2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

නැවත උපන් ගොවි හමුදාව

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 131

''සෑම කුඹුරකටම හමුදාවෙන් දමයි'' නැමැති පුවතක් සමඟ නිල ඇඳුමින් සැරසී ගොයම් කපන සෙබළ පිරිසක් ද දැක්වෙන ඡායාරූපයක් පළ වී තිබෙනු දුටු මා තුළ එක්වරම ඇතිවූයේ මවිතයක් නොව සතුටකි. කුඹුරුවල ඉතිරි වී සිටින කක්කුට්ටන්, ගොයම් මැස්සන්, නයි ගැරඬින් හා අවට ලඳු කැලෑවල වෙසෙන නරියන් ආදී සතුන් ද, කොකුන්, ගිරවුන් ආදී පක්ෂීන් ද ''මේ මොන නාඩගමක්දැ''යි අන්ද මන්ද වූවාට සැක නැතත්, මෑත ඉතිහාසය තුළත් මෙබඳු වගා සංග්‍රාමයන් සිදුකෙරී තිබුණි. එහෙත් අනෙක් යුද ජයග්‍රහණයන් මෙන් නොව, වගා සංග්‍රාමයන්ට නම් ජය සැමරුම් දින ඉතිරි නොවුණි. අන්තිමේට සිදු වූයේ ''ගහපු බෙරේකුත් නැත, බෙරේ පළුවකුත් නැතැයි කිව්වා'' වාගේ වැඩකි. ඒ සංග්‍රාමයන්ට නායකත්වය දුන්, ''උතුමාණන් වහන්සේ''ලා ද අද ජීවතුන් අතරත් නැත. කෙසේ වෙතත් මෙදා පාර ''මඩ සෝදාගත් කල සෙබළා රජකමටත් සුදුසුය.'' යනුවෙන් නොක්ස් කියමන අලුත් වීමටද ඉඩ ඇත. 

ජයවර්ධන ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ ඒ වගා සංග්‍රාමයේද අරමුණ හා ඉලක්ක ඉතා යහපත් විය. රටවැසියන්ට ආදර්ශයක් වනු පිණිස, උතුමාණන් ඇතුළු ඇමැති මණ්ඩලය ද, සරම් කෙටි හැඳගෙන මඩට බැස වප් මඟුල් කළහ. එම තරබාරු ගොවි ඇමැතියන්ගේ ඡායාරෑප පුවත්පත්වල මුල පිටුවේම පළකෙරුණේ පාඨක ජනයාට හොඳ උපහාස රසයක් ලබා දෙමිනි.

ජේ.ආර්. උතුමාණන් වහන්සේ (මෙම යෙදුම 'ඇත්ත' පත්තරේ නිර්මාණයකි), නෙළුම් කොළේ සඟවාගෙන ''සැන්ඩ්විච් ඇඹුල''ක් කෑ බවත් හැඳි ගෑරුප්පුවලින් කිරිබත් අනුභව කළ බවත්, පැතිරුණේ කුඩු කෑ විත්තිය සිහිපත් කරවමිනි.

මේ කාලේ කාබනික ගොවි මහතුන් උඩ අත්තේ නංවන්නාක් මෙන්, ඒ කාලේ ගොවි රජවරුන් තෝරා, ඔටුනු ද පැළඳවුණි. අනේ, ඒ එසේ දුසිම් ගණන් බිහිවූ ගොවි රජවරුන්ට පමණක් නොව, උනගේ පුත් කුමාරවරුන් ඇතුළු පසු පරම්පරාවට ද සිදුවූ දෙයක් දැනගන්නට නැත. පසු කාලයක සිරි ලංකාවේ උපන් ඇතැම් කුමාරවරුන් ඊශ්‍රායලයේ ගොවිපළවලද, මැදපෙරදිග වැලි කතරේ සත්ත්ව ගොවිපළවලද දහදිය වගුරන බව නම් රහසක් නොවේ.

එකල වගා සංග්‍රාමයට අද මෙන් සන්නද්ධ හමුදාව නොපිවිසි බැවින්, ගොවි හමුදාවක් ද බිහිවුණි. ඒ හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමක් ද තිබුණි. වප් මඟුලටත්, පැළ සිටුවීමටත්, මඩට බසින්නට යන තරබාරු ගොවියන් පෙරටුකොට ගමන් ගත්තේ එම ගොවි හමුදා 'බෑන්ඩ්' එකය.

''සංග්‍රාමයෙන්'' පසු ඒ 'බෑන්ඩ්' එකටද යන එන මං නැති විය. එහි සිටි බටනලා වාදකයකු වූ 'සිරි අයියා' (වෙනත් නමකි), ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයට රිංගා ගත්තේය.

අහිංසක ගැමියකු වූ සිරි අයියා කා අතරත් ජනප්‍රිය චරිතයක් විය. ඔහු නාට්‍ය සංගීත කණ්ඩායම්වලටද සහභාගි වූයෙන්, අපගේ ද සමීප මිතුරෙක් බවට පත්විය. සිරි අයියා සතුව රස කතා පෙට්ටගමක් තිබුණි. ඉන් අඩක්ම ගොවි හමුදා කතාය. එහෙත් ඒ කිසිදු කතාවක් අපට සම්පූර්ණයෙන්ම අසාගැනීමට නොහැකි වූයේ සිරි අයියාගේම පොඩි දුර්වලතාවක් නිසාය.

