2022 මාර්තු 06 වන ඉරිදා

ග්‍රහ යුද්ධයෙන් ජලවිපත් බහුලවෙයි!

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 177

2022 මාර්තු මස 2 වැනි බුධ දින රාත්‍රී 10 පසු වී විනාඩි 4ට බුධ ග්‍රහයාත් සෙනසුරු ග්‍රහයාත් අතර යුධ සංග්‍රාමයක් සිදුවේ. 2022 මාර්තු 6 වැනි ඉරු දින දොළහ පසුවී විනාඩි 44 සිකුරු ග්‍රහයාත් අඟහරු ග්‍රහයාත් අතර යුධ සංග්‍රාමයක් සහ 2022 මාර්තු 21 වන සඳු දින දවල් 11 පසුවී විනාඩි 38ට බුධ ග්‍රහයාත් ගුරු ග්‍රහයාත් අතර තවත් යුධ සංග්‍රාමයක්ද සිදුවනු ඇත. මාර්තු 2 හා මාර්තු 6 වන දිනවල යුධ සංග්‍රාමයන් සෙනසුරුට අයත් මකර රාශියෙන් මාර්තු 21 වනදා සිදුවන යුධ සංග්‍රාමය සෙනසුරුට අයත් කුම්භ රාශියේදී සිදුවන අතර ග්‍රහ යුධ සංග්‍රාම තුනම සෙනසුරුගේ රාශියක් තුළදී සිදුවීම විශේෂ වේ.

මෙම ග්‍රහ යුධ සංග්‍රාම හේතුවෙන් අප රටට ඇතිකරන බලපෑම පිළිබඳව විමසා බැලීමේදී පහත සඳහන් කරුණු අනාවරණය වෙයි.

ග්‍රහ මණ්ඩලයේ සිකුරු, බුධ, ගුරු සෙනසුරු පීඩා වෙමින් එකිනෙකා අභිබවා ගමන් කරමින් සිටියදී මෙම ග්‍රහයින්ගෙන් ඉතා අයහපත් වූ ග්‍රහ කිරණ අප රටට මෙන්ම ලෝකයේම රටවල්වලටද එල්ල වෙයි. මේ හේතුවෙන් ඉතා අශුභ වූ බලපෑම් ඉදිරි මාස තුනක් යනතුරුම ඇතිකරනු ඇත.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව තවදුරටත් ඉතා අසරණ තත්ත්වයට පත්වනු ඇත. රෝහල් බන්ධනාගාර ආශ්‍රිත අශුභ සිදුවීම්ද රෝහල් සේවකයින්ගේ අයහපත් ක්‍රියාවන්ද වැඩවර්ජනද සිදුවන අතර එයින් රෝගීන් ඉතා අසරණ වනු ඇත. බන්ධනාගාර රැඳවියන්ගේ ඉතා අයහපත් ලෙස හැසිරීම්ද කලහකාරී ක්‍රියාවන්ද වාර්තා වන සමයකි. රට තුළ ආර්ථික අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වැඩිවන අතර ජනතාව අතර වෙනත් ආකාරයක බෝවන රෝගයක්ද ව්‍යාප්ත වන්නාවූත් කාලයක් වේ. රාජ්‍ය පාලනය කරන අයටද එහි අනුගාමීන්ටද ඉතා අශුභවූත් මාරක හා සමාන අපල යෙදී ඇති අතර විදේශීය රටවලින් අප රටට අහිතකර වූ ක්‍රියාවන්ද එල්ල වන කාලයකි. කුඩා දරුවන්ට මෙන්ම කාන්තාවන්ට වයස්ගත වූවන්ටද වැඩි වැඩියෙන් මාරක අපල ගෙන දෙනවා ඇත. දියේ ගිලී මියයෑම්ද අධික කාලයක් බැවින් ගංගා මුහුදු වැව්වල දියනෑම් කිරීමේදී පරිස්සම් විය යුතුයි.

මීළඟට ඔබට

• මේෂ - ලැබීම්වලට බාධා

ඔබගේ සේවා ස්ථානය ආශ්‍රිතව අශුභ වූ සිදුවීම් ඇති වන්නාවූත් කාලයක් වන අතර තම හවුල්කරුවන් තමා සමඟ සිත් අමනාපකම්ද ඇති කරගන්නවා ඇත. ලැබීම් මාර්ගවලටද අවහිරතා ඇතිවනු ඇත. 

