2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

අපි කොතනද කුණු එතන

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 112

ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ''අහස් ගව්ව'' චිත්‍රපටයේ, රැකියා විරහිත තරුණයකුගේ චරිතය රඟපාන විජය කුමාරණතුංගට, එහි අවසානයේ නගර සභාවේ කුණු ලොරියක රියැදුරුකමක් ලැබෙයි. චිත්‍රපටය අවසාන වන්නේ, විජය තම මිතරකුට (කලංසූරිය) පවසන උපහාසාත්මක දෙබසකිනි.

''කුණු කොතනද අපි එතන''

මෙය වර්තමාන සිරි ලංකාවට ගැලපෙන සේ සකස් කර ගත හැකිය.

''අපි කොතනද - කුණු එතන''

මුළු සිරි ලංකාවම ලොකු කුණු මල්ලකි. හැමතැනම කුණුය. කුණු වී පල් ගඳ ගසන ප්‍රශ්නය. සිස්ටම් එකද දිනෙන් දින කුණු වෙයි. ඒ කිසිවක් විසඳන - විසඳෙන පාටක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට කුණු කතා නම් ඕනෑතරම්ය. කුණු කඳු බඳු උස් මහත් පුද්ගලයෝ සුදුවතින් සැරසී කුණු ගොඩවල් අවුස්සමින් රටපුරා සැරිසරති.

මිනිස්සු, කුණු කඳුවලට යට වී, කුණු කන පණුවන් සේ ''ජීවත්'' වෙති.

පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට, ලෝකයේ කුණු ප්‍රශ්නය උග්‍ර වන්නට හේතුවූයේ, මිනිසාගේ පරිභෝජන රටාවේ වෙනස්කම්ය. සෑම කෑමවේලක් සමඟම, පරිසරයටද යමක් ඉතිරිවූයේ ඒ අනුවය. ප්ලාස්ටික් බෝතල්, කෝප්ප, පොලිතින් මලු, කොළ යනාදී වශයෙනි.

ජපානය කියූ සැණින් අපගේ මතකයට නැඟෙන්නේ පිරිසිදු, සුන්දර රටකි. එහෙත් මෑතක දුටු පුවතකින් කියැවුණේ, එරට ෆුජියාමා කන්ද තරණයට යන දෙස්-විදෙස් සංචාරකයන් ඉවත දමා යන දෙයින්, කුණු කන්දක්ද සැදෙමින් ඇති බවකි.
සිංගප්පූරුව චුවිංගම් තහනම් කළේ, ඉන් සිදුවූ පරිසර හානිය නිසාය. සිරි ලංකාවේ චුවිංගම්වලට වඩා භයානක බුලත්විටය. බුලත් කෙළින් අපිරිසිදු වූ පාරක් තොටක් නැති තරම්ය.

පරිසර දූෂණය අවම කරගත හැක්කේ, මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙනි. කුඩා ළමයා පවා ටොෆී කොළය, හිස් යෝගට් කෝප්පය බිම නොදමන්නට පුරුදු වන්නේ නම්, අනාගතයේදී ඔහු පරිසර හිතකාමී පුරවැසියකු වනු ඇත.

ඉංග්‍රීසියෙන් Bank කියූ සැණින් අපගේ සිතට නැගෙන්නේ බැංකුව වුවත්, ඊට විශේෂණ පද එක් කළ විට වෙනස් අරුත්ද නැගෙයි. නිදසුනක් දක්වනවා නම්, River Bank යනු ගං ඉවුරය.

අමෙරිකාවේ ප්‍රාන්තයක, ගං ඉවුරක මෙවැනි පුවරුවක් දක්නට ලැබුණි. 

''These banks do not need your deposits. Use your litterbags” (මෙම ''ඉවුරට'' ඔබේ තැන්පතු අවශ්‍ය නැත. ඒ සඳහා ඔබේ කුණු මලු භාවිතයට ගන්න.)

පරිසර දූෂණයේ ප්‍රධාන කොටස් පහකි. වායු දූෂණය, පාංශු දූෂණය, ශබ්ද දූෂණය, ජල දූෂණය හා විකිරණශීලී දූෂණය (Radio Active pollution) යනුවෙනි. මෙය තවත් කොටස්වලට බෙදෙයි.

