2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

පොත් කාවෝ සහ පොත් ගුල්ලෝ

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 185

සැප්තැම්බරය යනු පොත් මිලදී ගැනීමේ මාසයයි. ඔක්තෝබරය යනු කියැවීමේ මාසයයි. 

එහෙත් මේ සැප්තැම්බරයේ මිලදී ගත් පොත් ලබන සැප්තැම්බරය වනතුරුත් කියවාගත නොහැකි වූ උදවිය ද වෙති. ඊට නොයෙක් හේතු ඇත. කියෙව්වත්, නොකියෙව්වත් පොත් මිලදී ගැනීම අගය කළ යුතු දෙයකි.
කොළඹ, බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට පැමිණ පොත් මිලදී ගැනීම සිරි ලංකාවාසී පාඨක ජනයාගේ සිරිතකි.

පසුගිය වසරේ ප්‍රදර්ශනය නොපැවැත්වුණේ කොරෝනා භීතිය නිසාය. මෙවර ද රටේ පවතින ආර්ථික අර්බුදය නිසා එය පැවැත්වීම පිළිබඳ තීරණය වැටඋඩ තිබුණි.

එහෙත් අවසානයේදී එය වෙනදා මෙන්ම සාර්ථකව පැවැත්වුණි. ඈත පළාත්වලින් එන බොහෝ දෙනා ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා මෙවර නොපැමිණියත්, කොළඹ අවට ප්‍රදේශවල ජනයා ලක්ෂ ගණනින් පැමිණියෙන් සෙනඟේ අඩුවක් ද නොපෙනුණි. (අරගලයට පසු කොළඹට ආ වැඩිම සෙනඟය. එය නැරැඹීමටදෝ ජනාධිපතිතුමා ද එහි පැමිණියේය.)

අද සිරි ලංකාවේ මිනිසුන් සිටින්නේ පාන් රාත්තලක්, හාල් කිලෝවක් ගැනීමට වුවත් දෙවරක් සිතන තත්ත්වයකය. එසේ තිබියදීත් පොතක් දෙකක් මිලදී ගැනීමටත් පෝලිම් ගැසෙන මිනිසුන් දක්නට ලැබීම මහත් සතුටකි.
පොත් ගැන ඇති ජනප්‍රිය කියුම් බොහෝය. ඉන් එකකි මේ.

''ජීවිතය පොතක් බඳුය.
ඇතැම් පරිච්ඡේද දුක්මුසුය.
සමහර පරිච්ඡේද ප්‍රීතිමත්ය.

තවත් පරිච්ඡේදයක් කුහුලින්, සංත්‍රාසයෙන් පිරී ඇත.

ඔබ පිටුවෙන් පිටුව පෙරළමින් ඉදිරියට යා යුතුය. නැතහොත් ඊළඟ පරිච්ඡේදයේ ඇත්තේ කුමක්දැයි දැනගත නොහැකි වනු ඇත.''

පතපොතට මහත් සේ ඇළුම් කරන්නන් හැඳින්වීමට (පොත් ගුල්ලෝ) හෝ (පොත් කාවෝ) යන යෙදුම් භාවිත වේ.

පොත් කාවකුගෙන් ඔහු කියැවූ හොඳම පොත කුමක්දැයි ඇසීම මවකගෙන් ඔබ වඩාත් අදරුති දරුවා කවුදැයි ඇසීම බඳුය.

වේයන්, මීයන්, කාවුන්, ගුල්ලන් හෝ කැරපොත්තන් පොත්වලට හානිකර වුවද, ඔබ වඩාත් පරිස්සම් විය යුත්තේ පොත් (හිල් නොකරන) නමුදු (ගල් කරන) මිතුරන්ගෙනි.

පොතක් යනු වියපත්, තැන්පත්, නැණවත්, ගුණවත් පුද්ගලයකු බඳුය. කිසිදු අවධානයක් නොලද පොතකට වුව, තමන් වටහා ගන්නා පාඨකයා හමුවන තුරු වසර සිය ගණනක් වුව, ඉවසිලිමත්ව බලා සිටීමේ ශක්තිය ඇත.

ආහාර පිළිබඳව මෙන්ම පොත් පිළිබඳව කතා කිරීමේදීද, (දිරවීම) යන වදන භාවිත කෙරේ. ඇතැම් පාඨකයනට ඇතැම් පොත් (දිරවන්නේ) නැත.

පොත් ගුල්ලෙක්, කාවකුගෙන් මෙසේ ඇසීය. 
''ඔබ වඩාත්ම ප්‍රිය කරන පොත් මොනවාද?'' 
කාවා දෙවරක් නොසිතාම මෙසේ කීය.
''මම වැඩියම කැමැති වයිට් ඩිමයි පොත්වලට.''
''ඒ මොකද?''
''බ්‍රයිට් වයිට්වලට වඩා, වයිට් ඩිමයි මට දිරවන්ඩ පහසුයි.''

ඒ කාවා අදහස් කළේ වෙන දිරවීමකි. (පොත් කාවුන්) අතර, විවිධ රුචිකත්වයෙන් යුත් අය සිටීම ද සාමාන්‍ය තත්ත්වයකි.

භක්තිමත් පාඨකයකු වූ රුසියානු ගත්කරු මැක්සිම් ගෝර්කි මෙසේ කියා ඇත. ''ඇතැම්විට පොතක තියෙන එක හොඳ වාක්‍යයක් හැරුණුවිට, මුළු පොතෙහිම කිසිදු ගත යුත්තක් නැතැයි ඔබට සිතෙන්නට පිළිවන. එහෙත් ඔබ මිනිසාට ළං කොට, මිනිසා පිළිබඳ සතුටක් හෝ අසතුටක් ඇති කරන්නේ ඒ තනි වාක්‍ය විසිනි.''

ගෝර්කි සඳහන් කර ඇති අන්දමට, සෑම හොඳ පොතක්ම හාස්කමකි.

පොත් ප්‍රදර්ශන භූමියේ නිදහස් තැන්වල හිඳ තමන් මිලදී ගත් පොත් කියවන උදවිය දකින විට මට අගනා කියමනක් මතකයට නැගුණි. ලෝකයේ ඇති වඩාත්ම ආරක්ෂිත පුස්තකාලය පිහිටා ඇත්තේ ඔබේ මනසෙහිය. එහි තැන්පත් පොත් කිසිවකුට සොරාගත නොහැක. කිසිදු කෘමියකුට විනාශ කළ නොහැක.

පොත්පත් ගැන ඇති සිනා කතා ද රැසකි.

පොත්හලකට පැමිණි තලතුනා පුද්ගලයෙක් මෑතකදී එහි සේවයට බඳවාගෙන තිබූ තරුණ සේවකයාගෙන් මෙසේ ඇසීය.

''මෙහෙ ඩොයිලිගෙ දිනපොත තියෙනවද?''

''එක එක්කෙනා දාලා ගිය දේවල් තියෙනවා. ඩොයිලි මහත්තයට අයි.ඩී. එක අරන් එන්ඩ කියන්ඩ. දින පොත තිබ්බොත් ගත්තැකි.''

තවත් අවස්ථාවක එහි පැමිණි තරුණියක් පොත් රාක්ක අතරේ සරමින් සිට, අර සේවකයා දැක මෙසේ ඇසුවාය.

''බැද්දේගම තියෙන්නෙ කොයි හරියෙද?''

''හම්බන්තොට පැත්තේ නේද?''

සේවකයා පෙරළා ඇසීය.

  කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00