතුළු විය හැක්කේ එක් අයකුට පමණි. 

මෙම බන්ධනාගාරය දරුණු ගණයේ අපරාධකරුවන් සහ මරණ දණ්ඩනයට ලක්වූ රැඳවියන් රැඳවීමට භාවිත කළ බන්ධනාගාරයකි. ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් චරිත සහ ලංකාවේ බොහෝ පිරිසකගේ කතාබහට ලක්වූ රැඳවියන් බෝගම්බර බන්ධනාගාරයේ සිරකුටිවල රඳවා තබා සිටියහ. 1940 දශකයේ ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් වූ පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ විලියම් ද සිල්වා යන අය ද මරුසිරා නම් සිරකරුද බෝගම්බර බන්ධනාගාරයේ සිටි මතකයේ රැඳුණු සිරකරුවන් අතර වෙති. 1876 සිට 1975 දක්වා කාලය තුළ බෝගම්බර බන්ධනාගාරයේ වරදකරුවන් 524 දෙනකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර තිබේ. අවසාන වතාවට බෝගම්බර බන්ධනාගාරය තුළ එල්ලුම් ගස ක්‍රියාත්මක වී ඇත්තේ තිස්මඩ මිනීමැරුම සම්බන්ධයෙන් ඩබ්ලිව්.ඩී. රිචඩ් සහ ටී.එම්. ජයවර්ධන යන චූදිතයන් දෙදෙනාටයි.

2013 වර්ෂයේ දී බෝගම්බර සිරකරුවන් අභිනවයෙන් ඉදිකෙරුණු පල්ලේකැලේ පිහිටි    බන්ධනාගාරය වෙත රුගෙන යාම සිදුවිය. ඉන්පසු බෝගම්බර බන්ධනාගාරය සති දෙකක පමණ කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබිණි. 2014 ජනවාරි 01 වැනි දින සැලසුම් කරන ලද සංස්කෘතික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සඳහා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර එහි පැවති භාණ්ඩ සියල්ලක් ශ්‍රී ලංකා රජය වෙත භාරදෙනු ලැබිණි.

පළමු අදියරේ වැඩ අවසන් කොට, 2019 අගෝස්තු 24 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බන්ධනාගාරය ඉදිරිපිට බිමේ බෝගම්බර සංස්කෘතික උද්‍යානය ජනතා අයිතියට පත් කෙරිණි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඒ වන විට වැය කර ඇති මුදල මිලියන 200කි. 

ලොව බොහෝ රටවල පැරණි ගොඩනැගිලි වාණිජ ව්‍යාපෘති බවට පත්කිරීම කලකට පෙර ඇරඹුණු පිළිවෙතකි. ලංකාවේ කොළඹ කොටුවේ ඕලන්ද රෝහල සාප්පු සංකීර්ණයක් බවට පත් කෙරුණු අතර පැරණි තුරග තරග පිටියේ ගොඩනැගිලි ද නිදහස් චතුරස්‍රය අසල බ්‍රිතාන්‍ය යුග ගොඩනැගිලි ද එසේ සාප්පු සංකීර්ණ බවට පත්විය. යාපනයේ හැමන්හිල් දූපතේ බලකොටුව ද හෝටලයක් වුණු පැරණි ස්මාරකයකි. මෙසේ පුරාණ ගොඩනැගිලි නවීකරණය කිරීමේදී එහි පෞරාණික අගය හැකි තරම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම නම් අතවශ්‍ය වේ. මෙම ගොඩනැගිලිවලට ජනතාව ඇදී එන්නේ පෞරාණික දේට ඇති ඇල්ම නිසා හෙයිනි. 

I කුසුම්සිරි විජයවර්ධන
I සේයාරූ: අන්තර්ජාලයෙනි.