2022 මාර්තු 27 වන ඉරිදා

සම්මානයක අයිතිය

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 133

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා කර්තෘ සංසදය විසින් 22 වැනි වතාවටත් පවත්වනු ලැබූ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී හීසරය 2020 හොඳම තීරු ලිපිය ලෙස ඇගැයුමට ලක්වීම පාඨක ඔබගේද සතුටට කාරණයක් වන බව දනිමි. එය දැනගත් මොහොතේ මගේ මිතුරන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කීපයක් පහත දක්වමි.

මේක වැරදීමක් වෙන්ඩ බැරිද?

වෙන තීරු ලිපියක් තිබුණෙම නැද්ද?

මේ වතාවෙ ඉදිරිපත්වුණු එකම තීරු ලිපිය හීසරය වෙන්න බැරිද?

තවත් සමහරු මෙසේ පැවසූහ:

මම පරණ දේශය පත්තර ටිකක් හොයාගෙන හීසරය තීරුව කියවල බැලුවා. ඒකට සම්මානයක් දීපු එකේ වැරැද්දක් නෑ.

මිනිහ හැම දෙයක් දිහාම බලන්නෙ උපහාසයෙන්නෙ. දැන්වත් ටිකක් සීරියස් වෙන්න බලයි.

මට නං ඕකේ ඒ හැටි අගයක් තිබුණෙ නෑ. සම්මානෙට පස්සෙ තමයි ඒක හොඳ ලියවිල්ලක් කියල තේරුණෙ.

දැන් බැලින්නම්, අපිට වඩා ලොකු මිනිස්සුත් හීසරය කියවල තියෙනවා. අඩුම ගාණෙ විනිශ්චය මණ්ඩලේවත්!

ජීවන වියදමට විසඳුමක් හැටියට, පත්තර ගන්න එක ටික දවසකට නවත්තන්නයි මං හිතං හිටියෙ. ඒත් දැන් ඉතින් ඔය පත්තරේ දිගටම බලන්න වෙනවා.

පත්තරකාරයන්ට ජීවතුන් අතර ඉඳිද්දීම සම්මාන දෙන එක හොඳ වැඩක්. නැත්තං ඒ මිනිස්සු ගැන පත්තරේ වැටෙන්නෙ මළාට පස්සෙනෙ.

මම පත්තරයක් ගත්තම කියවන්නෙ කතුවැකියයි, තීරු ලිපියයි විතරයි. අනික් ඒවා සේරම ටී.වී. එකෙන් බලනවා. නැත්තං ෆෝන් එකෙන්.

හොඳම කතුවැකියටත් සම්මාන දුන්න නං හොඳයි. ඒත් මේක සංවිධානය කරන්නෙත් කර්තෘවරුමනෙ.

මේ අතර, අපේ ක්ෂේත්‍රයට සම්බන්ධ කීප දෙනෙක් දැක්වූ අවංක අදහස් කීපයක්ද මගේ මතකයෙන් උපුටා දක්වමි.

ඔය සම්මානෙ බාගයක් අපිටත් අයිතියි. මිනිහ හැමදාම ලියන්නෙම අපිට වෙන දේවල්, නැත්තං අපි කියන දේවල්නෙ.

මම නං හිතන්නෙ ඕකේ වැඩි අයිතිය තියෙන්නෙ අපේ රොබින්ට...

ඔව් සමහරදාට ඒක මිනිහම කියනවනෙ, අද ලිපියෙ තියෙන්නෙ රොබින්ගෙ අදහස් කියලා.

අනුන් කියන දේවල් තමන්ගෙ වගේ ලියලා සම්මාන ගන්න කාට බැරිද? පව් අර අහිංසකයා රොබින්! හරි නං මිනිහටයි ඕක දෙන්න තිබුණෙ.

මෙයට සමාන චෝදනාවක් අපේ නිවසින්ද අසන්නට ලැබුණි.

ඔයා, මම කියන දේවල් ගෙඩි පිටින්ම ලියන බව දන්නව නම්, ඔය සම්මානෙ දෙන්නෙ මට.

මගේ බිරිඳ පැවසුවේ උපහාසාත්මක සිනාවකින් යුතුවය. පුතා කිසිවක් නොකියූවත්, ඔහුගේ මුහුණෙන්ද පිළිබිඹු වුණේ සම්මානයේ අයිතියක් තමන්ටද හිමිවිය යුතු බවකි.

