2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

පුංචි අදහසකින් මී පැණි රාජ්‍යයක් ගොඩනැගූ සංජු හනේලි පෙරේරා

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 330

අපි දෛනික ජීවිතේ මුහුණදෙන ගැටලුවලට විවිධ පිළියම් හොයන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයන් ඇතුළේ අපිට නව අදහස් පහළ වෙනවා. ඉතින් එහෙම පහළවුණු අදහස් පිටුපස ගිහින් අති සාර්ථක ව්‍යාපාර ගොඩනගපු ව්‍යවසායකයෝ ලෝකය පුරාම ඉන්නවා.

මේ කතාවත් ඒ වගේ කතාවක්. ඇය පුංචි ගැටලුවකට හොයාගත්ත විසඳුමක් අපූරු ව්‍යාපාරයක් බවට පත් කරපු තැනැත්තියක්. ඇය නමින් සංජු හනේලි පෙරේරා. ඇගේ ව්‍යාපාරික සන්නාමය "RSH Bee Honey”. ඇත්තටම ඇය අලෙවි කරන්නේ ස්වභාවික මී පැණි.

සංජු ඉපදුණේ, හැදුණේ වැඩුණේ, ඉගෙන ගත්තේ කොළඹ. ප්‍රදේශයේ. රැකියාව කළෙත් කොළඹ. ඒත් විවාහයෙන් පස්සේ ඇගේ පදිංචිය මාරු වෙනවා හසලකට. මේ කතාව පටන් ගන්නේ හසලකින්.

“මම මව් පදවිය ලැබීමත් සමඟ මගේ බබාගේ කිරි දත් සඳහා භාවිත කරන්න මට මී පැණි අවශ්‍ය වුණා. එහිදී මට අවශ්‍ය තරමට වඩා විශාල ප්‍රමාණයක් මී පැණි ලැබුණා. මං ඒ මී පැණි මගේ පවුලේ අය, අසල්වැසියන් සමඟ බෙදාගත්තා. මෙහිදී මට අවබෝධ වුණු දෙයක් තමයි මී පැණි සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා කියලා."

ඇත්තටම ඇය මුහුණදුන්නේ පුංචි ගැටලුවකට. ඒ වගේම ඉතාම පහසුවෙන් ඒ ගැටලුවට විසඳුම් ලබාගන්නත් ඇයට පුළුවන් වුණා. ඇත්තටම ඒකට හේතු වුණේ ඇය ජීවත්වුණු ප්‍රදේශය.

“හසලක කියන්නේ ඉතාමත් ලස්සන කඳු වළල්ලකින් වටවුණු වනාන්තර ආශ්‍රිත ගම්මානයක්. ඉතින් මෙහෙ මී පැණි නිෂ්පාදනය කරන අය ගොඩක් හිටියා. නමුත් ඔවුන්ගේ නිෂ්පාදනයන්ට වෙළෙඳපොළක් සහ හොඳ මිලක් ලබාගැනීමට හැකියාවක් තිබුණේ නෑ. ඉතින් මට ඔවුන්ට සහාය වෙන්න ඕනෑ වුණා. ඒ වගේම මට මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තිබුණු ආසාවත් මේ එක්ක ඉටුකර ගත්තා." 

සංජු ස්වභාවික මී පැණි ව්‍යාපාරයට අත්පොත් තියන්නෙ මෙන්න මේ විදිහට. ඇය මේ ව්‍යාපාරය ආරම්භ කරන්න ඉස්සරවෙලා වෙළෙඳ කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරමින් හිටියේ. ඒ අත්දැකීමුත් ඇයට හයියක් වුණා.

“මං මේ ව්‍යාපාරය ආරම්භ කළේ රු. 3000 ක් වගේ සුළු මුදලකින්. මගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් මට ලොකු තල්ලුවක් ලැබුණා. මම මගේ ව්‍යාපාර නාමය යටතේ මුලින්ම හැදුවේ එක නිෂ්පාදනයයි. ඒ තමයි Natural Bee Honey. ඊටපස්සේ මට ලැබුණු ඉල්ලීම් එක්ක මං තවත් නිෂ්පාදන කරන්න පෙළඹුණා."

පත පොත කියවමින් තමන්ට අවශ්‍ය දැනුම හොයන්න ඇය උනන්දුවෙලා තියෙනවා. දැනුම තමා ඕනෑ ව්‍යාපාරයක විශාලතම ප්‍රාග්ධනය. අද වෙනකොට "RSH Bee Honey” සන්නාමය යටතේ මී පැණි නිෂ්පාදන දහයක් පමණ තියෙනවා. සුදුලූනු මී පැණි, කුරුඳු කුඩු මී පැණි, රටඉඳි මී පැණි, කජු මී පැණි ඒ අතරින් කිහිපයක් පමණයි. විවිධ අවශ්‍යතා සහ ලෙඩරෝග වෙනුවෙන් මේ මී පැණි වර්ග භාවිත වෙනවා.

ඇත්ත.. මේ ව්‍යාපාරය සුවිශේෂී වෙන්න තවත් ලොකු හේතුවක් තියෙනවා. "RSH Bee Honey” හිමිකාරිණිය සංජු හනේලි පෙරේරා ඒ පිළිබඳව මේ විදිහට පැහැදිලි කළා.

“අපි ගන්නේ ගෘහස්ථව නිපදවන මී පැණි නෙවෙයි. අපි ලබාගන්නේ වනාන්තරවල හැදෙන ස්වාභාවික මී පැණි. මේ මී පැණිවල ගුණාත්මකභාවය ගෘහස්ථ මී පැණිවලට වඩා ඉතාමත් වැඩියි. ඒ වගේම අපි ළඟ අවුරුදු 3කට වඩා පැරණි මී පැණි තියෙනවා. කාලයත් සමඟ මී පැණිවල ගුණාත්මක බව වැඩි වෙනවා."

මේ ව්‍යාපාරය නිසාම ඇය විවිධ අගය කිරීම්වලට සම්මානයන්ට පාත්‍රවෙලා තියෙනවා. ඒ වගේම මේ වෙළෙඳ සන්නාමයට වෙළෙඳපොළ වටිනාකමක් ලැබිලා. "RSH Bee Honey” කියන්නේ පැහැදිලි දැක්මක් සහිතව ගමන් කරන ව්‍යාපාරයක්.
“ඉතින් මේ ව්‍යාපාරය මගින් දැනටමත් මට මගේ ගමේ බොහෝ දෙනකුට හොඳ ආදායම් මාර්ගයක් හදලා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අපි අපේ නිෂ්පාදන අපනයනය කිරීම සඳහාත් දැන් යොමුවෙලා ඉන්නවා. ඉතින් මම වගේම තවත් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතන හැමෝටම මම කියන්නේ අපි දිරිමත්ව කැපවීමෙන් දෙයක් කරන්න යොමුවෙන්න ඕනේ. කොච්චර බාධක ආවත් ඒවා මැඩගෙන ඉස්සරහට යන්න ඕන. අපේ අධිෂ්ඨානය තමයි හැමදේකටම වඩා වැදගත් වෙන්නේ."
ඇත්තටම හොඳ අදහසක් සහ හොඳ කැපවීමක් ඔබ සතුව තියෙනවා නම්. ඔබේ හීන තවදුරටත් හීනම වෙන්නෙ නැහැ.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00