2022 අගෝස්තු 28 වන ඉරිදා

සැප්තැම්බරයේ එන පොත් වසන්තය

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 288

සාහිත්‍යලෝලීන්, ලේඛකයන්, ප්‍රකාශකයන්, පාඨකයන් පවා සැප්තැම්බරය එත තෙක් සිටින්නේ ඇඟිලි ගනිමිනි. ඒ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වීමටය. ලේඛකයන්ගේ අලුත්ම පොත් නිකුත් වන, ප්‍රකාශකයන්ට කරල පැහෙන, පාඨකයන්ට තමන් කැමැති පොත් හිතේ හැටියට තෝරාගැනීමට ඉඩ ලැබෙන සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වීමට තීරණය කර තිබේ. 

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 16දා සිට 25දා දක්වා උදේ 9.00 සිට රාත්‍රී 7.00 දක්වා පැවැත්වේ. පසුගිය 2021 වර්ෂයේ කොවිඩ් අවදානම මාරාන්තික වසංගතයක් වූ නිසා කොළඹ පොත් දැක්ම පැවැත්වීමට ඉඩකඩක් නොවීය. 2020 වර්ෂයේ කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත නීතිවලට අනුගතව පොත් ප්‍රදර්ශනය පැවැත්වූ අතර ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගි වූහ. දැන් අවුරුදු දෙකක පොත් ප්‍රදර්ශනයක් සේ මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට ප්‍රකාශකයෝ ලහිලහියේ සූදානම් වෙති. පසුගිය වර්ෂයේ ස්වර්ණ පුස්තක හා රජත පුස්තක ප්‍රශස්ත කෘති මෙන්ම මේ වර්ෂයේ ස්වර්ණ පුස්තක/ රජත පුස්තක පොත් ද මෙහිදී පාඨකයන්ට තෝරාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

අපි මේ ගැන දැනගැනීමට මුලින්ම කතා කළේ ස්වර්ණ පුස්තක දෙවැනි වටයට පැමිණි පොත් වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළ නුගේගොඩ සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරිටයි. ''පවත්නා ආර්ථික අර්බුදය නිසා බොහෝ පොත් ප්‍රකාශකයන් පොත් පළකිරීම නවත්වා තිබුණත් අපි නම් පසුගිය කාලෙත් යම් පොත් ප්‍රමාණයක් පළ කළා. වෙනදට පළ කරන ප්‍රමාණයෙන් 15% ක් වගේ. සරසවි ප්‍රකාශන පොත් 5ක් ස්වර්ණ පුස්තක දෙවැනි වටයට ඇවිත් තිබෙනවා. ඒ පොත්වල නව මුද්‍රණ නිකුත් කිරීමක් සිදුවෙනවා. මේ පොත් පාඨකයන්ට අඩුවක් නැතිව ලබාගත හැකි ආකාරයට මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ගිය අවුරුද්දේ පැවති මිලට වඩා පොතක මිල වැඩිවීමට ඉඩ තිබෙනවා. නමුත් අපි පාඨකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන සලකලා හැකි අඩුම මිලක් තීරණය කිරීමට උත්සාහ කරනවා. සරසවි ප්‍රකාශනවලට 20%ක වට්ටමකුත් අපේ ආනයනික පොත්වලට 10%ක වට්ටමකුත් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

මෙවර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාගෙන තිබෙන්නෙත් සරසවි ප්‍රකාශකයන්. අපි විශාල මුදලක් වැය කර අනුග්‍රාහකත්වය ලබාගත්තේ පොත් ප්‍රදර්ශනය පැවැත්වීම අවශ්‍යම නිසයි. පාඨකයන්ට කරන සේවයක් විදිහට සලකලයි. මම හිතන විදිහට මේ පාර වෙනදා තරම් ප්‍රදර්ශන කුටි ප්‍රමාණයක් නැතිවේවි. ප්‍රදර්ශන කුටි ඉදිකිරීමේ වියදමත් විශාල වශයෙන් ඉහළ ගිහින්. නමුත් මම හිතනවා මෙවර අති විශාල ජනතාවක් පැමිණේවි කියලා. ඒ වගේම අපි මෙවර අලුතින් පොත් 30ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. නවකතා 6ක්, ඩබ්ලිව්.ඒ. සිල්වාගේ පොත් තුනක නව මුද්‍රණ, කෙටිකතා පොත් 3ක්, විවිධ විෂය පොත් රාශියක් ආදී වශයෙන්. ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය නම් අඩුවෙලා. නමුත් පොත් අලෙවිය සාමාන්‍ය විදිහට සිදුවෙනවා. වෙනදා පොත් දෙක තුනක් ගත් පාඨකයා එක පොතක් වගේ තමයි ගන්නේ.''

