2022 ජුනි 26 වන ඉරිදා

ගෙදර සිට වැඩ කිරීම

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 151

සිරි ලාංකිකයාගේ ජීවන රටාව සහමුලින්ම වෙනස් වෙමින් පවතී. ඊට නිදසුන් වශයෙන් වටින් ගොඩින් එකතු කරගත් කියමන් කිහිපයක් පහත දක්වමි.

හොඳම පාසල - ළඟම පාසල

හොඳම වැඩපළ - ළඟම වැඩපළ

හොඳම කන්තෝරුව - ළඟම කන්තෝරුව

හොඳම වැඩ - ගෙදර වැඩ (ගෙදර සිට වැඩ)

හොඳම ගමන - පයින් ගමන

හොඳම ලිප - දර ලිප

හොඳම කෑම - ඉල්ලන් කෑම

හොඳම ගෙදර - ළඟම ගෙදර

මේ කිහිපයක් පමණි. තවත් බොහෝ ඇත. 

ඒ සියලු දෙයින් ඇඟවෙන්නේ නූතන සිරි ලාංකිකයා ආපසු ගමනක යෙදෙන බවය.

වියත් මගක ඉදිරියට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි ඔහුට මේ කුමක් සිදුවීද?

සංස්කෘතිය යන බරසාර යෙදුමට කොතෙක් නිර්වචන තිබුණද, ප්‍රධාන වශයෙන්ම ඉන් අදහස් කෙරෙනුයේ මිනිසා ජීවත් වන විදිහය. ඒ අනුව කල්පනා කරන විට පෙනී යන්නේ මෙතෙක් කල් පැවති - සාම්ප්‍රදායික - සිරි ලාංකික - සංස්කෘතියද වෙනස් හැඩයක් ගනිමින් ඇති බවයි.

පරිපූර්ණ මිනිසකු වීමට අත්‍යවශ්‍ය කාරණා දෙකක් වන්නේ නිදහස සහ සතුටයි.

මෑතක් වනතුරුම සිරි ලාංකිකයා නිදහසේ ගමන් බිමන් යමින්, කමින් බොමින් සතුටින් ජීවත් විය. අද ඒ සියල්ල වෙනස් වී ඇත.

ඔහු අවිනිශ්චිත අනාගත කාලයක් දෙස දෑස් දල්වාගෙන බලා සිටී.

ඔහු තවදුරටත් පරිපූර්ණ මිනිසකු නොවන්නේ මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකි හෙයිනි.

පසුගිය දිනෙක මම මිතුරකු හමුවීමට ගියෙමි. ඔහු නිවසේ නොවීය.

එයා තෙල් පෝලිමේ ඇති

මිතුරාගේ බිරිඳ කීවාය. 

මම ආපසු ආවෙමි.

සවස් යාමයේ මම නැවත ඔහු හමුවීමට ගියෙමි.

එයා පුතාව පෝලිමේ තියල ගෙදර ඇවිත් නිදි

ඔහු බිරිඳ කීවාය.

මම ආපසු ගියෙමි.

රාත්‍රී අටට පමණ මම යළි ඔහු හමුවීමට ගියෙමි.

පුතා ගෙදර පැමිණ සිටි අතර, මිතුරා යළි පෝලිමට ගොස් සිටියේය.

මෙය සිරි ලාංකිකයාගේ අලුත්ම ජීවන රටාවේ එක් පැතිකඩක් දක්වන සිද්ධියකි. 

ඩීසල්, පෙට්රල් ලබාගත් පසුද මිනිසුන් වෙනදා මෙන් ගමන් බිමන් යන්නේ නැත. ඔවුන් රිය පණගන්වන්නේ දෙවරක් සිතා මතාය. අත්‍යවශ්‍යම ගමනක් සඳහාය. ඔහු නොදැනුවත්වම සමාජ ආශ්‍රයෙන් දුරස්ථ, හුදෙකලා සත්වයකු බවට පත්වෙමින් සිටී. සමාජ විද්‍යාඥයකු මෙය මිනිසාගේ පැවැත්මේ %විකෘතියක්^ ලෙස දකින්නට ඉඩ ඇත.

