2022 මාර්තු 13 වන ඉරිදා

බොදු උරුමය පිළිබඳ පොත් දෙකක්

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 155

ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන ඉතිහාසයකට උරුමකම් කියන පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රාශියකි. ඒ අතර විජයාගමනයේ සිට ලාංකීය ඉතිහාසය සමඟ සම්බන්ධ ස්ථාන මෙන්ම අනුරාධපුර යුගයේ පටන් ඉදිකරන ලද බෞද්ධාගමික සිද්ධස්ථාන ප්‍රධානය. කාලයාගේ ඇවෑමෙන් විවිධ හේතු මත මින් ඇතැම් ස්ථාන විනාශයට පත්ව තිබෙන අතර තවත් ස්ථාන රැසක් තවමත් අප්‍රකටව පවතී. 

මෙබඳු පසුබිමක පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රකට මෙන්ම අප්‍රකට බෞද්ධ උරුමය පිළිබඳ ඇති උනන්දුව මත පුළුල් ගවේෂණයක් සිදු කළ හලාවත ශ්‍රී විජයාරාමවාසී තල්ගහවෙල සුමේධ හිමියන් විසින් පසුගියදා වැදගත් කෘති දෙකක් ප්‍රකාශයට පත් කරන ලදී. 

ඉන් පළමුවැන්න ‘පුත්තලම් දිසාවේ ඓතිහාසික බොදු උරුමය සොයා’ නම් කෘතියයි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයකින් සමන්විත පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රකට මෙන්ම අප්‍රකට බෞද්ධ විහාර, දේවාල සහ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ මෙම කෘතියේ අන්තර්ගත වේ. 

එහිදී එක් එක් ප්‍රදේශයේ ග්‍රාම නාම ප්‍රභවය, සිද්ධස්ථාන හා බැඳුණු ජනප්‍රවාද, අභිලේඛන ආදී අංශ ආවරණය වන අන්දමට තොරතුරු පෙළගස්වා ඇත්තේ වැදගත් ඡායාරූප හැකි පමණ එක් කිරීමෙනි. සෑම විහාරයක්, දේවාලයක් සහ පුරාවිද්‍යා ස්ථානයක් පිළිබඳවම මූලික අදහසක් ඇතිකර ගැනීමට තරම් ප්‍රමාණවත් විස්තරයක් ඉදිරිපත් කිරීමට සුමේධ හිමියන් දරා තිබෙන උත්සාහය ප්‍රශංසනීය එකකි.

මෙම කෘතියෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉතිහාසය, දේව විශ්වාසය, ප්‍රාදේශීය ප්‍රභූවරු යනාදී අංශ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට ද සුමේධ හිමියන් අතපසු කොට නොමැත. 

එනයින් බලන කල තල්ගහවෙල සුමේධ හිමියන් සම්පාදනය කළ ‘පුත්තලම් දිසාවේ ඓතිහාසික බොදු උරුමය සොයා’ නම් කෘතිය පුත්තලම් දිස්ත්‍රික්කයේ බෞද්ධ උරුමය පිළිබඳ කෝෂ ග්‍රන්ථයක් වශයෙන් හැඳින්වීම වඩාත් සුදුසුය.

මුල් ගවේෂණයේදී ලත් විශේෂ තොරතුරු කිහිපයක් පාදක කොටගෙන සුමේධ හිමියන් රචනා කළ දෙවැනි කෘතිය ‘‘පුත්තලම් දිස්ත්‍රික්කයේ ටැම්පිට පිළිමගෙවල් සහ ටැම්පිට දේවාල’ නම් කෘතියයි. 