• වෘෂභ - කෙටි ගමන්

ආගමික කටයුතුවලට සහභාගි වනු ඇත. කෙටි ගමන්වලින් ඵල අත්වන අතර. භූමියෙන් මතුවන ලැබීමක් තිබුණද එයට බාධා ඇතිවනු ඇත. අන් අයට උදව් බලාගෙන උපකාර කිරීමෙන් ඵල නොලබන කාලයකි.

• මිථුන - කලකිරීම් වැඩියි

ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශ්වවලින් බාධා ඇතිකරනු ලබන කාලයකි. එපාවීම් කලකිරීම්වලටද පත්වනු ඇත. මිතුරන්ගෙන් තමාට ගැටලු ඇතිවනු ඇත. නොගැලපෙන අයද තමා සමඟ හිතවත්කම් ඇතිකරගනු ලබන කාලයකි.

• කටක - හදිසි තුවාල

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසි තුවාල පීඩා ඇතිවිය හැකි නිසා පරිස්සම් වන්න. යම් යම් කටයුතු තම උත්සාහ මත සාර්ථක කර ගැනීමටද හැකිවනු ඇත. 

• සිංහ - පවුලේ සමගියට බාධා

ඔබගේ කටයුතුවලට විවිධ වූ පාර්ශ්වවලින් බාධා ඇතිවනු ඇත.  පවුල් දිවියේද සමගියට බාධා ඇතිවනු ඇත. ඔබගේ සහකරුට හෝ සහකාරියට හදිසි ශරීර පීඩා ලෙඩ රෝග ඇතිවනු ඇත. 

• කන්‍යා - අලංකාරය ඉහළින්

නිතර සතුටින් සිටීමට උත්සාහ දරන කාලයක් වෙයි. නිවසේ අලංකාරයට විසිතුරු දේවල් මිලදී ගනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අය ඉගෙනීම් කටයුතුවලින් බැහැරව කටයුතු කරනු ඇත. දරුවන් ලැබීමට සිටින අය පරිස්සම්ද වන්න.

• තුලා - පපුවේ අමාරු

භූමිය ආශ්‍රිතව හදිසි ප්‍රශ්න මතුවිය හැකි කාලයක් වේ. අලුතින් රථවාහන ඉඩකඩම් මිලදී ගැනීම් නොකළ යුතුය. පපුව ආශ්‍රිතව හදිසි පීඩාවක්ද මතුවිය හැක.

• වෘශ්චික - තැති ගැනීම් වැඩියි

අන් අයගෙන් උදව් උපකාර නොලැබෙන කාලයක් වනු ඇත. සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවනු ඇත. යම් යම් හේතු නිසා තැති ගැනීම් බියට පත්වීම්ද සිදුවන කාලයකි.

• ධනු - උගුරේ අපහසුතා

 තැන්පත් ධනය වියදම් වී යන කාලයක්ද වනු ඇත. යම් යම් කටයුතු අතපසුවීම් වන අතර පවුල් දිවියේ සමගියටද බාධාවීම් මතුවේ. උගුරේ අපහසුතා ඇතිවේ. 

• මකර - විදේශ ගමන්

විශාල මුදල් ගනුදෙනුවලදී ඉතා පරිස්සම් විය යුතු වේ. දුර ගමන් විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ඨ වනු ඇත. ඇස් ආශ්‍රිත රෝගාබාධයක් ඇතිවනු ඇත.

• කුම්භ - ශරීර ශක්තිය හීන වේ

තම කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවනු ඇත. ඉතිරි කිරීමටද බාධා ඇතිවන අතර ශරීර ශක්තියටද අහිතකර වේ. විශාල අන්දමෙන් වියදම් කිරීම්වලින් වළකින්න.

• මීන - දේශපාලනයට හොඳ නැහැ

ඔබගේ හිතමිතුරන්ගෙන් ගැටලු ඇතිවන කාලයක් වන අතර ලැබීම් මාර්ගවලටද අවහිරතා ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත්ය. භූමියෙන් ලැබීමක් තිබුණද ඒ සඳහා බාධාවන් එල්ලවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00