2022 මැයි 29 වන ඉරිදා

ජීවිතේ පෝලිමේ

 2022 මැයි 29 වන ඉරිදා, ප.ව. 07:16 132

සිරි ලංකාවේ ජනතාවට පෝලිම් යනු අමුතු දෙයක් නොවේ. පෝලිමේ යාමට සිදුවූ හේතු කාරණා, වරින්වර වෙනස් වූවා පමණි.

පෝලිම් අතුරින් මා වඩාත් ප්‍රිය කළේ චිත්‍රපට පෝලිමටය. ගැලරියට මෙන්ම සෙකන්ඩ් ක්ලාස් එකටද පෝලිම් තිබුණි. ඇතැම් සිනමා ශාලාවල, පෝලිම් යකඩ බට හා කම්බි දැල් යොදා කොටුකර තිබූ බැවින්, ඒවා ඈතට පෙනුණේ සිනමා ලෝලීන් දැමූ කූඩු මෙනි.

අද එබඳු දිග චිත්‍රපට පෝලිම් දක්නට නැත. නිෂ්පාදනය වන චිත්‍රපට නම්, ප්‍රදර්ශන ශාලා ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින බවක් දැනගන්නට ඇත

වර්තමානයේ, දිගම පෝලිම් සැදෙන්නේ ඉන්ධන, ගෑස් හා ලාම්පු තෙල් සඳහාය. පෝලිම් යනු කාලය කා දැමීමකි. කායික හා මානසික වෙහෙසකි. සමහරු පෝලිම්වල මැරී වැටුණහ.

දවසින් වැඩි කොටසක් පෝලිමේ ජීවත්වන්නට සිදුව ඇති නිසා, ඉදිරියේදී පෝලිම උප සංස්කෘතියක් බවට පත්වීමටද ඉඩ ඇත. පෝලිමේ සිටින විට කියන කරන කතා, රූපවාහිනි නාලිකා තුළින්ද අසන්නට ලැබේ. ඒවා බොහෝමයක් වේදනාකාරීය. කෝපාන්විතය. දුක්මුසුය. දේශපාලනිකය.

දැන් මුළු රටම අංජබජල් වෙලා. එක් අයෙක් සරදම් සිනාවකින් යුතුව කියයි.

අපේ මුළු පවුලම දැන් එක එක පෝලිම්වල. ගෘහණියක් පවසයි.

සමහරු දේශපාලනඥයන්ට තිත්ත කතා කියති. ඇතැම් පෙදෙස්වල, ගෑස් පෝලිම් පාර හරහාද ඇදෙන්නේ තමන්ගේ දුක අනුන්ටද දනවන්නටය. පෝලිමෙන් ඇසෙන දෙස් දොවොල්, සාප කිරීම්, මැසිවිලි අතරම සිනා ගෙනෙන කතාද වෙයි.

තෙල්, ගෑස් පෝලිම් ආශ්‍රිතව අලුත් රුකියා අවස්ථාද බිහි වී ඇත. තේ, බුලත්විට, අයිස්ක්‍රීම් වැනි සුළු වෙළෙඳාම් හැරුණු විට අනුන් වෙනුවට පෝලිමේ සිටීමද ඒ අතර වෙයි. අය කිරීම පැය ගණනටය. තෙල් හෝ ගෑස් ලබාදීමේ ෆුල් ජොබ් එකකට අයකිරීම රුපියල් 2000-3000 අතරය. පෝලිම්වල පංති භේදයද වෙයි. නිදසුනක් වශයෙන් ලාම්පු තෙල් පෝලිම නැති බැරි උදවියගේය. ඉන්ධන පෝලිම සියලු පංතීන්ට පොදු වුවත්, එහිද ත්‍රීවීලර්, මෝටර් බයිසිකල්, මෝටර් රථ යනුවෙන් කොටස් කීපයකි.

එබඳු සර්ව පංතික තෙල් පෝලිමකට එක්වූ චරිත කීපයක් ගැන රසවත් සටහනක් තෙස්පියානුවන්ගේ පෝස්ටුවක දක්නට ලැබුණි. 