මේ වනවිට රට ආර්ථික අර්බුදයක ගිලී ගොසිනි. පොත්පත් වෙනුවට බත්පත සොයා ගැනීම මුලට පැමිණ තිබේ. රට කරවන පාලකයන් ද පොත්, පත්තර මුද්‍රණය කරන කඩදාසි, තීන්ත, ප්ලේට් වර්ග ඇතුළු අමුද්‍රව්‍ය ආනයනය කිරීම ගැන තවම නිසි විසඳුමක් දී නැත. හැම එකකටම ඩොලර් ප්‍රශ්නය මුලට දමනු පෙනේ. නමුත් විරෝධතාකරුවන්ට එල්ල කිරීමට කඳුළු ගෑස්, පාරවල් හරස් කිරීමට යකඩ බට ඕනෑ තරම් ඇත. ඒ අතර සාහිත්‍යයට කැමැති පාඨකයෝ අරපිරිමැස්මෙන් ඉතිරි කරගත් මුදලක් යොදවා පොත්පත් මිලදී ගැනීමට පෙළඹෙති.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි පැවසුවේ මෙවර අලුත් පොත් පිටවීම අඩු වුණත් ගිය අවුරුද්දේ පළවූ පොත් සහ සම්මානිත පොත් මිලදී ගැනීමට පාඨකයන්ට අවස්ථාව හිමිවන බවයි. ''අපි පාඨකයන්ගෙන් ඉල්ලීමක් කරනවා සැමවිටම මුව ආවරණයක් පළඳින්න කියලා. ඒ වගේම දුම්රියෙන් පැමිණෙන පාඨකයන්ගේ පහසුව සඳහා කොටුව සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අසල සිට ලංගම බස් රථ කිහිපයක් හෝ බී.එම්.අයි.සී.එච්. හරහා ධාවනය කරවීමට ප්‍රවාහන ඇමැතිගෙන් ඉල්ලීමක් කරනවා. එවිට දුම්රිය ස්ථානවල සිට පොත් ප්‍රදර්ශනයට පහසුවෙන් පැමිණීමට හැකියාව ලැබේවි. කඩදාසිවල අධික මිල නිසා පොත් පළකිරීම අඩාල වෙලා. පළ කරන පොත්වලට අධික මිලක් නියම කළ විට ඒවා මිලදී ගැනීමට පාඨකයන්ට දුෂ්කරයි. අපේ පොත්වලට සැමවිටම පාඨකයන් ගැන හිතලා මිලක් නියම කිරීමට කටයුතු කරනවා.''

සමහර ලේඛකයන් අප සමඟ පැවසුවේ පසුගිය මාස කිහිපය පුරාම රට තුළ පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ පොත් ලිවීමේ පසුබිමක් නැති බවය. පොතක් ලිව්වත් එය පළකිරීමට කඩදාසි නැති බවත්, අධික මිල ගණන්වලට කඩදාසි ලබාගෙන පළ කරන පොත් මිලදී ගැනීමට පාඨකයන්ට අපහසු බවත් තවත් සමහර ලේඛකයෝ පැවසූහ. සෑම පොත් ප්‍රදර්ශනයකදීම වැඩිම අලෙවියක් වාර්තා කරන පරිවර්තන පොත් පළ කරන ජනප්‍රිය ලේඛක දිලීප ජයකොඩි අප සමඟ පැවසුවේ රටේ අර්බුදයක් පැවතුණද ඔහු ලේඛනය නවත්වා නැති බවයි. මේ ඔහු පළ කළ අදහස්ය.