හන්දියේ කඩේ මුදලාලි ඇතුළු මගේ අසල්වාසීන්ද, මගේ අහිංසක කොලමේ අයිතිය ගැන යම් යම් අදහස් ප්‍රකාශ කර ඇති බව, මට දැන ගැනීමට ලැබුණි.

මිනිහ කඩේට ආවම බඩු විතරක් නෙවෙයි, මගේ අදහසුත් අරගෙන යන්නෙ.

මුදලාලි එසේ කියා තිබුණි.

අයිතිය පිළිබඳ කතා කෙසේ වෙතත් ඒ සියලු දෙනම මට සම්මානයක් ලැබීම ගැන සතුටට පත් වූ බවද කිවයුතුය. 

මම ඒ සැමගේ මතයන්ට ගරු කරමි. කිසිවකුටත් දොස් නොකියමි. ඕනෑම ලේඛකයකුට තම ජීවන පරිසරයෙන් මිදී, කිසිවක් ලිවිය නොහැකිය.

මගේ මිතුරන්ට, පවුලේ උදවියට හා අසල්වැසියන්ට පමණක් නොව, දේශපාලන ක්ෂේත්‍රයේ සිටින විවිධ පක්ෂවලට අයත්, දේශපාලනඥයන්ටද මා ලියන තීරු ලිපියට අයිතිවාසිකම් කිව හැකිය. ඊට හේතුව, බොහෝ දිනවල මගේ ලිපියට තේමාව සපයන්නේ ඔවුන් බැවිනි.

හීසරයට තවත් අයිතිකාරයන් ඇත. මෙය ලියන මෙන් ඇරුයුම් කළ දේශය කතුවරයාද සම්බන්ධීකරණ කටයුතු කරන එහි කර්තෘ මාණ්ඩලික මිතුරෝද ඒ අතර වෙති.

එපමණක් නොව වාසිබෝලන්තය ඇතුළු විදේශයන්හි සිට මා අමතන විවිධ තොරතුරුවලින් මා දැනුවත් කරන මාධ්‍ය මිතුරෝද මේ තීරුවේ හවුල්කරුවෝ වෙති.

මගේ ගෞරවය හිමිවිය යුතු තවත් කීප දෙනෙක් මගේ මතකයට නැගෙයි. ඒ මීට පෙර මා සම්බන්ධව සිටි පුවත්පත්වලදී මට තීරු ලිපි ලියන්නට ඇරුයුම් කළ කතුවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ය. ඔවුන්ගෙන් ලද උපදෙස් මට බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

එකල මා ලියූ ඇතැම් තීරු ලිපි ජනප්‍රිය වෙද්දී, ඒවා අතරමග නවතා දැමීමට උගුල් ඇදි, මිතුරන්ද සිටි බව පසුව මට දැනගන්නට ලැබුණි. ඒ කිසිවකු සමඟ මගේ කහටක් නැත. මා මිතුරන් මිස සතුරන් නැති මිනිසකු බව දන්නෝ දනිති.

ඒ පරණ කතා දැන් අනවශ්‍යය. එහෙත්, අපට අතීතය ආවර්ජනය කිරීමෙහිලා සුදුසු අවස්ථාද ජීවිතයේදී හමුවේ. පුවත්පත් කලාව තුළ වරින් වර, යමින් එමින් හෝ, හතළිස් වසකට ආසන්න කාලයක් ගත කළ මට මෙයද එසේ ආවර්ජනය කළ හැකි ආස්වාදනීය මොහොතකි.

එසේම, මගේ මිතුරන්ද පවසන අන්දමට, මෙය මටම හිමිකම් කිවහැකි සම්මානයක් නොවේය යන මතයට ගරු කරමින් පාඨක හිතවතුන්ද ඇතුළු සැම සමඟ බෙදාහදා ගන්නට කැමැත්තෙමි. 

සම්මානයට පින්සිදුවන්නට (සංවිධායකයන්ටත් ස්තූතියි) තවත් %කොලමක්^ ලියා ගතිමි. ලබන සතියේ කුමක් ලියම්ද?

කාගෙන් හෝ කොතැනින් හෝ අදහසක් මවෙත පියාඹා එනු ඇත. ඉන්පසු එය මගේ දුන්නට තබා හීසරයක් සේ ඔබ වෙත එවමි.

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00