ටැම්පිට ගොඩනැගිලි, ලාංකීය ගෘහනිර්මාණ කලාව තුළ හමුවන සුවිශේෂී නිර්මාණයකි. අනුරාධපුර යුගයේ පටන් ටැම්පිට ගොඩනැගිලි ඉදි වූ අතර මහනුවර යුගයේදී එය වඩාත් ප්‍රචලිත වූ බව පෙනේ. තත් යුගයට අයත් ටැම්පිට විහාර සහ දේවාල පිළිබඳ පර් යේෂණ රැසක් සිදුව ඇති නමුත් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ටැම්පිට විහාර සහ දේවාල පිළිබඳ යොමුව ඇත්තේ අල්ප අවධානයකි. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ටැම්පිට විහාර සහ දේවාල දහඅටක් පිළිබඳ (විනාශ වී තිබෙන ටැම්පිට ගොඩනැගිලි ද ඇතුළුව) තොරතුරු සුමේධ හිමියන්ගේ කෘතියේ අන්තර්ගත වේ. එහිදී අදාළ සිද්ධස්ථානයට පිවිසෙන මාර්ගය, ඉතිහාසය, ටැම්පිට ගොඩනැගිල්ලේ තොරතුරු, කලා නිර්මාණ සහ සැලසුම යන අංශ ඔස්සේ තොරතුරු පෙළගස්වා තිබේ. 

අවසානයට එක්කර තිබෙන සාරාංශ වගුව මගින් කෘතියේ අන්තර්ගත ටැම්පිට විහාර සහ දේවාල පිළිබඳ ප්‍රමාණවත් අදහසක් පාඨකයන්ට ලබාදීමට කටයුතු කර තිබීම සුවිශේෂීතාවකි.

එනයින් බලන කල තල්ගහවෙල සුමේධ හිමියන් විසින් සම්පාදනය කළ ‘පුත්තලම් දිස්ත්‍රික්කයේ ටැම්පිට පිළිමගෙවල් සහ ටැම්පිට දේවාල’ නම් කෘතිය පුත්තලම් දිස්ත්‍රික්කයේ ටැම්පිට පිළිමගෙවල් සහ ටැම්පිට දේවාල පිළිබඳ අත්පොතකි.
සමස්තයක් වශයෙන් තල්ගහවෙල සුමේධ හිමියන් විසින් සම්පාදිත ඉහත සඳහන් කෘති ද්විත්වයම කාලීන අවශ්‍යතාවක් සපුරන, ඉදිරි පර් යේෂණ සඳහා මගපෙන්වන වැදගත් මූලාශ්‍රයකි. උන්වහන්සේගේ මෙම ව්‍යායාමය දකින විට සිහිපත් වන්නේ මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල හිමියන් විසින් සිදු කරන ලද සඳහනකි;

''සාමාන්‍යයෙන් මෙකල භික්ෂූහු ත්‍රිපිටකය, ව්‍යාකරණ, ඡන්දස් අලංකාර ගැන පමණක් නොව, අලුත් පත්‍ර, සඟරා සහ නවීන පොත්පත් කියවීමෙන් වර්තමාන ලෝකයේ නොයෙක් ජීවමාන ප්‍රශ්න ගැන, ජාත්‍යන්තර ප්‍රශ්න ගැන එක්තරා ඉගෙනීමක් ලබති.
මෙසේ ඉගෙනීම ලැබූ අතීතය ගැන දැනීමක් ඇති, වර්තමාන ප්‍රශ්න ගැන හැඟීමක් ඇති, උද්‍යෝගවත් භික්ෂුව රට ජාතිය ආගම පිරිහෙද්දී, දානයටත් පිරිතටත් පාංසුකූලයත් ජීවිතය කැපකොට පන්සලට වී නිකරුණේ දවස් ගෙවන්නට කැමැති නොවෙයි.''
දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර විද්‍යාර්ථියකු වශයෙන් අධ්‍යාපනය ලබන තල්ගහවෙල සුමේධ හිමියන් ගවේෂණය, පර්යේෂණය සහ ශාස්ත්‍රීය ලේඛනය සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය ශික්ෂණය තවදුරටත් වර්ධනය කරගනු ඇත. එහෙත් උන්වහන්සේ තබා තිබෙන ප්‍රථම පියවරම යෝධ පිම්මකි. 

සරු පසක වැඩෙන, අනාගතයේ ඵලදායී ගසකට රුකවරණය ලබාදිය යුත්තේ යම් සේ ද, තල්ගහවෙල සුමේධ හිමියන්ගේ ශාස්ත්‍රීය කටයුතු සඳහා අප සැමගේ සහයෝගය හිමිවිය යුත්තේ ද එහෙයිනි.

 හසිත චාමිකර ගුණසිංහ

කථිකාචාර්ය
ඉතිහාස අධ්‍යයන අංශය - කැලණිය විශ්වවිද්‍යාලය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00