2022 මැයි 08 වන ඉරිදා

පංචතන්ත්‍රයෙන් පාඩමක්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 161

දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත යනු ප්‍රකට කියමනකි. පසුගිය සතියේ ද අන්තර් පාලනය ගැන අදහස් දක්වමින් මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ඒ බව පැවසීය. ඒ අසන විට අප තුළ නම් ඇතිවන්නේ අපුලකි.

බැලූ බැල්මට යථාර්ථයක් ලෙස පෙනෙතත් ඉහත කියමන තුළ ඇත්තේ දේශපාලන සටකපට බවකි. තමන්ගේ ගැලවීම සහ වාසිය සඳහා ඩීල් දමන, ගේම් ගසන, පක්ෂ මාරු කරන, ප්‍රතිපත්තියකින් තොර දේශපාලනඥයන්ට නම් එම කියමන මනාව ගැලපේ. එහෙත් ඒ කියුම තුළ සැඟව ඇති සැබෑ අරුත වන්නේ දේශපාලනනඥයන් ඔවුනොවුන් හා කලින් කලට සතුරු, මිතුරු වුවද තමන් බලයට පත් කරවන ජනතාව සමඟ සදා සතුරු බවය.

උඩින් මිතුරු - යටින් සතුරු ක්‍රියාදාමයක් ගෙන යන මෙරට දේශපාලනඥයන් සැමදා කළේ ජනතාව ගොනාට ඇන්දවීමය. එහෙත් ජනතාව යනු, ඔවුන් සිතන තරම් ගොනුන් නොවන බව දැන් දැන් සිදුවන ජනතා නැගිටීම්වලින් කාට කාටත් පැහැදිලි වෙමින් ඇත.

දුප්පත් වුණත්, අභිමානයකින් පැවති සිරි ලංකාව හිඟමන් යදින රටක් ලෙස බාල්දු වූයේ දේශපාලනඥයන්ගේ නොහැකියාව නිසා පමණක් නොව, සොරාකෑම් නිසා බවද දැන් ලෝකයටම පැහැදිලිය. ලැජ්ජාව ඒ නිසාය.

ජනතාවගේ දුක නොදැනෙන සේ, මොළය හිරිවැටුණු, පපුව ගල් ගැසුණු, සිත් පිත් නැති දේශපාලකයන්ට නීතියෙන් දඬුවම් ලැබුණත්, නැතත් සොබාදහමින් නම් ගැලවීමක් නැති බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. කළ කළ දේ පල පල දේ යැයි පැරුණ්නන් කියා ඇත්තේ කට කහනවාට නොවේ.

රටක් විනාශය කරා තල්ලු වී යද්දී ඒ බව නොදැන සිටි මහ බැංකුකාරයන් මෙන්ම, රටේ සිදුවන උද්ඝෝෂණ නෑසූ කන්ව සිටින ඇතැම් පුද්ගලයන් ද ජීවත් වන්නේ සිරි ලංකාවේදැයි අපට පුදුම සිතේ

කලකට ඉහත පික් පොකට්කාරයන් හැඳින්වීමට ජනවහරේ යෙදුණු නමක් වූයේ වාසිකාරයා ය. පවතින තත්ත්වය තුළ අඳ ගොළු බිහිරන් සේ සිටීමට යමකුට හැකි නම් ඔහු ද වාසිකාරයෙකි. වාසියේ දෙකොටසකි. ළඟ වාසි සහ දුර වාසි යනුවෙනි. ඒ දෙවිදිහෙන්ම වාසි ලැබුවෝ නිහඬවම සිටිති.

මුලදි සුළු සුළු කොන්ත්‍රාත් වැනි පොකට් ගැසීම් කරමින්, ජනතාවගේ මුදලින් පොකට් මනී සොයාගැනීමට පුරුදුවූවෝ පසුව පරම්පරා හතකට ඇතිවන සේ ලොකු ලොකු කොල්ලකෑම්, කොමිස් ගැසීම් කිරීම පටන් ගනිති. මුනිවත රකින්නේ එබඳු අය බව දැන් හඳුනාගත හැකිය.

ලෝකයේ කම්කරුවන්ගේ දිනය එන මැයි පළවැනිදා කිසිදු කම්කරුවකු නොසිටි වේදිකාව සිට පාළු ගෙයි වළං බිඳි පැරණි කාලයේ දේශපාලකයකු ගිරිය පුප්පාගෙන මෙසේ කීවේය.
අපි ආණ්ඩු හදන්නෙ දාලා යන්ඩ නෙවෙයි.

පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ගැන යම්තමින් හෝ දන්නා අයට ඒ අඬහැරය අසා දෙකොණින්ම සිනා ගියාට සැක නැත. එය එම දේශපාලකයාගේ හංස ගීතය බව අනාගතයේදී දැකගත හැකිවනු ඇත.

පාර්ලිමේන්තුව යනු කාගේවත් බූදලයක් නොවේ. එය මහජනයාගේ නියෝජිතයන්ගෙන් සමන්විත ආයතනයකි. වඩා ප්‍රබල වන්නේ පාර්ලිමේන්තුවේ බලය නොව ජනතා පරමාධිපත්‍යය බව අර දේශපාලනඥයාට අමතකව ගියේය. නැත්නම් අමතක කළේය. මරු කියවනවා.. යන ජනවහර මෙබඳු තැන්වලටද මනාව ගැලපේ.

පැරණි පත පොතට අනුව පෘථිවිය අට දිගින් ඔසවාගෙන සිටිතැයි කියන්නේ අෂ්ට දිග ගජේන්ද්‍රයෝ නොහොත් අට දිගැත්තුය. ලෝකයට අෂ්ටග්‍රහ අපලය උදා වූ කල මේ අට දිගැත්තු ගොඩබිම දමා පසෙකට හැරෙති.

සිරි ලංකාවේ සිටින සමහර දේශපාලන චරිතද දැන් හැසිරෙන්නේ ලෝක විනාශය දුටු කලෙක මෙනි. සමහරුන්ගේ කතාබහ පැය විසිහතරෙන් වෙනස් වන්නේ ආල්පුඩිච්චන් වූවාක් මෙනි. ජනවහරේදී ආල්පුඩිච්චන් නොහොත් ආල්පිච්චි වෙනවා යැයි කියන්නේ කලක් යමකු සමඟ අමනාපයෙන් හිඳ නැවත චාටුවෙන් ඔහු හා මිත්‍රව, යටහත් පහත් ලෙස කටයුතු කිරීමටයි. කෙසේ වෙතත් මෙකී ආල්පුඩිච්චන් පුද්ගලයන් ද දැන් දැන් කෑකෝ ගසන්නේ කහඹිලියා ගෑවුණු නරි නයිදේලා ලෙසිනි. (නිල් බාල්දියේ වැටුණු නරිද මතකයට නැගේ.)

පාර්ලිමේන්තුව යනු බලකොටුවක් නොවන බව ඒ තුළ වෑගිරි ගහන්නෝ දැනගත යුතුය. ඕනෑම පවුරක් ගොඩනගන්නේ ගලින් ගල බැඳීමෙනි. එය බිඳ දැමීමට නම් බොහෝ ක්‍රම ඇත.

පංචතන්ත්‍රයේ සඳහන් කියමනක් මෙසේ උපුටා දක්වන්නේ ඉහත කී වර්ගයේ අයටද එය මනාව ගැලපෙන බැවිනි.

බොහෝ ඇසූ පිරෑ තැන් ඇති වුවද කපට ප්‍රයෝගයෙන් ජීවත් වන හැම පුද්ගලයෙක්ම දීනයෙකි. සාහසිකයෙකි. ඔවුහු සදොස් ක්‍රියාව නිදොස් යැයි ද, නිදොස් ක්‍රියාව සදොස් යැයි ද දක්වා මෙරමා මුලා කරන්නේය. සිංහයා, ඔටුවා, කවුඩුවා හා අනෙක් සතුන් පිළිබඳ සුප්‍රකට කතා වස්තූන්ගෙන් එපවත් ඔප්පු වන්නේය.

ඒ කතා වස්තූන් දැන සිටියත් නැතත්, එකී නොකී සියලු සත්වයන් දැන් අප අතර සිටිනා බැවින් කළ යුත්තේ මහා ජනතාව සිහිකල්පනාවෙන් ජීවත් වීමය. සියලු සත්වයෝ ඉන්ධන ලබත්වා! ගෑස් ලබත්වා! බෙහෙත් ලබත්වා! ආහාරපාන ලබත්වා! අවසානයේ යහපත් පාලකයන් ලබත්වා!

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00