2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

අපි ගන්නවා ඕනෑ තරම් කොට්ටම්බා

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 271

ලංකාවේ හැමතැනකම දකින්න ලැබෙන ශාකයක් තමා කොට්ටම්බා. විශාල දැවමය වටිනාකමකුත් නැති නිසා අපිට කොට්ටම්බ හඳුන්වන්න වෙන්නෙ සෙවණ සදන ගහක් විදිහටය. ඉස්සර නම් ගම්වල දරුවෝ කොට්ටම්බ තලලා මදේ ආහාරයට ගත්තා. දැන් ඒකත් සිද්ධ වෙන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසාම අද වෙනකොට ගොඩක් දෙනෙක් කොට්ටම්බ ගස්වලට ලොකු වටිනාකමක් ලබාදෙන්නේ නැහැ.

''ඔබ නොදන්නවාට අනාගතයේ කොට්ටම්බ කියලා කියන්නෙ ලංකාවේ අපනයන ආර්ථික බෝගයක්. ඒ නිසා කොට්ටම්බ ගස් කපන්න හදිසි වෙන්න එපා...''

මේ කතාව අපිට කිව්වේ අලුත්ම ව්‍යාපාරයක් පටන්ගත්ත ලංකාවේ තරුණයො දෙන්නෙක්. මේ තරුණයෝ දෙන්න නමින් සමීර චතුරංග සහ චතුරංග දිනූෂ. මේ දෙන්නා ලංකාවේ පළමුවෙනි වතාවට කොට්ටම්බා අපනයනය සඳහා ව්‍යාපාරයක් නිර්මාණය කරලා තියෙනවා.

''මම විදේශ ගතවෙලා ඉන්නෙ. මිත්‍රයෙක් මාර්ගයෙන් තමා මේ වෙළඳපොළ පිළිබඳ දැනගන්න ලැබුණේ. ඊටපස්සේ මම මේ පිළිබඳව හොයන්න පටන් ගත්තා. සම්බන්ධතා පාවිච්චි කරලා ප්‍රධාන ගැනුම්කරුවන් සම්බන්ධ කරගත්තා. අපි සාම්පල් යවන්න මුලින් සෑහෙන්න උත්සහයක් දැරුවා.''

සමීර විවිධාකාර ව්‍යාපාර කිරීමට උත්සාහ කළ තරුණයෙක්. මෙවර ඔහුගේ උත්සාහය සාර්ථක කරගන්න මාර්ගගත අලෙවිකරණයේ නිරත වෙමින් හිටපු දිනූෂත් එකතු වෙනවා. ඔහු ආරම්භය ගැන කියන්නෙ මේ විදිහට.

''අපි විවිධාකාර ආයතනවලින්, පාර්ශ්වයන්ගෙන් සහාය ඉල්ලුවා. ඔවුන් මේකට විශාල මුදලක් වැයවන බව කිව්වා. ඒත් ආරම්භයේදී සම්පල් යවාගන්න බැරිවුණා. කොහොමහරි එක්තරා අවස්ථාවකදී මේ ගැනුම්කරුවන්ට සම්බන්ධ කෙනෙක් ලංකාවට ආවම එයා අතේ අපිට සාම්පල යවන්න පුළුවන් වුණා.''

ආරම්භයේදී ඔවුන් කොට්ටම්බ එකතු කරල තලලා නිසි ප්‍රමිතියෙන් යුතුව අසුරලා පොඩි ප්‍රමාණවලින් අපනයනය කරන්න පටන් ගන්නවා. මිතුරන්ගේ හිතවතුන්ගේ සහායත් එක්ක හිමිහිට ව්‍යාපාරය පුළුල් කරන්න දැන් ඔවුන්ට පුළුවන් වෙලා.

