2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

ඉවතලන බීම කෑන්වලින් විශ්මිත නිමැවුම් කළ තරිඳු කන්දෙවත්ත

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 227

නිමාවුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුසලානය සම්බන්ධව යම් කතාබහක් නිර්මාණය වුණා ඔබට මතකද? කැලි කසළ ලෙස බැහැර කරන බීම කෑන්වලින් ලබාගත් ලෝහවලින් තමා මේ පාර LPL කුසලානය නිර්මාණය කරලා තිබුණේ. ඇත්තටම මේ නිර්මාණය කළේ ලාංකීය ආයතනයක්. මේ ආයතනයේ නම Melting Point.

Melting Point ඇත්තටම ආයතනයකට වඩා ව්‍යාපෘතියක් විදියට හැඳින්වීම සාධාරණයි. ඔවුන් සිදු කරන්නේ Upcycling ව්‍යාපෘතියක්. ලස්සන වෙරළ වැඩසටහන හරහා වෙරළ අපද්‍රව්‍ය අරගෙන ඒවා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට භාජනය කරලා වටිනාකමින් ඉහළ නිෂ්පාදන බවට පරිවර්තනය කරන්න ඔවුන් කටයුතු කරනවා.

අපි කතා කරන්න යන්නේ මේ ව්‍යාපෘතිය පිළිබඳව නම් නෙවෙයි. ව්‍යාපාරයක් විදිහට මේ කටයුත්තේ ඉතිහාස කතාව පිළිබඳව. මේ කතාව කියන්න අපිත් එක්ක එකතු වුණේ තරිඳු කන්දෙවත්ත. තරිඳු කියන්නෙ තරුණයෙක්. ඔහුට තියෙනවා අපූරු කතාවක්.

“අපේ තාත්තා මහනුවර අලි මුඩුක්කුවෙන් තමයි පිත්තල කර්මාන්තය ආරම්භ කරලා තියෙන්නේ. ඒ මීට අවුරුදු තිහකට විතර ඉස්සෙල්ලා. ලාල් කන්දෙවත්ත කිව්වම ඔහුව මේ කර්මාන්තයේ ගොඩක් දෙනෙක් හඳුනනවා. දැන් ඔහු අපි අතර නෑ." 

තරිඳු කතාව පටන්ගත්තේ ලාල් කන්දෙවත්තගෙ කතාවෙන්. පිත්තල වැඩවලින් කර්මාන්තය ආරම්භ කරලා, ව්‍යාපාර ලෝකයේ වෙනස් මානයක් හොයාගෙන යන්න ලාල් කන්දෙවත්ත උත්සාහ කරලා තියෙනවා. පිත්තලවලට අමතරව වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන සාම්ප්‍රදායික නොවන දේවලුත් නිර්මාණය කරන්න ඔහු පටන් ගත්තා එක්තරා අවස්ථාවකදි. තරිඳු ඒ පිළිබඳ මෙහෙම පැහැදිලි කරනවා.

“තාත්තා සාම්ප්‍රදායික කර්මාන්තයෙන් ඈත්වෙලා විසිතුරු බඩු හදන්න පටන් ගත්තා. පිත්තලවලට අමතරව ඇලුමිනියම්, යකඩ, සුදු යකඩ, තඹ වගේ අමුද්‍රව්‍යවලට මාරු වුණා. ඒ කාලේ අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ ඒකට හේතුව."
ලාල් කන්දෙවත්තගේ ව්‍යාපාරයේ හෝටල් කර්මාන්තයට අවශ්‍ය හැඳි ගෑරුප්පු, විසිතුරු භාණ්ඩ වගේ දේවල් ඒ අතරින් ප්‍රධාන වෙලා තියෙනවා. ඒ නිසාම මේ ව්‍යාපාරය කාලයත් එක්ක සාර්ථක වුණා.

කොහොම හරි 2012 වසරේ පියාගේ වියෝවත් එක්ක තමා තරිඳු සහ ඔහුගේ සහෝදරයා මේ ව්‍යාපාරයට අත ගහලා තියෙන්නෙ. කොවිඩ් වසංගතය පැමිණෙන තෙක්ම ඔවුන් මේ කටයුතු සාර්ථකව කරගෙන ගිහිල්ලා තියෙනවා.

“මමයි අයියයි එකතුවෙලා වැඩේට බැස්සා. තාත්තා කරපු වැඩේම කරගෙන එනකොට, කොවිඩ් වසංගතයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බලන් ඉඳිද්දි ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටුණා. මගේ ව්‍යාපාරික සහායකයා වෙලා හිටපු අයියත් ව්‍යාපාරයෙන් ඉවත් වුණා. ලොකු ණය කන්දක් එක්ක තනිවෙලා කල්පනා කරනකොට, මට හිතුණා කරපු දේම නෙවෙයි වෙනස් දෙයක් කරන්න ඕනෑ කියලා."

ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය භාවිත කරමින් භාණ්ඩ නිර්මාණය කරන්නට තරිඳු තීරණය කරන්නෙ මෙන්න මේ අවස්ථාවේදි. එහෙම අදහසක් ඇතුව මේ වැඩේට අත ගහපු තරිඳු කන්දෙවත්තගේ වැඩේ ක්‍රමයෙන් සාර්ථක වෙනවා.

“Melting Point එකත් එක්ක මේ කාලේදී අපි පාර්ට්නර් වුණා. එයාලා අපිට අභියෝගයක් දුන්නා. අපි ඒක භාරගත්තා. ඉවතලන ඇලුමිනියම් බීම කෑන්වලින් මොනවා හරි හදන්න පුළුවන් කියලා අපි බැලුවා. අපි එහෙම හදපු දේවල් ඔඩෙල් එක හරහා සංචාරකයන්ට විකුණන්න පටන් ගත්තා. ඒ සඳහා ඉල්ලුම දිගින් දිගටම වැඩි වෙන්න ගන්නකොට අපි Melting Point ව්‍යාපෘතියත් එක්ක ඉස්සරහට ගියා."

තරිඳු අප සමග හෙළි කරන මේ අපූරු කතාවෙන් ව්‍යාපාරික ලෝකය තුළ යාවත්කාලීන වෙමින්  ඉදිරියට යාම පිළිබඳ පාඩමක් අපිට ඉගෙන ගන්න පුළුවන්. අලි මුඩුක්කුවෙන් වැඩ ඇරඹූ ලාල් කන්දෙවත්ත ගත්තේ ද මෙවන් අභියෝගාත්මක තීරණයක්. තරිඳු කන්දෙවත්ත ගත්තෙත් ඒ වගේම අභියෝගාත්මක තීරණයක්. 

“අපි Melting Point ව්‍යාපෘතියත් එක්ක ඉදිරියට යනවා. අද වෙනකොට ලස්සන වෙරළ ව්‍යාපෘතියත් එක්ක එකතුවෙලා වැඩ කරනවා. ගල්කිස්ස වෙරළ තිරයේ අපද්‍රව්‍ය එකතු කරලා ඒ බීම කෑන් දුම්රිය අපිට එවනවා. අපි පිළිමතලාවෙන් ගන්නවා. ඊට අමතරව විවිධ ප්‍රදේශවල අබලි ද්‍රව්‍ය එකතු කරන අයගෙනුත් අපි මේ කෑන් ගන්නවා."

මේ වන විට නෙළුම් කුලුන ඇතුළු විවිධ ස්ථානවල ඇති වෙළෙඳසල් හරහා අපූරු විසිතුරු භාණ්ඩ අලෙවි කිරීම සිදුවෙනවා. ඇත්තටම ඒවාට හොඳ ඉල්ලුමක් තියෙන බව තමා තරිඳු කියන්නෙ. මේ වෙනකොට තරිඳුගෙ සහෝදරිය වන ඉසුරි කන්දෙවත්ත ආයතනය කළමනාකරණය කරමින් ඉදිරියට යනවා.

“අපි එහෙම යනකොට තමයි අපිට මේ චැලෙන්ජ් එක එන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා. එයාලා ලබා දුන්න ඩිසයින් එකට අපි පොඩි දේවල් ටිකක් එකතු කරල දේශීය ආරකින් හදන්න අපි යෝජනා කළා. එයාලත් ඒකට කැමති වුණා. පරිගණකයෙන් ඇඳපු සැලැස්ම මත පදනම් වෙලා අපිට ඇණවුම ලබා දුන්නා."

මේ වන විටත් ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය නිමාවට පත්වී ඇති නිසා එම කුසලානය ඔබ දැක ඇතුවාට සැක නැහැ. ඇත්තටම ඒ නිර්මාණය අපූරු එකක්. අමුද්‍රව්‍ය ලෙස යොදාගත්ත දේටත්, ඒ පරිසර හිතකාමී ව්‍යාපෘතියටත් මේ කුසලානය සැබෑ වටිනාකමක් එක් කළා. කුසලානය දැකපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගයේ වීරයාට දෙන සම්මානයත් නිර්මාණය කරන්න තරිඳු ඇතුළු කණ්ඩායමට අවස්ථාව දුන්නා.

කොහොම නමුත් මේ සමස්ත කතාව ව්‍යාපාර ලෝකයට එන්න බලන් ඉන්න ව්‍යාපාර කරන කාටත් පාඩම් ගොඩක් කියා දෙනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයේදී අභියෝගවලට මුහුණ දීම, අභියෝග භාරගැනීම, නව අදහස්වලට ඉඩ ලබාදීමට සුදුසු කාලය, සුදුසු තීරණ ගැනීම වගේ පාඩම් රැසක් ඒ අතර තියෙනවා. ඒ නිසාමයි අපි මේ කතාව ඔබත් එක්ක බෙදාගත්තේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00