2022 අප්‍රේල් 03 වන ඉරිදා

මංකොල්ලකෑම් ඉහළට

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 168

බ්‍රහස්පති ග්‍රහයා තමාට ස්වක්ෂේත්‍ර රාශි භවනක් වූ මීන රාශියට 2022 අප්‍රේල් 13 වන බුධ දින සවස තුන පසුවී විනාඩි 50ට පිවිස 2023 අප්‍රේල් මස 22 වන දින පාන්දර 5 පසු වී විනාඩි 15 දක්වාම බලවත් ගමනක යෙදෙනු ඇත. මෙම කාල වකවානුව තුළදී මීන ලග්න හිමියන්ටත් මිථුන ලග්න හිමියන්ටත් කන්‍යා හා ධනු ලග්න හිමියන්ටත් පංච මහා පුරුෂ යෝග බලයක් වූ ගුරු හංස යෝගය උදාවනු ඇත. විශේෂයෙන් එම කාල සීමාව තුළදී උත්පත්තිය ලබන්නාවූ දූ දරුවන්ට මෙම යෝග බලයද ක්‍රියාත්මක වනු ඇත.

 

රහස්පති මාරුව අප රටට ඇති කරන්නාවූත් බලපෑම පිළිබඳව විමසා බැලිමේදී රටේ ආර්ථිකය යම්තාක් දුරට ශක්තිමත් කර ගැනීම සඳහා රජය විසින් යම් යම් උපක්‍රම යොදවන කාලයක් වූවද රටේ ආර්ථිකය තවදුරටත් කඩා වැටීමක්ද බඩු මිල තව තවත් ඉහළ යාමක්ද සිදුවනවා ඇත. රට තුළ වයස්ගත බුද්ධිමත් කීර්තිමත් පුද්ගලයන්ගේ මරණවල ඉහළ යාමක්ද වන අතර මහජන ගෞරවයට පත් ප්‍රකට දේශපාලන නායකයකුගේ අභාවයක්ද සිදුවන කාලයක් වනු ඇත. රට තුළ සිදුවන අපරාධවල ඉහළ යාමක්ද ඇතිවෙයි. මූල්‍ය ආයතන ස්වර්ණාභරණ ආයතනවල ආරක්ෂාව වැඩිකර ගතයුතු වකවානුවක් වන අතර ඒ ආශ්‍රිත නොසිතූ හදිසි මංකොල්ලකෑම් වැඩිවන කාලයක්ද වේ.

මීළඟට ඔබට

• මේෂ - තැන්පත් ධනය වැයවේ

විශාල මුදල් වියදම් නොකළ යුතු අතර තැන්පත් ධනයද වියදම් වන කාලයක් වේ. නිවසේ යම්කිසි අලුත්වැඩියාවක් සිදුකරන සමයකි. ණයක් මත ලබාගත් වාහනයක් ඇත්නම් එම ණය ගෙවා ගැනීමට නොහැකි වී වාහනය අහිමි විය හැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න.

• වෘෂභ - ලැබීම් ඉහළට

ඔබට යහපත් ඵල අත්වන අතර ලැබිම් මාර්ග වර්ධනය වන කාලයකි. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ඉතා යහපත් වනු ඇත. සහෝදර බැඳීම්ද වර්ධනය වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත අයටද ශුභඵල අත්වනු ඇත.

• මිථුන - රැකියා උසස්වීම්

ඔබට ඉතා යහපත් වන අතර ඔබ කරන කටයුතු සාර්ථක වන කාලයක් වේ. රුකියාවේ උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර ඉඩකඩම් මිලදී ගැනීමටද යහපත් වන කාලයකි. ලැබිය යුතු ණය මුදලක්ද ලබාගත හැකි කාලයකි.

• කටක - අධ්‍යාපනයට හොඳයි

ආගමික කටයුතුවලට වැඩි කාලයක් යොදවනවා ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභඵල ගෙන දෙනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර සහෝදර බැඳීම්ද වර්ධනය වනු ඇත.

• සිංහ - ශරීර ශක්තිය හීන වේ

ආර්ථික අපහසුතා ඇතිවන කාලයක් වේ. තමන් කරන කටයුතුවලින් සිතන තරම් ලාබ අහිමි වේ. නිවසේ සිටීමද එපාවන කාලයක් වේ. ශරීර ශක්තියටද බාධා වීම් ඇතිවනු ඇත. දරුවන් ලැබීමට සිටින අය පරිස්සම් විය යුතුයි.

• කන්‍යා - පපුවේ අමාරු

ඔබට යහපත් ඵල උදාවනු ඇත. මෙම වකවානුව තුළ ව්‍යාපාරික කටයුතු සිදුකරන අයකු නම් තම ව්‍යාපාරික කටයුතු දියුණු කරගත හැකිවනු ඇත. දේශපාලන කටයුතු සමාජ සේවා කටයුතුවල නිරත අයටද ශුභඵල අත්වනු ඇත. හදවත ආශ්‍රිත පීඩා මතුවනු ඇත.

• තුලා - රැකියා ගැටලු මගහැරේ

සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යන අතර නව රුකියා අපේක්ෂාද ඉටු කරගත හැකියි. විශාල මූල්‍ය පාඩුවක් ඇතිවිය හැකි බැවින් ගනුදෙනුවලදී පරිස්සම් වන්න. පවුල් දිවියේද පැවති යම් යම් මත ගැටුම් පාලනය වන කාලයකි.

• වෘශ්චික - දේශපාලන වාසි

අධ්‍යාපනික කටයුතුවල නිරත අයට ශුභඵල අත්වනු ඇත. දේශපාලනික වාසි අත්වන  කාලයක්ද වේ. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවනවා ඇත.

• ධනු - ඉඩකඩම් රථවාහන හිමිකම්

ඔබට යහපත් ඵල අත්වන අතර ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමටත් උරුම හිමිකම් ලැබීමටත් යහපත් වන කාලයක් වේ. නව රුකියා ලැබීමටත් සේවා උසස්වීම් හිමිවීමටත් යහපත් කාලයක් වේ.

• මකර - කැපී පෙනේ

ඔබටද යහපත් වන අතර සහෝදර බැඳීම් වර්ධනය වන අතර ආගමික කටයුතු වෙනුවෙන්ද වැඩි වශයෙන් කාලය යෙදවීම්ද සිදුකරනවා ඇත. සමාජ සේවා කටයුතුවලින්ද අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත.

• කුම්භ - ගැටලු මගහැරේ

පවුල් දිවියේ ප්‍රශ්න මගහැරී යන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ගැටලුද විසඳී යනවා ඇත. ලැබීම් මාර්ග ශක්තිමත් වන අතර තැන්පත් ධනය වර්ධනය කරගත හැකි කාලයක් වේ. ඇස් ආශ්‍රිත රෝගාබාධයක් මතුවිය හැක.

• මීන - අධ්‍යාපනයට හොඳයි

ඔබට යහපත් ඵල අත්වන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරත අයටද ශුභඵල අත්වන අතර පවුල් දිවියේද සතුට ඇතිවන කාලයක් බවට පත්වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල