2022 ජුලි 31 වන ඉරිදා

මුදලට විකිණෙන හෝමෝසේපියන්ස්

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 172

ලෝකයෙහි මුදලට විකිණෙන සත්වයින් ප්‍රධාන වශයෙන් දොකොටසකි. ඒ මිනිසාගේ ආහාරය (පැවැත්ම) පිණිස විකිණෙන සතුන් හා අලංකාරය පිණිස හෝ සුරතලයට ඇතිකරන සතුන් වශයෙනි. සත්ව උද්‍යානයන්හි හා සර්කස් දර්ශනයන්හි ප්‍රදර්ශනය පිණිසත්, විද්‍යාත්මක පර්යේෂණ සඳහාත් ඇතැම් සතුන් යොදාගනු ලැබේ.

වහල් වෙළඳාම පැවති යුගයේදී නම් මිනිසුන්ද, වෙන්දේසි කර අලෙවි වූ නමුත්, ඉන්පසුව නම් එවැනි දේ අසන්නට නොලැබුණි. එහෙත් වර්තමානයේ දේශපාලනඥයන්ද මුදලට අලෙවි වන බවට කතා පැතිර යන බැවින්, ඒ පිළිබඳවද සොයාබැලීමේ වරදක් නැතැයි සිතේ.

හෝමෝසේපියන් නොහොත් මානවයා ලොව වෙසෙන බුද්ධිමත්ම සත්ව විශේෂයයි. පොලිටීෂියන්ද, හෝමෝසේපියන් කෙනෙකි. එහෙත් ඔහු මහජන සේවකයෙකි. එහෙත් සිරිලංකාව වැනි අසිරිමත් රටවලදී දේශපාලනඥයාට එම ගරු සේවය සඳහා ඉහළ වැටුපක්ද ලැබේ. යාන වාහන ඇතුව වරප්‍රසාද රුසක්ද නිල බලයෙන්ම හිමිවේ. එහෙයින් ඔහුට, තමන්ට මිලක් නියම කිරීමට හෝ ආත්මය විකිණීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.

එසේ තිබියදී, ඇතැම් තීරණාත්මක අවස්ථාවලදී, ඇතැම් මැති ඇමැතිවරු මුදලට ලබාගත හැකි බවත්, ආණ්ඩු පක්ෂය විපක්ෂයට ලංසු තබන බවත් අසන්නට ලැබේ. දැව වෙළෙඳුන් තේක්ක ගස් මිලදී ගන්නාක් මෙන් වට අඩි ගණනට - කඳ බඩ මැන මන්ත්‍රීවරු මිලදී ගත හැකි යැයි පක්ෂ නායකයකු පැවසුවේ ඊයේ පෙරේදාය.

පාර්ලිමේන්තුව යනු ආර්ථික මධ්‍යස්ථානයක් හෝ මාරකැට්ටුවක් නොහොත් වෙළෙඳපොළක්ද නොවේ. එසේ නම් මෙය පිළිගත හැකි සත්‍යයක්ද? නොඑසේ නම් තවත් දේශපාලන මඩක්ද යන්න තෝරා බේරාගැනීම මහජනයා සතු කාරියකි.
මහජනයා යනු ඡන්ද දායකයාය. මන්ත්‍රීවරු පත්කර යවන්නේ ඔහු විසිනි. එහෙයින් තම නියෝජිතයා, වෙළඳ භාණ්ඩයක් බවට පත් නොකිරීමට ඔහු වගබලා ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය හා අලෙවිකරණය අතර සබඳතාවක් තිබේදැයි වහ වහා සොයාබැලිය යුතුය. නැතහොත් ඔබේ මහජන නියෝජිතයා විසින්, ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබටද විකුණා දැමීමට (ඔබේ මතය, ඔබේ අයිතිවාසිකම්, ඔබේ යහපැවැත්ම හා අනාගතය ඇතුළු සියල්ල සමඟින්) විශාල ඉඩකඩක් ඇති හෙයිනි.
පිල් මාරුව නොහොත් ප්‍රතිපත්ති මාරුවද දේශපාලන ක්ෂේත්‍රයට නුහුරු දෙයක් නොවේ. සිරි ලංකා දේශපාලනයේද පිල්මාරු කතා බොහෝය. ශ්‍රීල.නි.ප.යට පිටුපසින් පිහියෙන් ඇන යූ.ඇන්.පී.යට රිංගා ඇමැතිකම් ගත් සී.පී. ද සිල්වා එතැන් සිට ''සී පිහි සිල්වා'' වූ සැටිද ඉන් එක් කතාවකි.

