2022 අප්‍රේල් 10 වන ඉරිදා

සෙනසුරු මාරුවීමෙන් ජාතික මැතිවරණයක්

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 1076

මෙතෙක් පැවති කෝණ මාස සංක්‍රාන්ති සමය නිමා කරමින් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසීමත් සමඟින් 2022 සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. වසර උදාවත් සමඟ පැවති කාලසර්ප යෝගයන් වෙනස් කරමින් මෙතැන් සිට ග්‍රහ මාරු රුසකට මුහුණ දෙන්නට සිදුවේ. අප්‍රේල් මාසය පුරාවට සිදුවන මෙම ග්‍රහ මාරු අතර 7 වැනි දින කුජ ග්‍රහයා කුම්භ රාශියට පිවිසී, 8 වැනි දින බුධ මේෂයටත්, නැවතත් බුධ 25 වැනි දින වෘෂභයටත් පිවිසෙයි. මින් ප්‍රධානම ග්‍රහ මාරු වශයෙන් අප්‍රේල් 12 වැනි දින රාහු මේෂයටත්, කේතු තුලාවටත් පැමිණේ. 13 වැනි දින ගුරු මීනයටත්, 29 වැනි දින සෙනසුරු කුම්භයට පැමිණීමත් සමඟ ප්‍රධානතම ග්‍රහ මාරු 3ක් අප්‍රේල් මාසය තුළ සිදුවෙයි.

කලාතුරකින් සිදුවන මෙම ග්‍රහ මාරු ලග්නවලට මෙන්ම, ලෝකයට හා රටට දැඩි බලපෑම් එල්ල කරන්නට සමත් වෙයි. ලොව බොහෝ රටවල යුද ගිනි දැල් ඇතිවීම්, ගිනිගැනීම්, බෝම්බ පිපිරීම් සිදුවනු ඇත. වසංගත රෝග පැතිරීම්, ගුවන් අනතුරු පෙන්නුම් කෙරේ. අප රට ගැන සලකා බලන කල්හි සෙනසුරු ලග්නගත වීමත් සමඟ ජනතා ඉල්ලීම්වලට කන් දෙන්නට රජයට සිදුවේ. මහජන අරගල වැඩි කරයි. සහෝදර පාර්ශ්වයන් අතර අර්බුද හටගනී. ආගමික ප්‍රබෝධයක් ගොඩනැගෙන අතර බල අරගල, කුමන්ත්‍රණ උග්‍ර වෙයි. කාලගුණ විපර්යාස, ගංවතුර අනතුරු, ගොවිතැන් හානි ඇතිකෙරේ. ජාතික මැතිවරණයක් පැවැත්වෙන බවට සෙනසුරු මාරුවත් සමඟ පෙන්නුම් කරයි. කෙසේ වෙතත් එතරම් යහපත් කාල වකවානුවක් නොවනු ඇත. ලග්න වශයෙන්ද ගත් කල ඇතැම් ලග්නවලට මිශ්‍ර ඵල, අගුණ බව පෙන්වයි.

මේෂ

නව වසරේ ග්‍රහ ගෝචරයන් අනුව මේෂ ලග්න හිමි ඔබගේ ලග්න භාවයට රාහු හත්වැන්නට කේතු 11 වැන්නට සෙනසුරු 12 වැන්නට ගුරු පැමිණෙනු ඇත.

ගෘහ ජීවිතය,- විදෙස් ගතවීමේ බලාපොරොත්තු ඉටුවනු ඇත. දුර බැහැර ගමන් බිමන් යෙදේ. ජීවිතයේ අමුතු දේවල් සිදුවන කාලයකි. කෘෂිකර්මාන්තයේ යෙදෙන අයටත්, භූමිය සම්බන්ධව කටයුතු කරන අයටත් යහපත්ය. ඔබ අලුතින් පටන් ගන්නා වැඩවලින් ලාභ අත්කර ගත හැකි වෙයි. විවාහකයන් අතර මතගැටුම් ඇතිකරන්නට ඉඩ ඇත. මංගල යෝජනා ප්‍රමාද වන්නට හෝ ගැටලු සහගත තත්ත්වයන්ට පත්වීමට ඉඩ තිබේ.

ධනය:- ආදායම් ලැබීම් යහපත් වන බව පෙන්වයි. කෙසේ හෝ මුදල් උපයන්නට හැකි වේ. උත්සාහයෙන් ආරම්භ කරන ධනෝපායන මාර්ග සාර්ථක කරයි. වෘත්තීය අංශ යහපත් ලෙස පවත්වාගෙන යන්නට හැකි වේ.

අධ්‍යාපන:- ඉගෙන ගන්නා දරුවන්ට උනන්දුව උද්‍යෝගය ඇති කරයි. අධිෂ්ඨානයෙන් ජය සැලසේ.

සෞඛ්‍ය:- හිස ආශ්‍රිත රෝගයන්, නිදන්ගත අසනීප මතුවිය හැකිය.

පිළිවෙත්:- නවග්‍රහ පූජාවන් පවත්වා ආශිර්වාද ලබන්න.

ජය අංකය:- 05 ජය වර්ණය:- ලා රතු

වෘෂභ

වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රයේ කේතු 6 වැන්නේ, ශනි - කුජ - සිකුරු 10 වැන්නේ, ගුරු 11 වැන්නේ, රවි - රාහු 12 වැන්නේ ගෝචර කරමින් අලුත් අවුරුද්ද ආරම්භ වෙයි.

ගෘහ ජීවිතය:- අප්‍රේල් මාසය පුරා ඇතිකරන ග්‍රහ චලිතයන් සමඟ ජීවිතයේ නව ප්‍රබෝධයක් ගෙන දෙන්නට හේතු වෙයි. ඔබ සමාජයට වැඩ කරන කෙනකු කරයි. උගත් යහපත් මිත්‍රයන්ගෙන් උදව් ලබයි. මේ අතර රාහු 12 වැන්නේ ගමන් කරන බැවින් දුර බැහැර ගමන් බිමන්, පදිංචියේ වෙනස්වීම්, විදෙස් ගමන් බිමන් පෙන්වනු ඇත. සතුරු ස්ථානයද දුර්වල බැවින් සතුරු පීඩා මතු කරන්නටද හේතු වේ. අනවශ්‍ය සම්බන්ධතා ගොඩනැගෙන අතර එමගින් යුග දිවියේ ගැටලුද ඇති කරයි.

ධනය:- අයස්ථානය බලවත්ව ගුරු ගමන් කරන බැවින් අය මාර්ග සාර්ථක කරයි. වෘත්තිය හා රුකීරක්ෂා අංශයන්ද සුපුරුදු පරිදි පවත්වාගෙන යන්නට හැකිවෙයි.

අධ්‍යාපනය:- වසරේ මුල් කාලය තරමක් බාධක යෙදුණත් ජූනිවලින් පසු කාලය යහපත් වේ.

සෞඛ්‍ය:- රෝගස්ථානය දුර්වල බැවින් ශරීර අභ්‍යන්තර අසනීප, නහරගත රෝග මතු කරයි.

පිළිවෙත්:- විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබන්න.

ජය අංකය:- 02 සුබ වර්ණය:- ලා කොළ පාට

මිථුන

කේතු පස්වැන්නේ, ශනි - කුජ - සිකුරු 9 වැන්නේ, ගුරු 10 වැන්නේ, රවි - රාහු 11 වැන්නේ ගෝචර වන උදාවන අලුත් අවුරුද්දකි.