උනන්දුවා - ඉන්ධන හලේ තෙල් මට්ටම ගැන අවධානයෙන් සිටී. අන් අයද දැනුවත් කරයි

රොමා - වලි සීන් එකේ සිටී. පෝලිම පනින උන්ගෙන් ගේම ඉල්ලති. මල්ලී, හොඳට බලන් හිටපන්. මැද්දෙන් පනී. යනුවෙන් අනුන්ට කියයි.

නිදිකුම්බා - කට කපලා නිදිය. වෙනත් වාහනවල සිටිනවුන් වරින්වර අවදි කළ යුතුය.

බුකියා - තෙල් පෝලිම ගැන නිතරම බුකිය අප්ඩේට් කරයි.

ෆිල්ම් පිස්සා - වාහනයේ සීට් එක කඩා දෙපා පිටතට දමාගෙන ජංගම දුරකථනයෙන් ෆිල්ම් බලයි.

උපාසක - පැය විසිහතරේම පිරිත් අසමින් පෝලිමේ සිටී.

බෙබා - ඩිකියේ බෝතලේ තබාගෙන වරින් වර බොයි. වටේ වාහනවල අයටද ෂොට් එකක් දෙයි.

ට්‍රුෆික් පොලිස් - පෝලිම ඉස්සරහට යවයි. වාහනවල දිග පළල පිළිබඳ මනා අවබෝධයකින් යුතු අයෙකි.

ආර්ථික විශේෂඥයා - තෙල් ප්‍රශ්නයට විවිධ විසඳුම් යෝජනා කරයි.

කඩිප්පුවා - පෝලිමේ කෙළවර සිට ඉන්ධන හල දක්වාත්, එතැන් සිට ආපසුත් නිතර ගමන් කරමින්, කට්ටියට අලුත්ම තත්ත්වය දන්වයි.

චමින්ද අන්කල් - සැමටම පුතා යැයි කතා කරයි. නොදන්නා දෙයක් නැත. පරණ කතා කීමට ප්‍රිය කරයි. කාලය ගත කිරීමට උදව් වන්නෙකි.

ප්ලග් එක - කලින් දැනගෙන සිටීම අදාළ නැත. කෙලින්ම මචං කියාගෙන කතාවට සෙට් වෙයි. සෑහෙන කලක් දැන සිටින්නා සේ කතා කරයි.

අහිකුණ්ටිකයා - මුළු පවුලම වාහනේය. බල්ලෝ බළලුන් පවා එහි පටවාගෙන සිටී.

කාඩ් කුට්ටමා - කාඩ් පැක් එක සාක්කුවේය. මල්ලි කාඩ් අතක් ගහමුදැයි හැමවිටම වාත වෙයි.

බවුසර් පිස්සා - එක් එක් බවුසර්වල ධාරිතාව ගැන මනා අවබෝධයකින් යුතුය. පාරේ ගමන් කරන බවුසරයක් දෙස බලා සුවඳින්, පෙට්රල්ද, ඩීසල්ද යන වග කියයි.

පොලිටික්කා - පවතින දේශපාලන අර්බුදය ගැන කතා කරයි. එක් එක් පක්ෂ මගින් සිරි ලංකාවේ ප්‍රශ්නවලට යෝජනා කර ඇති විසඳුම් ගැන පෝලිම දැනුවත් කරයි.

(මුල් පෝස්ටුව, සුළු වෙනස්කම් සහිතව සැකසුවෙමි. කෘතඥතාව - මල්ශාන් දිසානායකට)

පෝලිමේ ජීවිතයද රසවත් වන්නේ මෙබඳු කියුම් කෙරුම් නිසාය. අනික් අතට, දැන් ඉතින් මිනිසුන්ට කීමට ඉතිරිව ඇත්තේ මේවා නොදැක පණ පලයං පෙරේදා යන්න පමණය.

  කපිල කුමාර කාලිංග