2022 ජනවාරි 29 වන සෙනසුරාදා

දුම්රිය අනතුරු, ගුවන් යානා කඩා වැටීම්

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 250

ග්‍රහ මණ්ඩලයේ ක්ෂණික බිහිසුණු විපත් ඇති කරන්නා වූ යුරේනස් ආපසු ගමන් නවතා සුපුරුදු ලෙස ගමන් කිරීම 2022 ජනවාරි මස 16 වැනි ඉරුදින සිට සිදු විය. ඒ අඟහරුට අයත් මෙම රාශියෙහි සිකුරුට අයත් බෙරණ නැකතේ ගමන් කරමින් සිටියදීය. මෙලෙස වක්‍ර ගමනින් මිදුණු යුරේනස් 2022 අගෝස්තු මස 23 වැනි කුජ දින දක්වා සුපුරුදු ගමනින් ගමන් කර නැවතත් සිකුරුට අයත් බෙරණ නැකතේදීම වක්‍රව ගමන් කරනු ඇත. යුරේනස් වක්‍ර ගමනින් මිදී ගමන් කරන මෙම වකවානුව තුළ අප රට කෙරහි අවධානය යොමු කිරීමේදී තැපැල් සන්නිවේදන අංශයේ සේවක සේවිකාවන්ට මෙන්ම දුම්රිය ගමනාගමන අංශවල සේවක සේවිකාවන්ට ඉතා අයහපත් වූ බලපෑම් ඇතිවෙයි. ඒ ආශ්‍රිතව සිදුවන වැඩ වර්ජන ක්‍රියාවන්ද සේවයෙන් සේවකයන් නෙරපා දැමීම්ද වාර්තා වනවා ඇත. දුම්රිය අනතුරු ගුවන් යානා සැහැල්ලු ගුවන් යානා අනතුරු කඩා වැටීම්ද මෙම වකවානුව තුළ වාර්තා වනු ඇත. 

විදුලිය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයන් රට තුළ පැන නගින අතර වැඩි වශයෙන් රටේ ජනතාවට අඳුරේ සිටීමට සිදුවීමත් ඒ හේතුවෙන් යම් යම් ව්‍යාපාරික ක්ෂේත්‍ර කඩාවැටීම්ද සිදුවන කාලයක් වනු ඇත. බුද්ධිමත් නව සොයාගැනීම් සිදුකරන ලද කාන්තාවන්ටද ක්‍රීඩා අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී මාධ්‍යවේදීන්ට වේදිනියන්ටද, වෛද්‍යවරියන්ටද මෙම කාලය ඉතා අශුභ වන අතර විදේශීය රටවලින්ද අප රටට යම් යම් අහිතකරවූත් බලපෑම්ද එල්ල කරන්නාවූත් කාලසීමාවක් වනු ඇත.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී මෙම කාලසීමාව තුළ රාජ්‍ය නායකයන්ට ඉතා අයහපත් වූ බලපෑම් ඇතිකරන අතර යම් යම් රාජ්‍යයන් අතර ගැටුම්කාරී තත්ත්වයන්ද මතුවනු ඇත. විශාල පිපිරීම් උස් ගොඩනැගිලි ආශ්‍රිතව බිහිසුණු විනාශ, බෝම්බ පිපිරීම්ද සිදුවන අතර විශාල ලෙස ජීවිත විනාශ වීම්ද වාර්තා වනවා ඇත. ත්‍රස්තවාදීන් අමානුෂික ලෙස සිදුකරන අපරාධ ක්‍රියාවන්ද වැඩිවන අතර ගංගා සහ මුහුදුවල ගමන් කරන යාත්‍රා ගිනි ගැනීම්ද විනාශ වීම්ද වාර්තා වන කාලයක්ද වේ.
මීළඟට ඔබට

• මේෂ - සතුරු පීඩා

ඔබගේ ශරීර ශක්තියට බාධාවීම් ඇතිවන අතර ඔබ කරන කටයුතුවලට සැඟවුණු සතුරු පීඩා ඇති වන කාලයක් වනු ඇත. උස් තැන්වල ගමන් කිරීමේදී ඉතා පරිස්සම් විය යුතුය. හවුල් කටයුතුද නොකළ යුතු කාලයක් වේ.