ගෘහ ජීවිතය:- උරුම හිමිකම් දේපල අත්වන කාලයක් වේ. තම හැකියාවන් අනුව ආදායම් මාර්ග සලසා ගන්නට හැකියාව පෙන්වයි. සමාජ කටයුතුවලදී කැපීපෙනෙන චරිතයක් බවට පත් වේ. මෙතෙක් පැවති දුෂ්කරතා මගහැරී යන බව පෙනේ. වසරේ මුල් කාලය හැම අතින්ම සාර්ථකත්වයට පත් කරයි. නව මිතුරු මිතුරියන් දැන හඳුනාගන්නට ලැබෙයි. දරු ඵල අපේක්ෂා කළ අයට ඒ සඳහා අවස්ථාව උදා වෙයි. මේ අතර කේතු ග්‍රහයා පස්වැන්නට පැමිණෙන බැවින් සිත් තැවුල්, චිත්ත පීඩාවන්ද ඇති කරන බැවින් හැමවිටම ක්‍රියාකාරකම් යහපත් ලෙස පවත්වාගෙන යන්නට අවශ්‍යයි.

ධනය:- අනපේක්ෂිත අයුරින් මිල මුදල් ලැබුණත් වැය පස ඉහළ යන බැවින් මුදල් පරිහරණයේදී බුද්ධිමත් වන්න. ගුරු රැකියා ස්ථානගත බැවින් නව රැකියා අවස්ථා උදා වෙයි.

අධ්‍යාපනය:- විද්‍යා ස්ථානයේ කේතු ගමන් කරන බැවින් ඉගෙන ගන්නා දරුවන්ට සුබ ඵලයි.

සෞඛ්‍ය:- උදර රෝග, ආහාර විෂවීම්, අජීර්ණ ආබාධ මතු කරයි.

පිළිවෙත්:- බෝධිපූජාවන් පවත්වා ඉටු දෙවියන්ට පින් දෙන්න.

ජය අංකය:- 09 සුබ දවස:- බ්‍රහස්පතින්දා

කටක

කේතු 4 වැන්නට, රාහු 10 වැන්නට, ගුරු 9 වැන්නට පැමිණෙමින් සෙනසුරු 8 වැන්නේ අෂ්ටම ඒරාෂ්ටකය උදා කරමින් අලුත් අවුරුද්ද ආරම්භ වේ.

ගෘහ ජීවිතය:- මිශ්‍ර ඵල ගෙන දෙනු ඇත. ආගමික කටයුතුවල යෙදීම, පූජ්‍ය පක්ෂයේ උපකාර සැලසේ. කර්මස්ථානගත රාහු නිසා යම් යම් පාඩු අලාභ මතු කරයි. ව්‍යාපාර අංශයන්ගේ ලාභ අලාභ දෙකම සිදුවේ. සෙනසුරුගේ ඒරාෂ්ටකයන් නිසා ගතට සිතට සුව පහසුව අඩු කරයි. පදිංචි නිවස හා භූමිය සම්බන්ධ ගැටලු මතු වේ. ගුප්ත දෝෂ, භූමි දෝෂ නිසා ඒවාට පිළියම් යොදන්නට සිදුවේ. කොපමණ පිරිසිදුවට තබාගන්නට හැදුවත් ගුප්ත බවක් ගනී. පවුලට සමීප නෑදෑයන්ගේ අමනාපයන් සිදුවිය හැකිය. හත්වැන්නාධිපති 8 වැන්නේ ගමන් කිරීමෙන් විවාහ බාධක යෙදේ.

ධනය:- රැකීරක්ෂා ඵල බාධක යෙදුණත් කෙසේ හෝ ඉවසීමෙන් කටයුතු කර සුරක්ෂිත විය හැකිය. මුදල් ලැබෙනවා සේම වැය පසද නොසිතූ ලෙස ඉහළ යයි.

අධ්‍යාපන:- ඉගෙන ගන්නා දූ දරුවන්ට තරමක් බාධක යෙදෙන අවස්ථා ඇත. ඒ සඳහා ආගමික කටයුතු කර දෙන්නට අවශ්‍යයි.

සෞඛ්‍ය:- හෘදය ආශ්‍රිත රෝග, සෙම් නරක්වීමේ රෝග මතුවේ.

පිළිවෙත්:- අභිසම්භිධාන යන්ත්‍රය සාදවා ගෙල පළඳන්න.

