2022 ජුනි 12 වන ඉරිදා

ඉවසන දනා පෝලිමෙ යනා

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 188

නිමාවක් නොපෙනෙන ආර්ථික ව්‍යසනයක් සමඟම රටේ ජන ජීවිතය හා සිතුම් පැතුම්ද වෙනස් වෙමින් පවතී. ඒ බව දැකගත හැකි එක් මාධ්‍යයක් වනුයේ පුවත්පත්වල පළවන මංගල දැන්වීම්ය.

එක් මංගල දැන්වීමක, දෙමව්පියන් සිය උපාධිධාරී දියණියට සොයන්නේ, ඉන්ධන පිරවුම්හල් හිමියෙකි. තවත් දැන්වීමකදී පෞද්ගලික බස් රථ දෙකක් හිමි පියා, සිය දියණියට සොයන්නේ වරදට සමාව දිය හැකි බවුසර් හිමියෙකි. ගෙවතු වගාවට ලැදි, පාපැදි පැදිය හැකි තරුණියන්ටද වැඩි ඉල්ලුමක් ඇති බව පෙනී යයි. දර ලිපේ වැඩ කිරීමට ඇති පළපුරුද්ද අමතර සුදුසුකමකි. නිවසේ සිට වැඩ කරන පුතාට, පෝලිම්වල සිටීමට කැමැති තරුණියක සොයන මවකගේ දැන්වීමක්ද පළව තිබුණි.
මෙම දැන්වීම් තුළ කිසියම් හාස්‍යයක් පෙනුණද, සමාජ විද්‍යාඥයකුගේ දෘෂ්ටියෙන් බැලුවහොත් දැකිය හැක්කේ සිරි ලාංකිකයා විශාල සමාජ විපර්යාසයකට හුරු වෙමින් සිටින බවය. සමහර විට මෙය, අරගලකරුවන් බලාපොරොත්තු වන ක්‍රමයේ වෙනස නොවිය හැකිය. එහෙත් කිසියම් වෙනසක් සිදුවෙමින් පවතින බව අප පිළිගත යුතුය.

පවතින ක්‍රමය වෙනස් කරමු යන්න වරින්වර යාවත්කාලීන වන යල්පැනගිය සටන් පාඨයකි. ක්‍රමය දිගටම පවතින නිසා සටන් පාඨයටද වෙනස්වීමට අවශ්‍ය නොවේ.

සැබෑ වෙනසක් කිරීම සඳහා ඉදිරිපත් වන දේශපාලනඥයන්ටද බලයට පත්වූ පසු තමන් දුන් පොරොන්දුව අමතක වන්නේ පවතින ක්‍රමය සැපදායක හා වාසිදායක බව හැඟෙන බැවිනි. ක්‍රමය කෙසේ වෙතත්, දේශපාලනඥයෝ නම් ශරීර ප්‍රමාණයන්ගෙන් පවා වෙනස් වෙති.

පෝලිම් ක්‍රමයද දැන් ජනගත වී ඇති නිසා සිරි ලාංකිකයාගේ දෛනික ජීවන රටාවද විපර්යාස වී ඇත. ඒ අනුව දැන් ඔවුන් නිදන ආකාරයද වෙනස්ය. ත්‍රිරෝද රියැදුරෝ, ත්‍රිරෝදය තුළමද බස් රියැදුරෝ හා කොන්දොස්තරවරු බසය තුළමද නිදති. බවුසර් හිමියෝ බවුසරය යටද ට්‍රුක්ටර් හිමියෝ ට්‍රුක්ටරය පසුපසද නිදති. රුකියාවන්හි නියුතු පිරිමි රාත්‍රියේ හරි අඩකටත් වඩා ගෑස් පෝලිමේ සිටින අතර, ඉන්පසු බිරිඳ පැමිණ ඩියුටිය බාර ගනී. සැමියා ගෙදර ගොස් පැයක් දෙකක් නිදා ඉන්පසු රුකියා ස්ථානයට ගොස් නින්ද සම්පූර්ණ කරගනිති.

බිම හිඳ, ගෑස් සිලින්ඩරයට හිස තබා නිදාගැනීමද අලුත් පුරුදු වූ පෝලිම් නින්දකි. දෙදෙනෙක් දෙපැත්ත හැරී එකිනෙකාගේ උරහිස් මත හිස් තබා නිදාගැනීම තවත් ක්‍රමයකි. සමහරු තමන්ගේ ස්ථානයෙහි ගෑස් සිලින්ඩරය තබා අසල පදික වේදිකාවේ නිදාගනිති. මාර්ගය අවහිර කර විරෝධය දක්වන අවස්ථාවක නම් පාර හරහා නිදාගැනීමේ දුර්ලභ අත්දැකීමද ඔවුනට ලබාගත හැකිවෙයි.