''මම ලිවීම නවත්වන්නෙ නැත්තෙ ඒක මගේ ෆැෂන් එක නිසා. මම තෘප්තියට පත්වන්නෙ ලිවීමෙන්. ඒ නිසා ඒක නවත්වන්න බැහැ. ඒක නිසා රට ගිලගෙන තිබෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන හිඟය, පොහොර හිඟය වගේ දේවල් මට බලපාන්නෙ නැති විදිහට සිටිමින් මගේ ලේඛනය කරගෙන යනවා. මේ පාර පොත් ප්‍රදර්ශනයට මම ලියපු අලුත් පොත් තුනක් පළවීමට නියමිතයි.

දැන් පොත් මිල වැඩිවෙලා නිසා පාඨකයාට වෙනදා වගේ හැම පොතක්ම මිලදී ගැනීමට හැකියාවක් නෑ. ඔහු පොත් මිලදී ගන්නේ ලොකු තෝරාගැනීමකින් පසුවයි. තමන්ට ඉහළම ආසාවක් හිතෙන පොත් තමයි මිලදී ගන්නේ. ඒක ලේඛකයාට අභියෝගයක්. පාඨකයා තෝරාගන්නා පොත් ඉදිරිපත් කිරීමට ඔහුට සිදුවෙනවා. පොතක් පරිවර්තනය කරන විට වුණත් පරිවර්තකයාට විමසිල්ලෙන් තෝරාගෙන එය කරන්න සිදුවෙනවා. මේකේ සුබවාදී පැත්ත මම දකින්නේ ඒ විදිහට.
මම නම් පොත් ප්‍රදර්ශනය බලාගෙනම ලියන කෙනෙක් නොවෙයි. හැම අවුරුද්දකම වගේ අවුරුද්දේ මහන්සිය හා සතුට විදිහට පොත් කිහිපයක් පරිවර්තනය කරනවා. මේ අවුරුද්දේ මගේ ස්වතන්ත්‍ර කෘතියකුත් පාඨකයාට කියවීමට ලැබේවි.''
පසුගිය මාර්තු මාසයෙන් පසු බොහෝ පොත් ප්‍රකාශකයන් අලුතින් පොත් පළකිරීම නවත්වා තිබුණි. ඒ පොත්වලට ඉතා අධික මිලක් නියම කිරීමට සිදුවන නිසාය. නමුත් දැන් පොත් ප්‍රදර්ශනයට දින නියමවීමත් සමඟ ලොකු පොත් සාප්පු හිමියෝ මෙන්ම කුඩා ප්‍රකාශකයෝ ද පොත් කිහිපයක් හෝ පළකිරීමට උත්සාහ ගන්නා බව පෙනේ.

සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි පැවසුවේ ලෝක වෙළෙඳපොළේ කඩදාසි මිල කලින් කලට ඉහළ පහළ යන බවත් මේ දිනවල පවතින්නේ අධික මිලක් බවත්ය. සමහර පොත් ප්‍රකාශකයන් පුවත්පත් මුදුණය කරන මිල අඩු නිව්ස් ප්‍රින්ට් හෝ ඩිමයි කඩදාසිවල පොත් පළකිරීමේ උත්සාහයක යෙදෙනු පෙනේ. කෙසේ වුවත් රටේ ආහාර ද්‍රව්‍යවල හා ඉන්ධනවල සිට සෑම දෙකම මිල වැඩිය. අධික ඉන්ධන මිල පොත්වලටත් බලපාන්නේ පොත් බෙදාහැරීමට විශාල ප්‍රවාහන වියදමක් යන හෙයිනි. නමුත් බොහෝ ප්‍රකාශකයන් අප සමඟ කීවේ තමන්ගේ ලාභය අවම කරගෙන හෝ පාඨකයන් ගැන සිතා හැකි අඩුම මිලක් නියම කිරීමට උත්සාහ ගන්නා බවයි.

සැප්තැම්බරයේ සාහිත්‍ය වසන්තය එළඹෙන තෙක් අපිත් බලා සිටිමු. පොත්පත් පමණක් නොව අයිස්ක්‍රීම්, සිසිල් බීම, තේ පැන් පවා ප්‍රදර්ශන බිමේදී මිලදී ගැනීමට පෙර දෙවරක් සිතීමට පාඨකයාට සිදුවනු ඇත.

 කුසුම්සිරි විජයවර්ධන

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00