ජය අංකය:- 09 සුබ දවස:- සඳුදා, බ්‍රහස්පතින්දා

සිංහ

සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ 3 වැන්නට, කේතු 9 වැන්නට, රාහු 8 වැන්නට, ගුරු 7 වැන්නට සෙනසුරු ගෝචරයට එළඹෙන නව වසරකි.

ගෘහ ජීවිතය:- ගමන් බිමන් අධික කරයි. ආගමික ගමන් බිමන් යෙදෙනු ඇත. කරගෙන ආ කටයුතුවලට තරමක් සාධක යෙදෙයි. ගෙදර දොර පරිසරය අලුත් ලෙස පවත්වාගෙන යන්නට හැකියාව ලැබේ. තම පවුලට සම්බන්ධ කාන්තා අයකුගේ අසනීපයක් ගැන අසන්නට ලැබේ. ඔබ ළඟින්ම ආශ්‍රය කරන අයගේ උදව් උපකාර හිමිවේ. සෙනසුරු - කුජ - සිකුරු හත්වැන්නේ ගමන් කරන මේ කාලය විවාහ කටයුතු ඉටුකරගත හැකි වේ. මැයිවලින් පසු හැමදෙයක්ම යහපත් අතට පත්වේ. අනපේක්ෂිත වාසි සැලසෙයි.

ධනය:- ආදායම් තත්ත්වය යහපත් ලෙස පවත්වාගෙන යන්නට හැකි වේ. උත්සාහය අනුව කර්මාන්ත හා ව්‍යාපාර සාර්ථක කරගත හැකි වේ.

අධ්‍යාපන:- විද්‍යා ස්ථානාධිපති 8 වැන්නේ ගමන් කරයි. සැඟවුණු දක්ෂතා මතුවේ. අධ්‍යාපන අංශ සාර්ථක වෙයි.

සෞඛ්‍ය:- යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතී.

පිළිවෙත්:- ඊශ්වර දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න.

ජය අංකය:- 05, 02 සුබ දවස:- බදාදා, ඉරිදා

කන්‍යා

නව වසර උදාවත්ම කේතු 2 වැන්නේ, ශනි 6 වැන්නේ, ගුරු 7 වැන්නේ, රාහු 8 වැන්නේ ගෝචර වෙයි.

ගෘහ ජීවිතය:- විවාහස්ථානය වූ 7 වැන්න ගුරු හංස යෝගයක් උදා කරමින් මෙතෙක් පැවති බාධක දුරු වී යයි. සතුට සමාදානය ගෙන දෙමින් නව විවාහ යෝජනාවන්ද පැමිණෙනු ඇත. උසස් ගුණධර්මයෙන් යුත් සහකරුවකු ලැබේ. මේ අතර රාහු 8 වැන්නට පැමිණීමෙන් රාහුගේ බාධකයන්ද ඇති කරයි. රුවටීම්, වංචාවලට හසුවීම් සිදුවේ. ආත්ම ගෞරවයට හානි ගෙන දෙන සිදුවීම් ඇති කරයි. කේතු 2 වැන්නට පැමිණෙන බැවින් විවාහ දිවියේ යම් යම් ගැටලු මතු කරන්නට හේතු වේ. පවතින ග්‍රහ තත්ත්වයන් මත මිශ්‍ර ඵල ගෙන දෙනු ඇත.

ධනය:- ධනස්ථානයේ කේතු ගමන් කරන බැවින් ලැබීම්වලට බාධා මෙන්ම අධික වූ වියදම්ද යෙදෙයි. මැයිවලින් පසුව වෘත්තිය තත්ත්වය යහපත් කරයි.

අධ්‍යාපන:- ඉගෙනීම්වලට තරමක් බාධක යෙදෙයි. කියවීම්, ලිවීම් අංශවලට සුබයි.

සෞඛ්‍ය:- හන්දි අසනීප, ඇස්වල රෝග, වාත රෝග ඇති කරයි.

පිළිවෙත්:- හැකි තරම් ආගමික ජීවිතයකට යොමුවන්න.