''මිනිසා පරිසර විනාශයට වැට නොබැන්දොත්, එය මිනිසාද විනාශ කරයි'' යන කියමන දැන් දැන් සැබෑවෙමින් පවතී. ඒ අතරම, ඒ පිළිබඳ උපහාස කියුම් හා කතාද පැතිරෙයි.

මේ එබඳු කියුම් කීපයකි.

• දුම්පානය පරිසරයට හානි කරන නමුදු දුම්පානය කරන්නාද විනාශ කර දමයි. එහෙයින් දුම්පානය පරිසරයට හිතකරද වෙයි.

පරිසර කමිටු රුස්වීමකදී, එහි සාමාජිකයෙක් ප්‍රාදේශීය දේශපාලනඥයකුගෙන් මෙසේ විමසීය.

''ගෝලීය ඌෂ්ණත්වය වැඩිවීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස හා විසඳුම කුමක්ද?''

''මා හිතන්නේ, ඔබ ඔය ප්‍රශ්නය ඇසිය යුත්තේ විපක්ෂයෙන්.''

මාධ්‍ය සාකච්ඡාවකදී, ඊට සහභාගිව සිටි ඇමතිවරයකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරුණි.

''පහුගිය දිනවල ම.... ප්‍රදේශයේ විශාල වන සංහාරයක් සිදුව තිබෙනවා. අක්කර ගණනක තිබූ වටිනා, පැරණි ගස් රාශියක් කපා ඉවත් කරගෙන ගිහින්. මේ ගැන ඔබතුමා දැනුවත්ද?''

''ඔව්... අපිට ඒ භූමිය ඕන වුණේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත් ගොඩනැගිල්ල ඉදි කරන්න.''

• පරිසරය යනු සංවර්ධනය සඳහා ගෙවිය යුතු වන්දියක් නොවේ.

• මුහුදු මත්ස්‍යයන්ගේ රුස්වීමකදී, එක් වෘද්ධ මත්ස්‍යයෙක් මෙසේ කීය.

''මේ විදිහට ගියොත්, අනාගතයේදි අපිට කන්න වෙන්නෙ පොලිතින් විතරයි.''

එවිට, සභාපති මත්ස්‍යයා මෙසේ කීය.

''ටිකක් ඉවසමු. මිනිස්සු මේ විදිහට මාළු කෑම දිගටම කරගෙන ගියොත්, අනාගතයේදි පොලිතින් හදන්නටත් මිනිහෙක් ඉතිරිවෙන එකක් නෑ.''

අමෙරිකානු පුවත්පත් කාටූනයක ලෝක පරිසර සමුළුවක් දැක්වෙයි. ඊට සහභාගි වන සියල්ලෝම ඔක්සිජන් මුහුණු පැළඳ සිටිති. ඒ අතර, සියැට්ල්හි ආදිවාසී නායකයාද (සුප්‍රකට පරිසර දේශනය කළ පුද්ගලයා) සිටිනු දැකිය හැකිය.

• තවත් කාටූනයක, රෝහල් වාට්ටුවක් දැක්වෙයි. එහි සෑම ඇඳක් පිටුපසම ගසක් ඇති අතර, ඔක්සිජන් බටය සම්බන්ධ කර ඇත්තේ, ඒ ගසටය.

පරිසරය විහිළුවක් නොවුණත්, විසෙන් විස නසන්නාක් මෙන් පරිසර විහිළුවකින්ම, මෙවර ''හී සරය'' නිම කරමි.

ලෝක අවසානය ආසන්නයේ, ධන කුවේරයන් කීප දෙනෙක් සිය දරු පවුල්ද සමඟ චන්ද්‍රයා මත පිහිටවූ මිනිස් ජනපදයක් වෙත ළඟා වූහ. එහි ඈතින්, දියුණු රටවලින් ගෙනවිත් දැමූ විශාල කුණු කන්දක් ඉදිවෙමින් තිබුණි. ඊට පහළින්, චීන ජාතිකයෙක් මුව වැසුම් (Mask) කඩයක් දමාගෙන සිටියේය.

කුණු කන්ද අසල සිරි ලාංකිකයෙක්, සිය රට පැටවීම සඳහා මෙට්ට තෝරමින් සිටියේය.

I කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00