කන්තෝරු යාම මොන තරම් විනෝදජනක කාරියක්දැයි වැටහෙන්නේ ඊට සීමා මායිම් පැනවූ පසුව යැයි මගේ මිතුරෙක් මෑතකදී කීවේය.

කතාබහ කරමින්, ඕපාදූප බෙදාහදා ගනිමින්, කමින් බොමින්, ගෙවා දමන කන්තෝරු ජීවිතය කොතරම් රසවත්ද? කන්තෝරුකාරයන්ම කියන පරිදි ඉඩක් ලැබුණොත් ඔවුහු රාජකාරි වැඩක් දෙකක්ද කිරීමට අමතක නොකරති.

Work from home නොහොත් ගෙදර සිට වැඩ කිරීම යනු, ඒ විනෝද සමය සම්පූර්ණයෙන්ම ඇණහිටීමකි. එසේම, කන්තෝරුවේදී මෙන් නොව ගෙදරදී රජයේ සේවකයාට %බොස්^ලා දෙදෙනෙකි. එකෙක්, ඔෆීස් බොස්ය. අනෙකා ගෙදර බොස් නොහොත් වයිෆ්ය. ඒ දෙදෙනාගේම නියෝග ක්‍රියාත්මක කරන ඔහුට, රජයේ නියෝග අනුව ගෙවතු වගා කටයුතුවල නියැලීමටද සිදුවෙයි.

ගෙදර සිට ඔෆීස් වැඩ කරන අතරේ ගෑස් සෙවීම, කඩේ යාම, දර පැලීම, ලිප් බැඳීම, පොල් ගෑම වැනි අමතර කටයුතු කිරීමටද අසරණ කාර්යාල සේවකයාට සිදුවන අතර, වැඩිපුර ප්ලේන්ටියක් මිස, කිසිදු අතිකාල දීමනාවක් හෝ දිරි දීමනාවක් ඒ සඳහා නොලැබේ.

ගෙදර සිට වැඩ කිරීමේ ඇති එක් වාසියක් වන්නේ ඇඳුම් පැළඳුම් ගැන කරදර වීමට අවශ්‍ය නොවීමය. ඇඳුම් මැදීම, පාවහන් ඔපලෑම, රුවුල කැපීම වැනි කටයුතුවලින් මිදී සිටිය හැක. සමහරු දත් මැදීම පවා අමතක කරති. රතු ඉරි නැති හෙයින් කැමති වෙලාවකට වැඩ ඇරඹිය හැකිය. වීඩියෝ නැතිව වැඩ කරන විට, උඩම කමිසය හැඳ, යටට සරම ඇඳ සිටියාටද ප්‍රශ්නයක් නැත. බොහෝ දෙනාගේ වර්ක් ෆ්රොම් හෝම් නිලඇඳුම වන්නේ කොට කලිසම (ෂෝට) සහ ටී ෂර්ටයය.

මේ ආකාරයෙන් ගෙදර සිට වැඩ කිරීමේ උප සංස්කෘතියක්ද බිහි වී තිබේ. මිනිසකුගේ අවමංගල්‍යයද සංස්කෘතික කටයුත්තකි. මළගමක් යනු අවසාන ගෞරවය දැක්වීමකි. එහෙත් දැන් එයටද වර්තමාන ආර්ථික අර්බුදය හරස් වන අයුරු දැක්වෙන සමාජ ජාලා නිවේදනයක්^ පසුගියදා ඇස ගැසුණි. ඒ මෙසේය.

කාරුණික නිවේදනයයි.

දැනට රටේ පවතින ගෑස් හිඟය නිසා ආදාහනාගාරවල කටයුතුද නතර කිරීමට සිදුවී තිබේ. එහෙයින් අත්‍යවශ්‍ය කරුණකදී හැරුණුවිට මිය යාමෙන් වළකින මෙන් සියලු පුරවැසියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. (හදිසි අවශ්‍යතාවක් මත කෙරෙන සියදිවි නසාගැනීම් සඳහා ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලයෙන් අවසර ලබාගත හැකිය.)

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00