ජය අංකය:- 04 සුබ දවස:- බදාදා

තුලා

කේතු ලග්නභාවයේ රාහු හත්වැන්නේ, ශනි - කුජ - සිකුරු පස්වැන්නේ හා ගුරු හයවැන්නේ ගෝචර කරමින් නව වසර උදා වෙයි.

ගෘහ ජීවිතය:- පෙර පැවති තත්ත්වය වෙනස් කරමින් ගෘහ ජීවිතයේ මතගැටුම් සහිත කාලයකට පැමිණේ. ගෘහස්ත සමගියට බාධක ගෙන දෙයි. චිත්ත ආවේග මතු කරයි. කලකිරුණු හුදෙකලා වූ තත්ත්වයක් පෙන්නුම් කෙරේ. රාහු, කේතු දෙදෙනාම ශාරීරික සැපය වෙනස් කරයි. ශනි - කුජ - සිකුරු පස්වැන්නේ ගමන් කරන බැවින් තරුණ තරුණියන්ගේ පෙම් පැතුම් බිඳවැටෙන කාලයකි. අනවශ්‍ය සබඳතා හේතුවෙන් පීඩාවට පත් කරයි. තරුණ ගැහැනු දරුවන් ප්‍රවේශම් විය යුතුයි.

ධනය:- ලැබීම් අංශවලට එතරම් යහපත් නැත. ලැබුණත් වියදම් වැඩි කරයි. රුකීරක්ෂා වෙනස් වන සුළුයි.

අධ්‍යාපන:- ඉගෙන ගන්නා දරුවන්ට බාධක ගෙන දෙන බැවින් දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපනය ගැන විමසිලිමත් විය යුතුයි.

සෞඛ්‍ය:- උෂ්ණ රෝග, ලිංගාශ්‍රිත අසනීප, නිදන්ගත රෝග මතු කරයි. ශරීර ශක්තිය අඩු කරයි.

පිළිවෙත්:- ඖෂධ වර්ග පූජා කරන්න. විෂ්ණු දෙවි නාමයට සෙත් කවියක් සාදවා කියන්න.

ජය අංකය:- 03 සුබ දවස:- සිකුරාදා

වෘශ්චික

ශනි - කුජ - සිකුරු 4 වැන්නේ වෙමින් ගුරු පස්වැන්නේ, රාහු 6 වැන්නේ, කේතු 12 වැන්නේ ගෝචර කරමින් උදා වන වසරකි.

ගෘහ ජීවිතය:- පස්වැන්නේ තැන්පත් වන ගුරුට අයස්ථානයන් පෙනීමෙන් ව්‍යාපාර, කර්මාන්ත වැඩිදියුණු කර ගන්නට ශක්තිය ලැබේ. ස්ත්‍රී පාර්ශ්වයන්ගේ නොමඳ සහායක් ලැබේ. සතුරු කරදර දුරු වී සහනදායක කලක් උදා වෙයි. මෙතෙක් කල් පැවති බාධක දුරු වී නොසිතූ ලාභ ගෙන දෙන්නට හේතු වෙයි. අලුත් වාසස්ථාන, භූමි ලාභ සහිතයි. කේතු ග්‍රහයාද 12 වැන්නේ ගමන් කරන බැවින් අනවශ්‍ය සබඳතාවයන්ගෙන් ඈත්ව යුග දිවිය ගත කරන්නේ නම් සුබයි.

ධනය:- නව ව්‍යාපාර, අලුත් රැකියා ලාභ, ධන ලාභ අත්වන කාලයකි. උත්සාහයේ තරමට ආදායම් සරු කරගත හැකිය.

අධ්‍යාපන:- මෙතෙක් පැවති බාධක දුරු කරමින් උසස් ඉගෙනීමකට වරම් ලැබේ. තරග විභාගයන්ට හොඳයි.

සෞඛ්‍ය:- යහපත් ශරිර සෞඛ්‍යයක් පවතී. රෝග පීඩා දුරු වෙයි.