තමන් පිනුම් සාස්තරයෙහිද අති දක්ෂයන් බව ජනතාව ඉදිරියේ නිර්ලජ්ජිතව හෝ නිර්භයව පෙන්නුම් කරමින් එහෙට මෙහෙට පැනුම් පිනූ දේශපාලන මණ්ඩුකයන් ගැන ලියන්නට ගියොත්, මේ කොලම එක දවසකින් ඉවර කරගත නොහැකි වනු ඇත.
''හැම විජ්ජාවටම වඩා හොඳ ගැළවිජ්ජාව'' යැයි කියන්නාක් මෙන්, දේශපාලන පොර පිටියේ සිටින පිනුම් - කරණම් අප්පුහාමිලාට, ප්‍රතිපත්ති නමැති වැට මායිම් ඇත්තේ නැත.

වමෙන් දකුණටත්, දකුණෙන් වමටත් පැනපු සමහරු, අවසානයේ නතර වූයේ කුණු බක්කිවලය. තවත් සමහරු දක්ෂිණාංශයටත් වාමාංශයටත් දෙකමට නැති නපුංසකයන් බවට හෝ අංශභාග කාරයන් බවට පත්වූහ.

''සාහිත්‍යය කන්ඩදැයි'' ජේ.ආර්. උතුමාණන් ඇසුවාක් මෙන්ම එතුමාගේ ගෝල බාලයින් ''ප්‍රතිපත්ති කණ්ඩදැයි'' තම පාර්ලිමේන්තු මිතුරන්ගෙන් අසන්නටත් ඉඩ ඇත.

එසේ බැලූ විට එකී දේශපාලන රාළහාමිලාගේ ආත්මයන්ට පමණක් නොව, ප්‍රතිපත්තිවලටත් මිලක් - ලංසුවක් ඇති සේය. කැමති විටෙක ඒවා විකුණාගත හැකිය. මිලෙන් වැඩි ප්‍රතිපත්ති මෙන්ම මිලෙන් අඩු ප්‍රතිපත්තිද ''පාර්ලිමන්ට් වෙන්දේසි පොළේදී'' අලෙවි වෙයි. 

දේශපාලනයේදී සදාකාලික සතුරන්, මිතුරන් නැති බව දේශපාලනඥයින් විසින්ම, සිනාමුසුව පවසනු අසන්නට ලැබෙයි. ඒ කියමනෙහි කිසියම් සත්‍යතාවක්ද ඇතත් අපට නම් එය පිළිකුල් සහගතය. එබඳු කියුම් ගැලපෙන්නේ, බඩගොස්තරවාදීන්ට හා අවස්ථාවාදීන්ට මිස, ප්‍රතිපත්තිගරුක ජනතාවාදී පුද්ගලයන්ට නොවේ.

නව සත්ව විද්‍යාත්මක සොයාගැනිම් කීපයක් ගැන, අන්තර්ජාල සටහනක සඳහන්ව තිබෙනු දිටිමි. එයට අනුව, දියවන්නා පෙදෙසින් ද්විත්ව දිව සහිත අලුත් සත්ව විශේෂයෙක් සොයාගෙන ඇති අතර, එය ''ඩයිනේශියා බොරල්ගොඩ්සා'' යනුවෙන් නම්කර ඇත. මේ අතර, දියවන්නා ජලාශයෙන් අලුත් මැඩි විශේෂයක්ද සොයාගෙන ඇති අතර, එය නම්කර ඇත්තේ ''අටකෝටෙයියා පාවාදිකා'' යනුවෙනි. ඕනෑම අවස්ථාවක, එක් ඉවුරක සිට අනෙක් ඉවුරට පැනීමට, මෙම මැඩියන් සමත්ය.
අලුත් උරග විශේෂයක් පිළිබඳවද දැනට පර් යේෂණ කරගෙන යන අතර එයට යෝජිත නාමය වන්නේ ''පොලිසිලස් මිනිස්ටරිස්''ය. ඉතා විෂ සහිත මෙම උරගයෝ, තම වර්ගයාට පවා දෂ්ට කිරීමට පසු නොබාති.

 කපිල කුමාර කාලිංග