''අපි OMG Ceylon නමින් අපේ ව්‍යාපාරය ලියාපදිංචි කළා. ඊට පස්සේ අපි නිසි ක්‍රමවේද භාවිතා කරමින් ලංකාව පුරා කොට්ටම්බ මිලදී ගැනීම් ආරම්භ කළා. නිකං ගස් යට වැටිලා විනාශ වෙලා යන කොට්ටම්බවලින් ආදායම උපයන්න දැන් ගොඩක් දෙනකුට අවස්ථාව තියෙනවා. අපි ඕනෑම ප්‍රමාණයක් මිලදී ගන්න සූදානම්.''

සමීර කියන විදිහට කුඩා ව්‍යාපාර සම්බන්ධව පවතින රාජ්‍ය ආයතන බොහොමයකට ඔහු ගිහිල්ලා තිබෙනවා. සහාය ලැබුණු අවස්ථාවන්වලට වඩා නොලැබුණු අවස්ථා බොහොමයි.

''අපි දිවයින පුරා ජාලයක් ගොඩනගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එයින් ඒ ඒ ප්‍රදේශවල නියෝජිතයන්ට පුළුවන් කොට්ටම්බ එකතු කරලා අපිට ලබාදෙන්න. කොට්ටම්බා තළලා ලබාදීමෙන් ඒ අයට අත්වන වාසිය වැඩියි. කිහිපදෙනකු එකතු වෙලා කුඩා ව්‍යාපාරයක්ද වශයෙන් මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. අපි ඕනෑම ප්‍රමාණයක් මිලදී ගන්න සැදී පැහැදී ඉන්නවා...''

මේ වනවිට සැලකිය යුතු පිරිසක් මෙම ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. අනාගතයේ තවත් අය මෙම ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳ ගනීවි. ගම් දනව්වල සිටින වැඩිහිටියන්ට, නිකරුණේ කාලය ගතකරන අය අපූරු ආදායම් මාර්ගයක්.
දිනූෂ කියන විදියට කෘෂිකර්ම අමාත්‍යංශයේ හිත ගිහිල්ලා ඔවුන් මේ පිළිබඳව දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ප්‍රතිචාරය නම් එතරම් හොඳ වෙලා නැහැ. නමුත් මේ තරුණයන් දෙදෙනා විශ්වාස කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තියෙන ඉල්ලුම අනුව රටක් විදිහට කොට්ටම්බ අපනයන බෝගයක් ලෙස සංවර්ධනය කරන්න පුළුවන් කියලා.

''කෘෂිවිද්‍යාව සහ තාක්ෂණය භාවිතා කරලා ඉක්මනින් ඵලදාවක් ලැබෙන විදිහට, කොට්ටම්බ වගා කරන්න පුළුවන් නම් මේ වෙළෙඳපොළ අත්පත් කර ගැනීම රටක් විදියට අපිට අපහසු නෑ. මේ දිනවල අපි ඒ සම්බන්ධව සොයා බලමින් ඉන්නවා. අපිට ඕනෑ තනියම ගොඩ යන්න නෙවෙයි. රටක් විදියට ගොඩ යන්න. අපි මේ වෙලාවේ මුදල් උපයන්නේ ඩොලර්වලින්. ඒ විනිමය ගලාගෙන එන්නේ අපේ රටට...''

දැනට රටේ දැවැන්තම කොට්ටම්බ අපනයන ආයතනය ලෙස කටයුතු කරන්න OMG Ceylon. ඒත් ඔවුන් ඉන්නේ ආරම්භක අවස්ථාවේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ තවත් මානයන් කිහිපයක් ජය ගැනීම අරමුණු කරගෙන මේ දෙදෙනා මහන්සි වෙනවා. ඔවුන් තමන් සමඟ අත්වැල් බැඳගන්නට දිවයින පුරා සිටින පිරිස් වෙත ආරාධනා කරනවා. දිනූෂ සහ සමීර කියා සිටින්නේ කොට්ටම්බා යනු තවදුරටත් වටිනාකමක් නොමැති ශාකයක් නොවන බව. ඔවුන්ට අනුව සැබවින්ම එය ආර්ථික බෝගයත්.