2022 අප්‍රේල් 03 වන ඉරිදා

දන්නවද එයා අපිව දාලා යනවා කියලා...

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 200

''ඒක එයා ආපු වෙලාවක එයාගෙන් අහගනින්.''

''නෑ මං ඒක රෝමියෝගෙන්ම අහල දැන ගන්නම්. මේක මාර වැඩක්නේ. එක එක දවසට හොල්මන් වගේ එක එක සිද්ධි වෙනවා. අනික මේ දිගින්වත් හරහින්වත් නැති මිනිස්සු අපේ වැඩවලට ඇඟිලි ගහනවා... ගෙදර මිනිස්සු එකපාරම පදිංචි වෙනස් කරනවා. ඒ හැම වෙලාවකම රෝමියෝ මග අරිනවා...''

''මගේ අහිංසකයා රෝමියෝට නම් උඹ මොකුත් කියන්න එපා අදාරතී... මගේ රෝමියෝ කියන්නේ අනුන් වෙනුවෙන්ම උදව් කරන්න උපන් මිනිහෙක්. අද උඹත් ඔය විදියට ලස්සනට ජීවත් වෙන්නේ රෝමියෝ නිසා...''

''ඒක මොකද මං නොදන්නේ... ඒකනේ මං මිනර්ලිනීටත් වඩා රෝමියෝට ආදරේ.... දන්නවද මං තාත්තට හුඟාක් ආදරේ කරන දුවක්...''

ආච්චි මං කිව්ව ඒ වචනෙට එක පාරටම මගේ දිහාට හැරුණා.... මං දැක්කා එයාගේ ඇස්වලට සැණින් පිරෙන කඳුළුත්... ඒ කඳුළු අස්සෙන් එයා කිව්වා....

''ඔව්. මේ ලෝකේ කිසිම මිනිහෙක් නොකරන කැප කිරීමක් තමයි එයා උඹ වෙනුවෙන් කළේ අදාරතී...''
''කැප කිරීම?''
ඔව්. ඒ ප්‍රශ්නෙ මගේ මුවින් නිකුත් වුණා... මං නැවතත් තක්කිට ළං වුණා...''
''තක්කි?''
''හ්ම්?''
''කැප කිරීම?''
''හ්ම්...''

ඉතින් ඒක අමුතු කැප කිරීමක් වෙන්නේ නෑනේ. මං එයාගේ දුවනේ... දුවක් වෙනුවෙන් තාත්තෙකුගේ වගකීම නෙවෙයිද ඒ...? කොයි තාත්තත් තමුන්ගේ දරුවො වෙනුවෙන් කැප කිරීම් කරනවනේ... ඒකනේ ආදරේ?''
ආච්චි ටිකක් වෙලා කල්පනා කරන්න ගත්තේ මං දිහා ටිකක් වෙලා බලාගෙනත් ඉඳලා.

කොහොමත් අපේ මිනර්වා කොටේජ් එක නැවත අලුත්වැඩියාවට ලක්වුණා. සිමෙන්ති වැලි පටවපු ලොරියක් ඇවිත් තක්කිගේ අවන්හල ඉදිරියේ නවතනකොට මං දැක්කා නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවාගේ කාර් එකත් ඒ පිටිපස්සෙන් ඇවිත් නවත්ත ගන්නවා. මෙයාට මේ තරම්ම අයිතියකින් වැඩ කටයුතු කරන්න ඉඩදීම ගැන තක්කිත් රෝමියෝත් එක්කත් පොඩි තරහක් මගේ හිතට ආවත්.... මං නිහඬව ඉන්න හිතුවා. ඒත් මොකක්දෝ මං නොදන්න කතාවක් අපේ ජීවිත වටේ කරකැවෙමින් තියෙන බව නම් මගේ හිත හැම තිස්සේම මට කංකෙඳිරිගාමින් හිටියා.

''තමුසේ දන්නවද මිනර්ලිනී... වෙනම පදිංචියකට යන බව... ඒ එක්ක ශාෂාවත් අරන් යන බව...''
එක හැන්දෑවක ප්‍රොන්තෝ මං ළඟටම ඇවිත් ළඟින්ම ඉඳගනිමින් කිව්වා...

''ඔව්. එයාට අපි දෙන්න ගැන ඒ හැටි ගාණක් නෑ... එයා ආදරේ ශාෂාට විතරයි.''
මං එහෙම කියනකොට ප්‍රොන්තෝ මං දිහා බලලා හිනා වුණා. ඒ හිනාවේ තිබුණා මහ විශාල උපහාසයක්.

''ඇයි ඔහොම හිනාවෙන්නේ මට... මං හිනාවෙන්න දෙයක් කිව්වද?''

මං ඇහුවා එහෙම ප්‍රොන්තෝගෙන්. ප්‍රොන්තෝ හිනාවෙන්ම මොකුත්ම නොකියා යන්න හැරුණා. මං දමල ගැහුවා එයාට මගේම අර පුරුදු වචන වලින්.

''මේ අහනවා ප්‍රොන්තෝ... මට හිනාවෙන්න එපා... තමුන් හිනාවෙනවා තමුංටම... අනේ මන්ද මේ ගෙදර මොනවද වෙන්නේ කියන එක නෙවෙයි හොයන්නේ. උදේ ඉඳන් රට වටේ කරක් ගහහ රස්තියාදුවේ යන එක විතරයි කරන්නේ... ගිහින් බලනවා, මිනර්වා කොටේජ් එක අලුත්වැඩියා කරන්න යනවා... ඒ ගැන අපිට නෙවෙයි අමාරුව තියෙන්නේ. මේ කොහේවත් ඉන්න ඉංජිනේරුවෙකුට... යනවකෝ පිරිමියෙක් වගේ එයාගේ ඉස්සරහට අහනවකෝ අපේ ගෙදර ගැන අපිට නැති අමාරුවක් මොකටද තමුංට කියලා...''

ප්‍රොන්තෝ කළේ ඒකටත් හිනාවුණු එක. ඒ වුණත් ඒ එක්කම තක්කිව හොයාගෙන තක්කිට කතා කරගෙන ආපු නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවා... මගේ කතාව ඇහිලද කොහෙද මං දිහා එක සැරේකට බැලුවා. ඒ වුණාට එයා කතා කළේ ප්‍රොන්තෝ එක්ක.

''ප්‍රොන්තෝ... මෙන්න මේ කෑල්ල තමයි ඉස්සෙල්ලාම බාසුන්නැහැලට හිස් කරලා දෙන්න ඕන.... අන්න අර පැත්තේ තියෙන අර... ලොකු ලොවි ගහෙත් අතු ටිකක් පාහින්න වෙනවා. ඒක යට තියෙන අර ඇඳුම් වැලත් ගලවන්න... එතන තියෙන බංකුවත් වෙන තැනකින් තියන්න... මං වැඩකරන දෙන්නෙක් එවන්නම්. ප්‍රොන්තෝ ඒ අයට කියලා ඒ වැඩ ටික කරවලා දානවද?''

එයා එක දිගටම ඕඩර්ස් දුන්නා මිසක් ආයිත් නිකමටවත් මං ඉඳපු දිහාවත් බැලුවේ නෑ. ප්‍රොන්තොත් කිසි කතාවක් නැතිවයි ඉංජිනේරුවට අවනතව ඒ වැඩ ටික කරවන්න ඉදිරිපත් වුණේ. 

දහවල හුඟාක් දාහයෙන් පිරුණු ඒ දවස රාත්‍රිය වෙත ළඟා වුණේ හරිම හෙමින් වුණත්... රාත්‍රියේදී හමා ගියා සීතල මඳනළක් මිනර්වා කොටේජ් එක පසාරු කරගෙන... මගේ හිතට කිසියම්ම සහනයක් නොදෙන ප්‍රශ්න වැලක් ඒ වෙනකොට ගොඩනැගෙමින් තිබුණත් ඒවාට පිළිතුරු දෙන විදියේ කිසියම් කෙනෙක් හිටියේ නෑ මිනර්වා කොටේජ් තුළත්...

ඒත්...
''අදාරතී...''
රෝමියෝ ඇවිත් තිබුණා මගේ ළඟටම...
''ඇයි තාත්තේ?''
''දන්නවා ඇති මිනර්ලිනී වෙනම පදිංචියකට යන බව...''
''හ්ම්...''
''ඒ ගැන වැඩිදුර හිතන්න ඕන නෑ...''
''නෑ මං හිතන්නේ නෑ... තාත්තේ... ඒත් ශාෂා අපි ළඟ නැතිවෙන එක ගැන දුකයි.''
''නෑ ඒ ගැනත් අදාරතී හිතන්න ඕන නෑ... ඒ වෙනුවට ප්‍රොන්තෝ ඉන්නවනේ. එයා මෙහේ දාලා කොහේවත් යන්නේ නෑ.''
''තාත්තේ...''
''ඔව්. ලබන සතියේ මට තියෙනවා... අලුතෙන්ම ආපු බුකිං එකක් අපේ නාට්‍යයට. ඒත් පළපුරුදු දෙන්නෙක්ම මේ වෙනකොට නාට්‍යයේ නෑනේ. අලුතෙන් පුහුණු කරගන්නත් කාලය මදි...''
''ඇයි තාත්තේ ඉතින්....''
''ඔව් ඉතින්?''
''උත්සාහ ගත්තොත් බැරිවෙන එකක් නෑනේ...''
''මිනර්ලිනීත් ලුසේනුත් කියන්නේ සාමාන්‍ය චරිත දෙකක් නෙවෙයිනේ. ඒ දෙක තමයි දස්කොන් ප්‍රමිලා ප්‍රධාන චරිත දෙක ලේසි නෑ. ඒ වෙනුවට අලුත් ඒවා දාන එක.''
''ඉතින් මිනර්ලිනීට කියන්න ඉන්න තැනකින් ඒ නාට්‍ය කරන්න එන්න කියලා. ලුසේන්ටත් ඒ විදියටම කියන්න.''
''නෑ. ඒ අයට නැවත කතා කරන්න ඕන නෑ.''
''එතකොට?''

