2022 මාර්තු 20 වන ඉරිදා

ඊට කලින් හොයාගනිං උඹ කවුද කියලා

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 259

ඔව්... මං හයියෙන් ඇඬුවා. ඒ කඳුළු ඇස් පුරවගෙන ඔහේ පහළට ගලා ගියා. සිත දැවුණා මම නොදත් වේදනාවකින් හරියටම ලෝකෙන්ම මාව අතෑරුනා වගේ වේදනාවක් ආවේ. සමහරවිට ආදරේ කියන්නේ මේ වගේ දෙයක් වෙන්න ඇති. ඒත්... මං අර්වින්ද් ස්වාමිට ආදරේ කළායැ...

''ඔය හැටි උද්දච්ච වෙන්න එපා අදාරතී.... උඹ එයාට ආදරෙයි තමයි...''

මගේ හිත කීපසැරයක්ම ඒ විදියට මටම දැනෙන්න කියනවා ඇහුනා. මිනර්වා කොටේජ් එක තුළත් මහ පාළුවක් තිබුණා. මගේ කාමරේ හැමතැනකම මම විසින්ම තියලා තිබුණු මතක වස්තූන් මං දිහා බලාන හිටියා දුකෙන් වගේ... මං ආසා කළා පුංචි කාලේ ඉඳන්ම කුඩා කුඩා බෝනික්කෝ පුංචි සතුන්ගේ අනුරූ සිප්පි කටු බෙල්ලෝ.... පාට පාට රේන්ද ජාති එහෙම එකතු කරන්න... ඒ හැම දෙයක්ම මට පේන්න හැමතැනකම තියාගන්නයි මට ඕන වුණේ... උදේට නැගිටින කොටත් රෑට නිදාගන්නකොටත් මගේ ඒ අපූරු කුඩා සෙල්ලම් බඩු මගේ මිත්‍රයන් විදියට මං එක්ක හිනා වුණා... නින්දට ඇස් පියවෙනකං ඒ අය මාව අතෑරලා එයාලගේ වැඩක් බලාගත්තේ නෑ. ඉතින් ඒ අයත් අද දුකෙන්... මං ආසම කරන පුංචි බෝනිකි පැටියව අතට අරන් හොලවපුවාම එයා ඇස් එහාට මෙහාට හොලවලා ටිලිං ටිලිං සද්දෙකුත් නිකුත් කළා... කඳුළු තවදුරටත් වියැලුනේ නෑ. මට ඇහෙන්න ගත්තා අහංකාර නිල් ඇස් කණ්නාඩිකාරයා අවසානෙට කියපු වචන.

''කැරොලිනාට දෙයක් දෙනව නම් ඒක මං අරන් දෙන්නම්. ලුසේන් මේක දුන්නේ ඔයාට දෙන්න කියලා. ඒ නිසා මේක ගන්න.''

මට දැනුණා මහ අසරණකමක්. ඒක ඇතුළේ තිබුණේ මහ විශාල ලැජ්ජාවක් කියලයි මට හිතුණේ. නැවතත් මම ඒ නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවට රැවටුණා. නෑ... එයා මාව රුවැට්ටුවා. හොඳයි මං එයාට කරන්නම්කෝ දෙකක්... මං නැගිටලා මගේ කබල් ජනේලේ ළඟට ගියා... අපූරු හුළඟකුයි කළපුව පැත්තෙනුත් මුහුද පැත්තෙනුත් ආවේ... කළපුවයි මුහුදයි මිනර්වා කොටේජ් එක දෙපසිනුයි තිබුණේ... හරියට දෙන්නෙක් විසින් ආදරේ කරන එක තරුණියක් වගේ මිනර්වා කොටේජ් එක. ඒ දෙපසින් එන සුළඟ දරාගෙන හිටියා. හැම උදේකම හැම දවාලකම හැම රූකම ඒ සුළඟ දෙපසින් ඇවිත් මිනර්වා කොටේජ් එක සිපගෙන නගරය දිහාට ඇහුණා... මට මතකයි මං පුංචිම කාලේ තක්කි මං අහපු ප්‍රශ්නෙකට උත්තර දුන් හැටි....