• වෘෂභ - ඇස් රෝග

විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අය කල්පනාකාරීව ගමන තමාට සුදුසුද යන වග හොඳින් තීරණය කර විදේශ ගතවිය යුතු කාලයක් වේ. ඇස්වල සහ ලේවල රෝග ඇතිවනවා ඇත.

• මිථුන - ලැබීම්වලට බාධා

දේශපාලන කටයුතුවල නිරත අයට අයහපත් වූ බලපෑම් ඇතිවන අතර තම හිත මිතුරන්ද තමා සමඟ අමනාපකම් ඇතිකර ගන්නා කාලයක් වේ. යම් යම් බාහිර හේතුමත ලැබීම් මාර්ගයන්වලට බාධා වීම්ද ඇතිවනවා ඇත.

• කටක - මත ගැටුම්

සේවා ස්ථානයේ අනිකුත් සේවකයන් සමඟ මත ගැටුම් ඇති කරන්නාවූත් වකවානුවක් බැවින් ඉතා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. රථවාහන පැදවීම් කිරීමේදී කල්පනාකාරීව ධාවනය කරන්න.

• සිංහ - විනෝද ගමන් එපා

කාර්මික ක්ෂේත්‍රයේ නිරත අයට තම කටයුතු කරගෙන යාමට හැකිවන මුත් හදිසි ශරීර පීඩාද ගෙන දෙන කාලයක් බැවින් පරිස්සම් විය යුතුයි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අය මිතුරන්ද සමග යම් යම් අනවශ්‍ය විනෝද ගමන් හා දියනෑම් සඳහා යාම් නොකළ යුතු කාලයක්ද වේ.

• කන්‍යා - ධනය වැය වැඩිවෙයි

මෙම වකවානුව තුළදී සෑම කටයුත්තකදීම ඉතා කල්පනාකාරී විය යුතුය. හදිසි අනතුරුවලින්ද ඉතා පරිස්සම් විය යුතු අතර අනවශ්‍ය ලෙස තම තැන්පත් ධනයද වියදම් වන කාලයක්ද වේ.

• තුලා - ව්‍යාපාර පරිස්සමෙන්

පවුල් දිවියේද සමගියට බාධාවීම්ද ඇති වන අතර තම කලාත්‍රයාට හදිසි රෝගාබාධ ඇති කරන්නාවූත් කාල වකවානුවක් වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත වන අය ඉතා පරිස්සම් විය යුතු කාලයකි.

• වෘශ්චික - සතුරු උපද්‍රව

ඔබට යම් යම් සතුරු උපද්‍රව ඇතිවන අතර විශේෂයෙන් කාර්මික ක්ෂේත්‍රයේද විදුලිය හා ගින්දර ආශ්‍රිතවද කටයුතු කරන අය තම ආරක්ෂාව පිළිබඳව කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක් වේ.

• ධනු - කෙටි ගමන්

දරුවන් ලැබීමට සිටින අය ඉතා පරිස්සම් විය යුතු කාලයක් වන අතර ඔබට අනවශ්‍ය කෙටිගමන් යෙදෙන කාලයක්ද වේ. පපුව ආශ්‍රිතව පීඩා ඇති අය පරිස්සම්ද විය යුතුයි.

• මකර - සිතේ ගැටලු

ඔබගේ සිතට යම් යම් ප්‍රශ්න අර්බුද ඇතිවන කාලයක් වේ. නිවාස ඉඩම් හදිසි තීරණ මත විකිණීම් නොකළ යුතු කාලයක් වේ. රථවාහන ධාවනයේදීද ඉතා කල්පනාකාරී විය යුතුයි.

• කුම්භ - නිර්මාණශීලී වේ

ඔබගේ නිර්මාණශීලී අදහස්වලට යහපත් වන මුත් කාර්මික අංශයේ නිරත අයට ඉතා අයහපත් වන කාලයක් වේ. සහෝදර සහෝදරියන් සමඟද මත ගැටුම් ඇතිවන කාලයක් වේ.

• මීන - මිතුරන්ගෙන් ප්‍රශ්න

පවුල් දිවියේ ප්‍රශ්න මතුවන කාලයක් වේ. තම තැන්පත් ධනයද වියදම් වී යනවා ඇත. මිතුරන්ගෙන්ද ගැටලු ඇතිවිය හැකි අතර ඇස්වල රෝග පීඩා ඇතිවනවා ඇත.

ජ්‍යොතිෂ නන්දන

ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂනායතනය
28 ඔලබොඩුව, ගෝනපල