පිළිවෙත්:- ආගමික කටයුතුවල යෙදී ඉෂ්ට දේවතාවන්ට පින් දෙන්න.

ජය අංකය:- 02, 05 සුබ දවස:- බ්‍රහස්පතින්දා

ධනු

ශනි - කුජ - සිකුරු 3 වැන්නේ, ගුරු 4 වැන්නේ, රාහු පස්වැන්නේ, කේතු 11 වැන්නේ වෙමින් උදා කරන වසරකි.

ගෘහ ජීවිතය:- 4 වැන්න අධිපති 4 වැන්නේ තැන්පත් වීම යහපත් තත්ත්වයකි. ඉඩකඩම්, නිවාස ලාභ ගෙන දෙයි. අලුත් කාල පරිච්ඡේදයක් උදා කරමින් වෙනසකට මුලපුරයි. මංගල යෝග උදා වෙයි. නෑදෑ හිතවතුන්ගේ සහාය ලැබෙනු ඇත. ආලය, ආදරය බිඳවැටෙන කාලයක් වේ. හිතුවක්කාර ගතිපැවතුම් අවම කරගත යුතුයි.

ධනය:- ලැබීම් අංශ ඇතිවුවත් වැය පස ඉහළ යයි. දරුවන් වෙනුවෙන් වියදම් වැඩි කෙරේ. රුකීරක්ෂා සාමාන්‍ය පරිදි කරගෙන යා හැකිය. අනපේක්ෂිත ධන ලාභ ගෙන දෙන්නට හේතු වේ.

අධ්‍යාපන:- රාහු විද්‍යා ස්ථානගතව ගමන් කරන බැවින් බාධක යෙදේ. දෙමාපියන් දරුවන් කෙරෙහි අවධානය යොමුකර අවශ්‍ය පිළියම් යෙදිය යුතු වේ.

සෞඛ්‍ය:- නිරෝගි බව ඇතිවේ. පැවති අසනීප සුවපත් කරයි.

පිළිවෙත්:- පුණ්‍ය කටයුතු, පොදු කටයුතුවල යෙදෙන්න.

ජය අංකය:- 04 සුබ දවස:- බ්‍රහස්පතින්දා, සිකුරාදා

මකර

ශනි - කුජ - සිකුරු 2 වැන්නේ, ගුරු 3 වැන්නේ, රාහු 4 වැන්නේ හා කේතු 10 වැන්නේ වසර උදා වෙයි.

ගෘහ ජීවිතය:- වික්‍රමස්ථානයේ ගුරු තැන්පත්ව සිටී. පවුලේ අය හා නෑදෑයන් අතර සුහදත්වය වර්ධනය කරයි. 4 වැන්නේ රාහු ගමන් කරන බැවින් පදිංචි ස්ථානයෙන් බැහැර වාසස්ථාන ගත වන්නට සිතෙයි. නැතහොත් වෙනත් තැනක පදිංචිය සලසයි. විදෙස් ගමන් බිමන්වලට යහපත්ය. උගත් අයගේ සහාය උපකාර ලැබෙනු ඇත. වසරේ මුල් මාස කිහිපය යහපත් වෙයි. ඔබගේ සිතුම් පැතුම් ඉටු වේ.

ධනය:- රැකියා ලාභ, උසස්වීම් ගෙන දෙයි. ආදායම් තත්ත්වය වර්ධනය වේ. තැන්පත් ධනය වර්ධනය කරන අතර ධන ලාභයන්ට හේතු වේ.

අධ්‍යාපන:- අධ්‍යාපනයට තරමක් බාධක යෙදුණත් මානසික ශක්තිය වැඩි කරගෙන කටයුතුවල යෙදීම ජයග්‍රහණයට හේතු වේ. රුකීරක්ෂා වෘත්තිමය අංශ සාර්ථක කරයි.

සෞඛ්‍ය:- අසනීප රෝග පීඩා දුරු වී යනු ඇත. යහපත් ශරීර සෞඛ්‍යයක් පවතී.

පිළිවෙත්:- කාරුණික වන්න. අසරණ අයට පිහිට වන්න. ඔබටත් යහපතක්ම වේ.

ජය අංකය:- 02, 03 සුබ දවස:- සෙනසුරාදා, බ්‍රහස්පතින්දා

කුම්භ 

ශනි - කුජ - සිකුරු ලග්නයේ, ගුරු 2 වැන්නේ, රාහු 3 වැන්නේ, කේතු 9 වැන්නේ උදාවන අලුත් අවුරුද්දකි.

ගෘහ ජීවිතය:- සැනසීම, සතුට, ප්‍රීතිය ගෙන දෙමින් තම සිතුම් පැතුම් සඵල කරන කාලයකි. අනපේක්ෂිත ධනාත්මක ලක්ෂණ පහළ කරයි. සම්පත්, වස්තුව උදා කර දෙයි. ඇසුරු කරන සැමගේ උදව් ලැබෙයි. පැවති කරදර බාධක දුරු වී අලුත් ගමනක් යන්නට වාසනාව උදා වෙයි. අවාහ, විවාහ ඉක්මන් වේ. යුග දිවියේ සතුට සමාදානය ඇතිවෙයි. සමාජ ගෞරවයට පාත්‍ර වේ. කරන කියන දෙයින්, යන එන ගමන් බිමන්වලින් හොඳ ප්‍රතිඵල අත්වේ.

ධනය:- ලොතරැයි වාසනා, ධන ලාභ, කර්මාන්ත ව්‍යාපාර, රැකියා දියුණුව සැලසේ.

අධ්‍යාපන:- ඉගෙන ගන්නා දරුවන්ගේ අපේක්ෂා සාර්ථක කරමින් ජය සැලසේ.

සෞඛ්‍ය:- යහපත් ශරීර සෞඛ්‍යයක් පවතී.

පිළිවෙත්:- ආගමික කටයුතු මගින් යහපත් ඵල උදා කර දෙයි.

ජය අංකය:- 02, 04 සුබ දවස:- සිකුරාදා, සෙනසුරාදා

මීන

ගුරු ලග්නයේ, රාහු 2 වැන්නේ, කේතු 8 වැන්නේ, සෙනසුරු - කුජ - සිකුරු 12 වැන්නේ වෙමින් වසර ආරම්භ කරයි.

ගෘහ ජීවිතය:- ලග්නාධිපති ලග්නයට පැමිණ තිබේ. බුද්ධිමත්ව කටයුතු කළ හැකි වාසනාවන්ත කාලයක් උදා කර දෙයි. සියලු දෝෂ භංග කරමින් ජීවිතයට නව අරුතක් උදා කරයි. ඉක්මන් විවාහ, උත්සව සහිතයි. රාහු 2 වැන්නේ ගමන් කරන බැවින් කතාවෙන් ප්‍රවේශම් වන්න. අන් අයගේ සිත් නොරිදෙන්නට වචන භාවිත කළ යුතුයි. රාහුගෙන් හොඳ නරක දෙකම ගෙන දෙනු ඇත. කේතු 8 වැන්නේ ගමන් කරන බැවින් ගෙදර දොර සාමයට බාධා යෙදෙනු ඇත. කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය සම්බන්ධවලින් මිදෙන්න.

ධනය:- ලැබීම් අංශ යහපත් වේ. කෙසේ හෝ ධනය ලැබුණත් වියදම් අංශද වැඩි කරයි.

අධ්‍යාපන:- ගුරු ලග්නගත බැවින් උසස් අධ්‍යාපන වාසනාව උදා කර දෙයි.

සෞඛ්‍ය:- ලේ විෂවීම්, නහර, ස්නායු ආබාධ ඇති කරයි.

පිළිවෙත්:- නව ග්‍රහ පූජාවන් පවත්වා විෂ්ණු දෙවි නමට සෙත් කවි කියන්න.

ජය අංකය:- 01, 04 සුබ දවස:- බ්‍රහස්පතින්දා, බදාදා

 

 බී.ඒ. සමන් ගුණසේන

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00