''ආච්චි?''
''හ්ම්...''
''ඔය ලොකුවට ලොකුවට සද්දෙකුත් දමාගෙන ඔය හුළඟක් එන්නේ කොයින්ද?''
''මුහුදෙන්...''
''ඔච්චරම ගොඩක්... මේ මහ මැයි ගහ පවා හොලවගෙන...''
''කළපුවෙනුත් එනවා...''
''ඒ කියන්නේ මුහුදෙනුයි කළපුවෙනුයි..''
''හ්ම්... අපේ මිනර්වා කොටේජ් එක දෙපැත්තෙන්නේ ඉතින් ඔය දෙක තියෙන්නේ... දෙපැත්තෙන්ම එන හුළංවලින් හරි කරදරයි...''
''කාටද?''
''කාටවත් නෙවෙයි අපේ මිනර්වා කොටේජ් එකට... අපේ ගෙදරට...''
''ඇයි කරදරයි කියන්නේ ආච්චි...''
''ඔය පේන්නේ නැතිද කරලා තියෙන විනාසේ... ජනෙල් සරණේරු දිරලා, දොරවල් කඩාවැටිලා... බිත්ති තුවාල වෙලා. අර උඩ තට්ටුවට ගහල තියෙන වඩිම්බුවල ඇණ ගැලවිලා... උඩට නගින පඩිපෙළත් දැන් දැන් අබලන්නේ.''
''ඉතින් ඒකට මොකද කරන්නේ ආච්චි...''
''මොනව කරන්නද... කැඩෙන ගානේ හදන්න ඕන මිසක්.''
''ඉතින් හදමුකෝ...''
''කෝ හදන්න සල්ලි? උඹලයි තාත්තට උගන්නන්න වියදම් කරපු සල්ලි අපරාදේ... ඉගෙනගෙන ලොකු රස්සාවක් කළා නම්. අද මිනර්වා කොටේජ් එක තමයි මේ නගරෙට තියෙන පරණම ලස්සනම වටිනාම ගෙදර වෙන්නේ. කොහෙද රෝමියෝට ඕන වුණේ නාට්ටිකාරයෙක් වෙන්නනේ.... ඒකෙන් වුණේ හැමදාමත් දුප්පතෙක් විදිහට කල් ගෙවන්න.''
''අපි දුප්පත්ද ආච්චි...''
''හ්ම්... අපි දුප්පත්.''
''අපිට මූදවත් කළපුවවත් දෙයක් දුන්නේ නැතිද ආච්චි?''
''මොකක්?''
''නෑ ඉතින් හුළඟ එවලා... තියෙන දේවල් කඩා බිඳ දාපු එකේ එයා දැනගන්න එපැයි අඩුම තරමේ ඒ හුළඟ දිගේ වාසනාවවත් එවන්න...''
''වාසනාව නම් එව්වා...''
''ආච්චි?''
''හ්ම්... වාසනාව එව්වා. වැල්ලේ අතරමං කරලා ගිය කුඩා දරුවෙක් විදියට...''
''හ්ම්... හ්ම්... මට වැඩ තියෙනවා. උඹත් ගිහින් පොතක් පතක් බලාගනින්. මගේ හිස තෝන්තු උනාම මං කියන නොකියන එව්වා ඒ හැටි හිතට ගන්නේ නැතිව.''

එදා දවසමත් මං කල්පනා කළේ... මිනර්වා කොටේජ් එකට දෙපසින් එන සුළඟ ගැන. සුළඟ ගෙනාවයි කියන වාසනාව ගැන. ඒ විතරක් නෙවෙයි මොනවම හරි කියලා ඊළඟට ඒක කිව්වේ හිතේ තෝන්තුවාවෙන් කියන තක්කි ගැන... අදත් ඒ වගේම මං කල්පනා කරනවා ඇයි නිල් ඇස් කණ්නාඩිකාරයා මෙච්චර අහංකාර. ඇයි එයා මාව මේ තරම් විහිලුවකට අරන් තියෙන්නේ. ඇයි ඒ අය මට තෑගි ගේන්නේ.... අනික මට තෑගි එවන්න ලුසේන්ට කොහෙන්ද සල්ලි?

''අදාරතී?''

ඔන්න ඒ ගමන ආච්චිත් කතා කරනවා. හොඳ වෙලාවට එයාට මං ඉන්න කාමරේට එන්න පඩිපෙළ නැගගන්න බැරිවුණේ.

''අදාරතී?''
''මේ එනවා...''
''මේ මොනවද මේ පෙට්ටියේ තියෙන්නේ. ඇයි මේක අර මිදුලේ දාලා... ඇරලා බලපං වටිනා යමක් නේද මේ... කවුද මේක මිදුලට ගෙනාවේ.''