සිරි අයියා කතාවක් කීමට සැරසෙන්නෙ මෙසේය.

''මල්ලිලාට කියන්ඩ, අපි ගොවි හමුදාවේ 'බෑන්ඩ්' එකේ ඉන්න කාලෙ හරිම රසවත් ජීවිතයක් තමයි ගත කෙරුවෙ. හැමදාම උත්සව. අපිට යන යන තැන හොඳට සැලකිලි, සංග්‍රහ ලැබුණා. ඔන්න එක වතාවක් අපි ගියා, දඹුල්ලෙ වප් මඟුලකට. ජනාධිපතිතුමාගෙ ඉඳලා සේරම ලොකු ලොක්කො ඇවිල්ලා හිටියා.. ඉතින්, එදා කට්ටිය කුඹුරට බැස්සා විතරයි, මාර වැඩක් වුණා... (සිරි අයියා සිනාසෙන්නට පටන් ගනී. අපි කතාවේ ඉතිරි ටික බලාගෙන ඉන්නෙමු.) 

ඒක නම් මාර වැඩක්.. කියලා වැඩක් නෑ මල්ලි... (සිරි අයියා යළිත් සිනාසෙයි.)

''කියලා වැඩක් නෑ'' යැයි කියන සිරි අයියාගේ කතාව ද එතැනින්ම නවතී.

එකල පඬුවස්නුවර පැවති ''රජයේ වප් මඟුලක''ට පසුව 'ඇත්ත' කාරයා මුල පිටුවේම ඡායාරූපයක් පළ කර තිබුණි. එහි පහතින් මෙබඳු කැප්ෂනයක් ද විය.

''පඬුවස්නුවර පැවති වප් මඟුල් උළෙලට සහභාගි වූ ජනාධිපති, කෘෂිකර්ම ඇමැති, මී හරක් ඇතුළු පිරිස.''

එකල පක්ෂ, විපක්ෂ දෙපිරිසම මේ පත්තර විහිළුවලින් හාස්‍ය රසයක් ලැබුවා මිස, කිපුණේ නැත.

ඇතැම් දේශපාලනඥයන් ද කෘෂිකර්මයට බොහෝ කැමැතිය. දේශපාලනයෙන් විශ්‍රාම ගිය පසු ගමට ගොස් ගොවිතැනට බසින බව කියූ ජනාධිපතිවරු ද සිටියහ. එහෙත් කිසිවිටෙකත් එය යථාර්ථයක් නොවූයේ, දේශපාලනඥයන් විශ්‍රාම යාමේ සිරිතක් නැති බැවිනි.

කිසියම් නිල චාරිකාවක යෙදී සිටින අතර, ගොවිපොළකට ගොඩවැදී එහි තොරතුරු විමසා බැලීමද දේශපාලනඥයන්ගේ සිරිතකි.

මෑතකදී රුසියානු ජනපති ව්ලද්මීර් පුටින් ඇපල් වගා බිමකට ගියේය. එහි සිටි ගොවියා ඇමතූ පුටින්, ඔහුට තිබෙන ගැටලු විමසීය.

බඳුනකින් ලොකු ඇපල් ගෙඩියක් අතට ගත් ගොවියා, එය පුටින්ට දෙමින් මෙසේ කීය.

''මේක මගේ ගොවිපොළේ විතරක් හැදෙන, හුඟක් බර ඇපල් වර්ගයක්. ඒත්, වෙළෙඳපොළේ මට මේවට හොඳ මිලක් ලැබෙන්නෙ නෑ.''

ඇපල් ගෙඩිය උඩ දමා ඇල්ලූ පුටින් සිනාසුණේය.

''බර ඇපල් විකුණන්න බැරි නම්, යුක්රේනයට පහර දෙන්න යොදාගමු... සතුරාට ඇපල් ප්‍රහාරයක් එල්ල කරනවාට කවුරුවත් විරුද්ධ වෙන්නෙ නෑ.''

ගොවියා හැර, අනෙක් සියල්ලෝම හඬ නගා සිනාසුණහ. ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම වෙනුවට විහිළු සැපයීම රුසියාවේ පවා දේශපාලන සම්ප්‍රදායක් බව මෙයින් පෙනී යයි. (සැබෑ කතාවක් ඇසුරිනි.)

වාසිබෝලන්තයේ කෘෂිකර්ම ඇමැතිවරයා ද, නිල ගමනක යෙදී සිටියදී වෙල් යායක් අසල සිටින ගොවියකු දැක ඔහුට කතා කළේය.

''කොහොමද මේ පාර අස්වැන්න සරුද?''

''ගිය පාර තරම්වත් නෑ සර්.''

''ඒ මොකද? මම නියෝගයක් දුන්නනේ. මේ පාර අස්වැන්න වැඩි කළ යුතුයි කියලා.''

''නියෝගවලින් කොහොමද සර් අස්වනු වැඩිවෙන්නෙ? ඒකට ඕනෙ වතුරයි, පොහොරයි.''

I කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00