2022 මැයි 01 වන ඉරිදා

සිස්ටම් චේන්ජ්

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 159

එක්තරා වසරකදී සිරි ලංකාවෙහි සිස්ටම් චේන්ජ් නමින් මහා අරගලයක් ක්‍රියාත්මක වුණි. එයට බොහෝ සෙයින් සහභාගී වූයේ තරුණ පරම්පරාවය. නිර්පාක්ෂික වැඩිහිටියෝද ඊට සහාය දුන්හ.

අවසානයේදී සිස්ටමය චේන්ජ් විය. සිරි ලංකා සිතියමට ගෝඨාගෝගම හා ගෝඨා ඩෝන්ට් ගෝ ගම යනුවෙන් ස්ථාන දෙකක්ද අලුතින් එක්වුණි.

අරගල භූමියේ තිබූ පරණ පාර්ලිමේන්තුව කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතට පැවරුණු අතර, එහි සිටි සේවක පිරිස තුනී ලෑලි සංස්ථාවට අනුයුක්ත කරන ලදී. පාර්ලිමේන්තු කෞතුකාගාරයේදී සිස්ටම් චේන්ජ් අරගල ඉතිහාසයට අදාළ බොහෝ දේ දැකගත හැකිය. ඒ අතර සටන් පාඨ ලියූ පුවරු, උල්කටු සහිත යකඩ බැරිකේඩ්, ප්‍රොජෙක්ට්, මෙගාෆෝන් හා වතුර විදින පොලිස් රථ ආදියද වෙයි. දෙස්, විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති පරණ පාර්ලිමේන්තු කෞතුකාගාරය ඉදිරිපස, රාත්‍රී කාලයේදී &ප්‍රොජෙක්ෂන් මැෂින්* (Projection Mapping) නමැති විදුලි ආලෝක සංදර්ශන පැවැත්වේ.

සිස්ටම් චේන්ජ් වූ පසු, දැන් ඒ දිවයිනේ පාර්ලිමේන්තුවක් නොමැති අතර, ඒ වෙනුවට පවතින්නේ අන්තර්වාර කමිටු පාලනයකි. මුලදී තාවකාලිකව පත්කර ගත්තක් නමුදු, එය දිගටම පවත්වාගෙන යා යුතු බවට, නිර්පාක්ෂික තරුණයෝද, පාක්ෂික වැඩිහිටියෝද එකඟතාවකට පැමිණියහ.

මෙම අන්තර් පාලන කමිටුවෙහි (සභාවෙහි) වැඩි නියෝජනය තරුණයන් බව කිවයුතුද නොවේ. අරගල භූමියෙන් තෝරාගත් තරුණ තරුණියන්ගෙන් මෙන්ම, අන්තර් සරසවි බල මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්ද එය සමන්විතය. කඩේ නොයන කලාකරුවන් මෙන්ම නොදැන කළ වැරදිවලට සමාව ගත් කලා ශිල්පීන් කීප දෙනෙක්ද ඊට ඇතුළත්ය.

අන්තර්පාලන රජයට, අගමැති, ජනපති තනතුරු නැත. ඒ වෙනුවට සිටින්නේ වරින්වර මාරු කෙරෙන සභාපති හා ලේකම්වරයන් දෙදෙනෙකි.

සියලුම සාමාජිකයනට, ජාතික ඇඳුම ඇඳීම, විවිධ ලාංඡන හා සාටක පැළඳීම නීතියෙන් තහනම්ය. ඔවුන්ද රටේ අනෙක් සාමාන්‍ය මිනිසුන් මෙන්ම හැඳ පැළඳිය යුතුය. ගමනාගමනයටද පොදු ප්‍රවාහන යොදාගත යුතු අතර, පඩි නඩි, විශ්‍රාම වැටුප්, නොමිලේ ආහාර පාන යනාදී කිසිත් නොලැබේ. හැන්ඩ්සාඩ් වාර්තාව පවා, මිලදී ගත යුතුය.

සභාවාරයන්හිදී අනෙක් කථිකයන්ට බාධා වන අයුරින් හැසිරීම, අනවශ්‍ය ලෙස ඝෝෂා කිරීම, අසභ්‍ය වචන භාවිතය, අනවශ්‍ය දේ කතා කරමින් කාලය කා දැමීම, ආසනයෙහි නිදිකිරා වැටීම වැනි කටයුතු සම්පූර්ණයෙන්ම තහනම්ය. එබඳු සභිකයන්, සභාවෙන් ඉවත් කරන අතර, සිරදඬුවම්ද නියම කෙරේ.

සභාපති, ලේකම් ඇතුළු සියලු සාමාජිකයන් පවතින නීතියට යටත්ය. නීතියට අයුතු බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඔවුනට, විදේශ රටවල ව්‍යාපාර ඇරුඹීම පමණක් නොව, අනවශ්‍ය ලෙස රටේ මුදල් වැය කරමින්, විනෝද - විදේශ සංචාරයන්හි යෙදීමද ඉඳුරාම තහනම්ය. එබඳු කටයුතුවල යෙදුණු කීප දෙනෙක් දැන් බන්ධනාගාර ගතව, ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් විඳිති.

%සිස්ටම් චේන්ජ්^ අරගලයට මුල්වූයේ රටේ ඩොලර් සංචිත සිඳී යාමෙන් ඇතිවූ ආර්ථික අර්බුදයය. අනවශ්‍ය ලෙස රුපියල පා කිරීමෙන්ද ජීවන වියදම ඉහළ ගියේය. ඒ නිසා නව ක්‍රමය යටතේ රුපියල අවලංගු කෙරුණු අතර ඩොලරය භාවිතයට ගැනුණි. දැන්, ශ්‍රී ලංකා ඩොලර් නොහොත් එස්.එල්. ඩොලරයට ලොවපුරා හොඳ පිළිගැනීමක් තිබේ. මේ නිසා යළි කිසි කලෙක සිරි ලංකාව තුළ ඩොලර් හිඟයක් ඇති නොවේ.

පාලන කමිටු සාමාජිකයන්ට මිථ්‍යා විශ්වාස ඇදහීමද ව්‍යවස්ථාවෙන්ම තහනම්ය. ඒ අනුව, තිරුපති වන්දනා ගමන් වැනි දෑ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වෙයි. මැතිවරණ කොමසාරිස්ගෙන් සිදුවිය යුතු රාජකාරි, ජ්‍යොතිශාස්ත්‍රඥයන් ලවා ඉටුකර ගත් කාලය දැන් අවසන්ය.

සිස්ටම් චේන්ජ් යටතේ සිදුවූ වැදගත්ම කාර්යය, ඇතැම් දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන්, අයථා ලෙස උපයාගත් ධනය ආපසු මහා භාණ්ඩාගාරය වෙත ලබා ගැනීමය. ලෝකයේ උද්ධමන ලැයිස්තුවේ පළමුවෙනි ස්ථානය දිනූ රට බවට පත්ව සිටි සිරි ලංකාවට, චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, උගන්ඩාව වැනි රටවලට ණය දීමට හැකි පොහොසත් රටක් බවට හැකිවූයේ ඒ ධනස්කන්ධනයෙනි.

පෙට්‍රල්, ඩීසල්, ගෑස්, සිමෙන්ති, සබන් හා ආහාර ද්‍රව්‍යයන්හි කිසිදු අඩුවක් නැති හෙයින් පෝලිමක් දැකපු කාලයක් මතක නැත. එව, කව, බොව* හඬ සැමතින්ම සවන් වැකේ. ඉන්දියාවටද විදුලිය සැපයේ. අවසානයේදී, තරුණ පරම්පරාවට පින්සිදුවන්නට සිරි ලංකාවට සෞභාග්‍යය උදාවී තිබේ. දූෂණ, වංචා හා ජාති, කුල, ආගම් භේදයන්ගෙන් තොර, ආදර්ශවත් රාජ්‍යයක් බිහි කිරීම නිමිත්තෙන්, සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගයද සිරි ලංකාවට පිරිනැමුණි.

(ප.ලි. : මේ දිනවල මා ඇතුළු සකල සිරි ලංකාවාසීන් සිටින්නේ අරගල හා ආර්ථික අර්බුද ආතතියෙනි. මෙවර &හීසරය* ලියුවේ ඉන් මොහොතක මිදී, උතෝපියානු මානසික සුවයක් ලබනු පිණිසය.)

 කපිල කුමාර කාලිංග

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00