2022 අප්‍රේල් 03 වන ඉරිදා

ජයශංකර්ගේ අනාවැකිය

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 130

ඉම්රාන් ඛාන්වත් අගමැතිකමෙන් අයින් කරන්ඩ යනවලු නේද?

මිනිහට ප්‍රශ්නයක් නෑ.

ඇයි?

මිනිහ පනී එහෙ ක්‍රිකට් බෝඩ් එකට.

දේශපාලනෙන් අයින් වෙලා?

නෑ... ආයෙත් දේශපාලනේට එන්ඩ සල්ලි හොයන්ඩ.

මේ මෑතකදී මිත්‍ර සමාජයේදී අසන්නට ලැබුණු කතාබහකි. ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රිකට් දේශපාලනය යනුවෙන්ද ක්ෂේත්‍රයක් ඇති බව ප්‍රකට කාරණයකි. ක්‍රිකට් ක්‍රීඩකයෝ, පිටිය මැද හයේ හතරේ පහරවල් ගසන අතර, පොලි-ක්‍රිකටර්ස්ලා බෝඩ් රෑම් තුළ සෙන්චරි ගසති

දේශපාලනඥයන්ට ක්‍රීඩාවට අත ගැසීමට ඉඩ නොදිය යුතු යැයි නීතියක් ගෙන ආ හැකිය. එහෙත් එවිට ක්‍රීඩා ඇමැතිවරුන්ට පිටරටකදී හෝ විනෝදයට ජල ක්‍රීඩාවක යෙදෙන්නටවත් ඉඩක් නිදහසක් ලැබෙනු නැත.

දේශපාලනඥයාද පුරවැසියෙකි. එහෙයින් ඔහුටද, සෙසු පුරවැසියන්ට හිමි නිදහස හා අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි විය යුතුය. සිරි ලංකාව වැනි රටවල පුරවැසියෝ තමන් විසින්ම බලයට පත් කරනු ලබන දේශපාලනඥයන්ට ඊර්ෂ්‍යා කරති. ඔවුන්ගේ සුඛෝපභෝගී නිවාස, යාන වාහන, පමණක් නොව කෑම බීම ගැනද නොයෙක් කතා කියති. සමාජ ජාලාවල කටකතා පතුරති. 

මම ඉඳහිට සෝෂල් මීඩියා බලන්නෙ, පොඩි විනෝදයක් ලබන්ඩ හිතුනම.

පූර්ණකාලීන නොවන, ෆ්‍රී ලාන්ස් දේශපාලන චරිතයක් මෑතකදි එසේ කියා තිබුණි. තමන්ට එල්ල වන මඩ ප්‍රහාරයක් පවා විනෝදයට හරවා ගැනීම කොතරම් උසස් ගුණයක්ද? මඩට හේතුව කුමක්දැයි සෙවීම වෙහෙසෙන්නට තරම් කාලයක් ඒ මහත්වරුන්ට නැති බව දනිමු. (විශේෂයෙන්ම, දිළිඳු රටවලය.) 

පකිස්ථානයෙන් මෙන්ම සිරි ලංකාවේද, අගමැති වෙනස් කිරීමට යන බවට කතා පැතිරෙයි. විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව ඒ කටයුත්තට හිටපු ජනාධිපති මෛත්‍රීපාල මැතිඳුන්ගේ කිසිම සම්බන්ධයක් නැත. මෙවර සිදුවන්නට යන්නේ එතුමා කළ දේ අනික් පැත්තය. මහින්ද මහත්තයා වෙනුවට, පුටුවට එන්න යන්නේ රනිල් මහතාලු. අපට නම් කොයි කවුරු ආවත් කම් නැත. සක්කරයාගේ පුතා වයිමාට කියා හෝ රට ගොඩ දමා ගැනීමය සිදුවිය යුත්තේ.

මේ දිනවල කාලගුණය මෙන්ම රටේ තත්ත්වයද ඉතා උණුසුම්ය. අලුත් අගමැතිවරයාට අලුත් පුටුවක්ද ලබාදීමට සිදුවනු ඇත්තේ, පරණ පුටුව, පාණ්ඩු කම්බල ශෛලාසනය මෙන් රත් වී ඇති හෙයිනි. 

අපේ රොබින්ලා කැන්ටිමේ තේ බොන ගමන් මෙසේ කතාවෙනු මට ඇසුණි.

