2022 අප්‍රේල් 24 වන ඉරිදා

බූරුවෝ සහ මිනිස්සු

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 303

බූරු කුට්ටමට කොළ පනස් දෙකකි. සූදුවක් නොවන කල ක්‍රීඩාවක් වන බූරුවා ගැසීමේදී ජෝකර් හැර අනෙක් කොළ කැමති කැමැති ලෙස අනාගත හැකිය.

කැබිනට් මණ්ඩලයකට නිශ්චිත ගණනක් නැත. ඕනෑතරම් පත්කර ගතහැකිය. ජෝකර්ලාද ඇතුළත් කරගත හැකි අතර, ඊට වයස් භේදයක්ද බල නොපායි. කලින් කලට කැමති කැමති ලෙස ඇමැති කුට්ටම අනා ගැනීමටද තහනමක් නැත. හිසේ රදයට, කොට්ටය මාරු කරන්නාක් මෙන්, වරින් වර ඔලු ගෙඩි මාරු කිරීමද සිදුවෙයි. ඒ කෙසේ වෙතත්, රෑකඩ නැටවෙන්නේ, නූල් අදින්නාට ඕනෑ විදිහට බව කවුරුත් දනිති.

කාඩ් කුට්ටම, බූරු කුට්ටම බවට පත් වූයේ, මෙරටට ගෙනැවිත් සිටි, දකුණු අප්‍රිකානු බෝයර් සිරකරුවන් විසින් එය භාවිත කිරීම නිසා යැයිද කතාවක් ඇත. වෙනත් වෙනත් මණ්ඩලවලට කෙසේ වෙතත් අහිංසක කාඩ් කුට්ටමට බූරු නමක් පැටලවීම අසාධාරණ යැයි හැඟේ.

සූදුවක් ලෙසින්, මුදල් ඔට්ටුවට කරන විට බූරු කෙළිය නීතියට පටහැනිය. බූරු පොළවලට පොලීසියෙන් පනින්නේ ඒ නිසාය. එහෙත්, සල්ලි ඔට්ටුවලටම දුවන රේස් පිටිවලට නම්, එවැනි වැටලීම් නැත. අශ්වයා හා බූරුවා අතරද පන්ති තලයක් තිබෙන බව පෙනී යන්නේ එහෙයිනි.

ඇතැම් විට මෙකී පන්ති විෂමතාවට පටහැනිව බූරුවන් හා වෙළෙඹුන් අතර ලිංගික සබඳතාවන්ද ඇතිවේ. එවිට බූරුවකුට දාව වෙළඹකට උපදින දෙමුහුන් සතා කොටළුවා නමින් හැඳින්වේ.

කොටළුවන් ගැන මෙන්ම බූරුවන් ගැනද ජනකතා, ගැමි කතා, බණ කතා හා සිනා කතා බොහෝය. ඒ අතුරින් ඊසොප්ගේ උපමා කතා වඩාත් ප්‍රකටය.

ඔහුගේ එක් කතාවක එක බූරුවෙක් කැලයේ තිබූ සිංහ හමක් පොරවාගෙන සිංහ වෙස් ගනී. අනෙක් සත්තුද ඌ සිංහයෙකු යැයි රුවටී, ගරු බුහුමන් කරන්නට වෙති. එක් දිනක් වේගවත් සුළි කුණාටුවක් හමා යයි. ඉන් බූරුවාගේ සිංහ හම ගැලවී යන අතර, අනෙක් සත්තු සත්‍ය වටහාගෙන ඌට පහර දී කැලයෙන් එළවා දමති.

බූරුවා පිළිබඳ රසවත් කතාවකි මේ. 

ලෝකය ආරම්භයේදී බූරුවකුද නිර්මාණය කළ දෙවියන් වහන්සේ මෙසේ පැවසූහ.

මම නිර්මාණය කරන හැම දෙයක්ම මිනිසාගේ ප්‍රයෝජනය පිණිසයි. ඔබට පැවරෙන්නේ බර ඉසිලීමේ කටයුතු කරදීමයි. ඕනෑම ගිරි දුර්ගයක, දුෂ්කර මාවතක ගමන් කිරීමේ හැකියාව මා ඔබට ලබාදෙනවා. ඔබේ ආයුෂ අවුරුදු පනහකට සීමා වෙනවා.
ඒ ඇසූ බූරුවා මෙසේ ඇසීය.

මට එච්චර ආයුෂ ඕනෙ නෑ. අවුරුදු විස්සක් හොඳටම ඇති.

දෙවියන් වහන්සේ එය ඉටුකරමින් මෙසේද පැවසූහ.

එහෙමනං ඔබව බල්ලෙක් කරන්නම්. එතකොට ආයුෂ අවුරුදු විසි පහයි. මිනිසාව ආරක්ෂා කරමින්, ජීවත් වෙන්නයි තියෙන්නේ.

විසි පහක් වැඩියි බල්ලෙක්ට. මට අවුරුදු දහයක් දෙන්න.

ඒ ඇසූ දෙවියන් වහන්සේ, වඳුරෙක් නිර්මාණය කළහ.

එහෙමනං ඔබට පුළුවන් වඳුරෙක් වෙන්න. අත්තෙන් අත්තට පැන පැන කැලෑවේ ජීවත් වෙන්නයි තියෙන්නේ. ආයුෂ කාලය අවුරුදු විස්සයි.

වඳුරෙකුට මොකටද එච්චර කාලයක්. මට දහයක් දෙන්න.

එවර, දෙවියන් වහන්සේ මිනිසකු නිර්මාණය කළහ.

එහෙමනං ඔබ මිනිහෙක්. පෘථිවියේ සිටින බුද්ධිමත්ම ජීවියා. ඔබ අනෙක් සතුන් සියල්ලටම වඩා උසස්. ආයුෂ කාලය විස්සයි.

මේ වනවිට මිනිසකු බවට පත්ව සිටි බූරුවා මෙසේ කීය.

අනේ දෙවියන් වහන්ස, මිනිහෙකුට අවුරුදු විස්සක් මදි නේද? බූරුවාට එපා කියපු අවුරුදු තිහ මට දෙන්න. බල්ලන්ට එපා කියපු අවුරුදු 15ත් මටම දෙන්න. වඳුරට එපා කියපු අවුරුදු 10ත් මට දෙන්න.

එයටද අනුමැතිය ලැබුණි.

එතැන් සිට මිනිසා වසර 20ක කාලයක් මිනිසෙක් වශයෙන් ජීවත් වෙයි. ඉන්පසු විවාහ වන ඔහු තව වසර 30ක්, බර අදිමින් බූරුවෙක් ලෙස කල්ගෙවයි. ඉන්පසු ගේ දොර හා පවුල ආරක්ෂා කරමින්ද, ලැබෙන දෙයක් කමින් බොමින්ද, බල්ලෙක් ලෙස ජීවත් වෙයි. ඉන්පසුව, ඉතිරි වසර දහය වඳුරකු මෙන් තම දූ දරුවන්ගේ නිවසින් නිවෙසට යමින්, ඔවුන්ගේ දූ දරුවන් සිනා ගස්වන සෙල්ලම් පාමින් ජීවත්ව මිය යයි.

සමහරවිට, ඒ වයසේදී තමා මුල සිටම බූරුවකු වී ජීවත් වුණා නම් හොඳ යැයි සිතෙන්නටත් පිළිවන. ඇතැම් මිනිසුන් බූරුවන් සේ ජීවත් වන්නේ එසේ කල්පනා කරන නිසාද විය හැකිය.

දෙවියන් වහන්සේ මිනිස් ලෝකය පරීක්ෂා කිරීමට රහසින් පැමිණ සිටි අවස්ථාවක අහඹු ලෙස බූරුවකු මුණගැසුණි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බූරුවා, මිනිසාගෙන් තමන්ට සිදුවන නින්දා අපහාස හා ගැහැට ගැන පැමිණිලි කළේය.

ඔව්. මටත් දැන් හිතෙනවා, මිනිසා නිර්මාණය නොකර, බූරුවන්ම විතරක් නිර්මාණය කළා නම් හොඳයි කියලා. මිනිස්සු කරන තරමක් කරන්නෙ බූරුවොත් නොකරන බූරු වැඩ. හැබැයි ඒවට පැටළෙන්නෙ, කොහෙවත් ඉන්න බූරුවාගේ නම.

දෙවියන් වහන්සේ, කරුණා සිතින් යුතුව, බූරුවාගේ හිස පිරිමදිමින් සිරි ලංකාවේ දියවන්නා පෙදෙස දෙස හොරුහින් බැලූ සේක.

 කපිල කුමාර කාලිංග

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00