ලුසේන් දුන්නයි කියන කරාබු දෙක රැගත් පෙට්ටිය. ඊළඟට තක්කි අතේ තිබුණා. මං බොහොම මලානිකව පඩිපෙළ බැස්සා. අලුත් දෙයක් හොයාගත්තු මහාචාර්යවරයෙක් වගේ සැකසහිත මූණකින් තක්කි බලා හිටියා... මට ඕන වුණේ නෑ ඒක දුන්නේ කවුද? මගේ ළඟට ගෙනාවේ කවුද කියන එක තවදුරටත් සඟවන්න. මං ආච්චිට සම්පූර්ණ විස්තරේ කිව්වා.

''ඉතින් බං කවුරු වුණත් තෑග්ගකට දීලා තියෙන්නේ. ඇයි ඉතින් ඒක නොගෙන විසිකළේ?''
''හරි කතාවක්නේ ආච්චි කියන්නේ... අපි මොකටද ඔය හැටි අනුන් දෙන දේවල් ගන්නේ ලැජ්ජා නැතිද අපට....''
''මේක දීලා එවලා තියෙන්නේ අර ලුසේන් ළමයයි කියලා ඉංජිනේරු මහත්තයා කිව්වනේ... ඉතින් තව මොකක්ද ඒක ගන්න තියෙන අමුතු ලැජ්ජාව. අපි ඒ ළමයින්ව හොඳට අඳුරනවනේ...''
''අනේ හැබෑට ආච්චි හොඳයි.... මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්ඩකෝ. මොකක්ද ඒ අයට තියෙන උවමනාව අපිට මේ හැටි තෑගි දෙන්ඩ.''
''අපිට දුන්නේ නෑනේ... උඹටනේ දුන්නේ?''
''අයියෝ... මං කියන එක තේරුම් ගන්ඩකෝ ආච්චි. මට උනත් ඇයි එයාලා තෑගි දෙන්නේ.''
''පෙරෙයිදා පළමුදා උඹේ උපන්දිනේ තිබුණනේ. ඒ නිසා වෙන්න ඇති. අනික් අය ඒක මේක දුන්නට ලුසේන් ළමයා මොකුත් දුන්නේ නෑනේ... අනික එයා ටිකක් අසනීප ගතියකින්නේ හිටියේ.''
''මං අහන්නේ ඒක නෙවෙයි මගේ ආච්චි. ඇයි එයාලට මාව මේ තරම් විශේෂ...? අනික් ලුසේන් කියන්නේ නිකම්ම නිකං රස්සාවක් නැතිව නළුවෙන් වෙන්න කියලා අපේ ගෙදරට ආපු ගියපු ආච්චිගේ කඩේට ගොඩක් උදව් කරපු කෙනෙක්. එයා

කොහොමද අර තරම් දෙයක් ඉංජිනේරුවා අතේ දීලා එවන්න තරම් ඉංජිනේරුවා එක්ක හිතවත් උනේ?''

''ඒක ඒ අයගෙන්ම අහපං...''
''ඔව්. කෝ දෙන්ඩ ඕක. මං මේක දැන්ම ගිහින් දෙනවා ලුසේන්ට. එයාට මං කියනවා ඇඟිල්ලේ තරමට ඉදිමෙන්ඩ කියලා. මට තෑගි එවන්ඩ එයා කවුද?''
මං ඒක තරහකින් කිව්වේ. තරහ කිව්වට ආච්චි ඉදිරියේ තව ටිකක් මවාගෙන වැඩි කරගත්තු තරහකින්.
''එයා කවුද කියලා හොයාගන්ඩ කලින් උඹ කවුද කියලා හොයාගෙන ඉඳපං. අනික ඔය ලැබෙන්ඩ අරන් තියෙන්නේ වෙන කාටවත් අයිති වෙන කාගෙවත් දේවල් නෙවෙයි. උඹටම අයිති උඹේම දේවල්.''
''ආච්චි...?''

මං හිතන්නේ ආච්චිට ආයෙත් නොකියන්ඩ ඕන දෙයක් කියවුණා.... ඒ සැරෙත් ආච්චි මට කිව්වා...

''මගේ හිස තෝන්තුවාවෙන් වගේ කියන නොකියන ඒවා උඹ ඒ තරම් හිතට නොගෙන ඉඳපං අදාරතී...''

ලබන සතියට...