නැති බැරි උදවියට පන්දාහ ගාණේ බෙදන්ඩ යනවලු. අවුරුදු කන්න බෝනස් එකක්.

ඒවට කොහෙන්ද සල්ලි?

ඩෝලර් නැති වුණාට, රුපියල් තියෙනවනෙ. අච්චු ගහල හරි බෙදයි.

සල්ලි ගහන්නවත් කඩදාසි නැතිලු.

කොස් කොළවල හරි ගහල බෙදයි. මොකද දන්නවද, නැත්තං මෙදා පාර මැති ඇමතිලාට ගමේ යන්ඩ බැරිවෙනවා. පන්දාහට මුවාවෙලා පාරට බහින්ඩයි හදන්නෙ.

මේ පාර නං ලේසි වෙන එකක් නෑ. පන්දාහට දහදාහක කන්ඩ වෙයිද දන්නෙ නෑ.

පිස්සු කතා කරනවද. ඒ වෙන රටවල. අපේ මිනිස්සු පන්දාහ ගත්ත ගමන්, පරණ කාපු කට්ටවල් සේරම අමතක කරල දණ ගහල වඳියි.

ප්‍රභා තමයි ඇත්ත කිව්වෙ... අපිට හැමදේම මතක තියෙන්න බොහොම ටික කාලයයි.

සියලුදෙනා මොහොතකට නිහඬව කල්පනාකාරී වූහ.

සර්ව පාක්ෂික සම්මේලනවලින් මොනව වෙයිද?

ගජසිංහ නිහැඬියාව බින්දේය.

මොනව වෙන්ඩද? සියලු පක්ෂවල සහයෝගෙන් කවුරු කවුරුත් ආපහු පාර්ලිමේන්තුවට යයි.

රොබින් සිනාසෙමින් කීය. එහෙත් වෙනදා මෙන් අනෙක් අය රොබින්ගේ සිනාවට හවුල් වූයේ නැත. ජනතාව අතුරින් සිනාව පලා යාම නම්, ඉතා අවාසනාවන්ත මෙන්ම භයානක තත්ත්වයකි. මිලියන ගණනක් වෙසෙන රටක, දෙසීය පනස් දෙනෙක් දත් විළිස්සුවාට වෙන සෙතක් නැත.

පෙරේදා, මේබල් කන්තෝරුවට පැමිණියේ හිස් ගෑස් ටැංකියද ත්‍රීවීලරයක පටවාගෙනය. ඇය සිටින්නේ ගෑස් තිබෙන තැනක් ගැන ආරංචියක් ලැබූ සැණින් එහි යාමට සූදානම්වය. සුරෑපී සුකුමලී, දර ලිපට පිඹලාම කට උල්වෙලාය. ඇස් රතු වෙලාය. රාමසිංහ මහත්මියට දුම් කැස්සක් හැදිලාය. ඇයට ඔමික්‍රෝන් කැස්ස සුව වී, සතියක්වත් නැත. අපේ රියැදුරු මහත්වරුද මේ දිනවල වැඩිපුර ඉන්නේ කන්තෝරුවේ නොව ඩීසල්, පෙට්රල් පෝලිම්වලය. බොහෝ ආයතනවල වැඩ ඉවරයක් නැති විදුලිය කැපීම නිසා අඩපණය. පැය අටෙන් හතරක්වත් වැඩ නොකළ සමහර තැන්වල (දන්නෝ දනිති) නම්, පැය පහක් හයක් විදුලිය නැති වූ විට උද්ගත වන තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත.

බෙකට්ගේ ගොඩෝ එනකල් නාට්‍යයේදී මෙන් ලංකා ජනතාව බලා සිටින්නේත් කවුරු හරි එනකල්ය. මොකක් හෝ සිද්ද වෙනතුරුය. ඉන්දියාවේ විදේශ ඇමැති ජායිශංකර් සිරි ලංකාවට ආවේ ඔය අල්ල පනල්ලේය. ආපසු සිය රට ගිය පසු, ඇමැති බිරිය මෙසේ ඇසුවාය.

කොහොමද ශ්‍රී ලංකාව?

හරිම කනගාටුදායකයි. මං හිතන්නෙ ඒ මිනිස්සු ළඟදීම පාර්ලිමේන්තුවත්, වෙන රටකට විකුණල දායි....

කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00