ඊටපස්සේ රෝමියෝ මොකුත් කතා කළේ නෑ. ජීවිතයම නාට්‍ය වෙච්ච අපේ රෝමියෝ ඉන්නේ බොහොම දුකෙන් කියන එක විතරයි මට දැනුණේ... හරියටම මහ වැස්සක් වගේ එකක් වහින්න අරන් අපේ අර සරල ජීවන පැවැත්ම එහෙන් පිටින්ම කළබලකාරී කටුක එකක් බවට පරිවර්තනය කරමින් පවතින බවයි වැටුහුණේ. නාට්‍ය රඟපාන්න, නළුවෝ නිළියෝ වෙන්න කැමැති කීප දෙනෙක්ම එක්ක ඇවිත් ඒ අවස්ථාව දෙන්න ඒ අයව පුහුණු කරන්න උත්සාහ ගත්තත්... ඒ කිසිම කෙනෙක් මිනර්ලිනීවත්, ලුසේන්වත් නොවුණු එක ගැන රෝමියෝ හිටියේ වඩාත් දුකෙන්... එයා කළේ හවසට හොඳටම මත්වෙන්න බීලා ඇවිත් මිනර්වා කොටේජ් ඉස්තෝප්පුවෙ වැටිලා හොඳින් නිදාගත් එක... සමහර දවස්වලට හයියෙන් සින්දු කියන එක....
''මා ලැබු ජීවිතයේ සැනසුම ඔබ සතුවේ...

සුදු ඔබ මොනව කළත් අහිතක් නෑ සිතුවේ...
මා ලැබු ජීවිතයේ....''

මේ වෙලාවල් වලදී තක්කි කළේ ඒ කිසිම දෙයක් නෑසෙන විදියට එයා නිදාගන්න තැනට ගිහින් මොකක් හරි කුඩා වැඩක නිරත වුණු එක...‍

''අනේ ආච්චි මේ මොන පිස්සුවක්ද... අපි ආයේ කඩේවත් ඇරගමු... එතකොට අතට කීයක් හරිත් එනවා. දවසත් අපට නොදැනිම ගෙවිලා යනවා.''
''ඒක කරන්න බෑ...''

''ඇයි ඒ?''
''කඩෙත් ඔයිට වඩා ලස්සනට හදනවලු. මට කිව්වා... එතෙක් ඉන්න කියලා. ඔය තියෙන එකට වඩා සියලු පහසුකම් ඇති එකක්... අනික ඒක මම කරන්නේ නැතිව කුලියට දීලා ලොකු ගණනක් අතට ගන්නලු... ලස්සනට හදපුවාම ඕන තරම් අය එයිලු කුලියට ඒක ගන්න.''
''කවුද කිව්වෙ?''
''ඉංජිනේරු මහත්තයා...''

''ඉංජිනේරු මහත්තයා... ඉංජිනේරු මහත්තයා... ඉංජිනේරු මහත්තයා.... මොන කරුමයක්ද ඒ... මේ ගෙදර හැමෝටම ඒ මිනිහගෙන් තොර ලෝකයක් නෑනේ.''

''ෂ්... හෙමින් කතා කරපන් අදාරතී එයා තවමත් බාස්ල එක්ක මෙහේ වැඩ... අනික මට කිව්වා පුළුවන් නම් ආං අර පැත්තත් හෙට වෙනකොට අස්කරලා දෙන්න කියලා... හෙට බාස්ලා වැඩ කරන්නේ ඒ පැත්තෙලු.''

මට හුඟක් තරහ ගියා... මං තක්කිටත් රවලා ගස්සගෙන යන්න හැරුණා... ඒක කොහොමත් වේගයෙන් සිද්ධ වුණා. මං දුවගෙන ආවේ උඩුමහලේ ඇති මගේ කබල් කාමරේට යන්න... ඒත් අඳුරක් පැවතුනා... ඒ එන වේගෙට මාව ඇවිත් හැපුනා... මිනර්වා කොටේජ් එකේ යට තට්ටුවේ ඇති කුඩා කුලුනක. නෑ... ඒක මට වෙච්ච වැරදීමක්... ඒක කුලුනක් නෙවෙයි, එතැන හිටියේ නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවා. රවනවා වෙනුවට එයා හිනාවුණා මං එක්ක.

ලබන සතියට...

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00