දින දෙක තුනක්පුරා, පෝලිමේ ගතකරන මිනිසුන් අතර අපූර්ව මිත්‍ර සම්බන්ධතාද ගොඩනැගීම පොලිම් උප සංස්කෘතියේ යහපත් ලක්ෂණයකි. පෝලිමේ සිටින අයට තේ, කෝපි, බනිස්, මාළු පාන් ආදියෙන් කෙරෙන සංග්‍රහ &පෝලිමේ දන්සල්* යනුවෙන් ජනවහරට එක් වී ඇත.

කිලෝමීටර් දෙකක් පමණ දිග ගෑස් පෝලිමක අගට එක්වූ වියපත් පුද්ගලයෙක් තමාට ඉදිරියෙන් සිටි තරුණයා සමඟ කතාබස් කොට මිතුරු විය. ඉන්පසු ඔහු ජාතික හැඳුනුම්පතද දාහේ නෝට්ටු කීපයක්ද තරුණයා අතට දී මෙසේ කීවේය.
බැරි වෙලාවත් මං පෝලිමේ මැරිල වැටුණොත් මගේ අයි.ඩී. එක පොලිසියට දෙන්න. එතකොට ඒගොල්ලො අවශ්‍ය කටයුතු කරයි.

ඒක මං කරන්නං. ඒත් මේ සල්ලි මොකටද අන්කල්?

මටත් ගෑස් එකක් අරගෙන, ඒක අපෙ ගෙදරට ගිහින් දෙන්න.

අවමඟුල් සිදුවූ නිවෙස්වල් ඥාතීන්, මළබත පිසීම සඳහා, ගෑස් ලබාගැනීමට, මියගිය පුද්ගලයාගේ මරණ සහතිකයද රුගෙන ගෑස් අලෙවි මධ්‍යස්ථානවලට පැමිණි ආකාරයද සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණි.

මිනිසාට වඩා, ගෑස් හා ඉන්ධනවල අගය ඉහළ ගොස් ඇති කාලයක මෙබඳු සිදුවිම් පුදුමයක්ද නොවේ.

බොරු කියන මිනිසුන්ට ගැහැනු දරුවන් ලැබෙන බව දෙසූ භික්ෂුවකට ගිහියන්ගෙන්ද හොඳ හැටි බණ අසන්නට වූ අයුරු මෑතකදී දක්නට ලැබුණි. බණ කියන ගිහින්ද සිටින බව රෑපවාහිනී වැඩසටහන් තුළින් දක්නට ලැබේ. එබඳු ගිහි බණකදි පැය ගණන් දින ගණන් පෝලිම්වල සිටීම නිසා මිනිසුන්ට ඉවසීම ප්‍රගුණ කළ හැකි යැයි දෙසුවහොත් එයද ඉවසා සිටීමට අපට සිදුවනු ඇත.

ඉවසීම ප්‍රගුණ කිරීම මෙසේ වෙතත්, මිනිසුන් දැන් සිටින්නේ පිපිරීමට ආසන්න ගිනි කඳු මෙනි. මෑතකදී කොළඹ කුඩා වත්තක ලොකු වලියක් ඇවිළීමට ගියේ තරබාරු කාන්තාවක වූ මේබල් නෝනා ගෑස් සිලින්ඩරයක් ලබාගෙන ජයග්‍රාහී ලෙස නිවස දෙසට එනු දුටු වත්තේ කොල්ලෙක් &ආං ගෑස් නැවක් එනවා* යැයි කෑ ගැසීමෙනි.

සිරිලංකාවේ මිනිසුන්ට ඉවසීම අලුතින් පුහුණුවීමට දෙයක් නොවේ. නිදහස ලැබූ දා සිටම ඔවුන් කළේ එයමය. එසේ හෙයින්, අසාර්ථක ජනාධිපතිවරයකු සාර්ථක ජනාධිපතිවරයකු වනතුරුද ඔවුන් ඉවසා සිටිනු ඇත. (එහෙත්, එය අදාළ වන්නේ එතෙක් කල් ජීවත්වීමට වාසනාව ලබන මිනිසුන්ට පමණි.) මිනිසුන්ගෙන් තොර රටකට ජනපතිවරයෙක් කුමට?

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00