2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ඉන්ඩියන් - ශ්‍රී ලංකන්

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 227

පසුගිය සතියේ මම, ඉන්දියාවේ සර්දාර් ගැන ලිවිමි. ඊට පෙර සතියේ, අපේ රොබින් ගැන ලිවිමි.

පසුව කල්පනා කරන විට, මේ දෙදෙනාම එක් අයකු දැයි සිතෙන තරමට සමානකම් පෙනී යයි. කොහොමටත්, අපි ද ඉන්දියාව නමැති මහා යෝධයාගේ ළඟම නෑයන් වන හෙයින්, ඒ සමානකම ගැන පුදුම වීමට ද දෙයක් නැත.

එංගලන්තයේ හෝටලයකට ගිය ශ්‍රී ලාංකිකයකු දුටු, එහි කළමනාකරු ඔහු පොලීසියට බාර දීමට සූදානම් විය.

''මොකක්ද ප්‍රශ්නෙ? මොකක්ද මං කරපු වැරුද්ද?''

''ගිය සතියෙ ඉන්ඩියන් එකෙක්, බිල නොගෙවා පැනලා ගියා.''

''ඉතින්, ඒකට මං මොනව කරන්ඩද.. මම ශ්‍රී ලංකන්.''

''ඉන්ඩියන්, ශ්‍රී ලංකන්.. වට්ස් ද ඩිෆරන්ස්...''

කළමනාකරු ගිගිරුවේය.

මේ දූපතේ සීමා පැන ගිය පසු, තත්ත්වය ඔන්න ඔහොමය.

                        ó      ó     ó     ó    ó

මේ ළඟදි දවසක, රොබින් තම නගරයේ පිහිටි එළවළු වෙළෙඳ සලකට ගියේය. ''500 ක් 100 යි'' මිල පුවරු මගහරිමින් ගිය ඔහු, ''250 ක් 60 යි'' පුවරුවක් අසල නැවතුණේය. එතැන තිබුණේ ඇඹරැල්ල ගෝනියකි.

''මොකද මුදලාලි ඇඹරුල්ලා මේ තරම් ගණන්?''

රොබින් ඇසුවේය.

''දැන් මොනවද ගණන් නැත්තෙ?''

''ඒකට, එක එක හේතු තියෙනවනෙ. ඇඹරැල්ලා ගණන් යන්නෙ මොකටද?''

''ඕවා අපි කඩන ඒවා නෙවෙයිනෙ.. අපි ගන්න ගාණට වඩා පොඩි ගාණක් තියාගෙන විකුණනවා.''

''කවුරු කැඩුවත්, ඇඹරුල්ලා ගස් නගින්ඩ ඩීසල් පෙට්‍රල් ගහනවයැ... අනික ඇඹරුල්ල ගස්වලට රසායනික පොහොර දානවයැ..''

''ඇයි ට්‍රාන්ස්පෝට්.. කඩන මිනිස්සුන්ගෙ කුලී...''

මුදලාලි, රොබින් දෙස බලා සිටියේ, ''ගන්නවා නම් ගන්නවා, නැත්තම් යනවා'' කියන්නා සේය. රොබින්ට ද එය දැනුණේය. ඇඹරැල්ලා දෙසිය පනහක් ගෙන, එතැනින් නික්මුණේය.

ගෙදර ගොස් එළවළු මල්ල බැලූ විට, එතැන තිබුණේ ඇඹරැල්ලා ගෙඩි ගණන 6 කි. ගෙඩියක මිල රුපියල් දහයකි. එහෙත් ඒවා ද, ගෝනිය උඩ පෙනෙන්නට තිබූ ලොකු ගෙඩි නොවේ. යටට වෙන්නට සඟවා තිබූ පොඩි ගෙඩිය. රොබින් කෝපය යටපත් කර ගත්තේ, ඇඹරුල්ලාවල ඇති ගුණ සිහියට නගා ගනිමිනි.

තවත් දවසක රොබින්, පළතුරු කඩයකට ගියේය. ඔහු අඹ ගෙඩි කිහිපයක් ගැනීමට, ගණන් ඇසුවේය. අඹත් දැන් විකුණන්නේ කිලෝ ගණන්වලටය. එතන තිබුණේ, කර්තකොලොම්බුවල ගණන් ඇසූ රොබින්ට සිතුණේ, යාපනයටම ගොස් ගැනීම වඩා ලාබදායක විය හැකි බවය. අනුරාධපුරයෙන්, රාජංගණයෙන්, දඹුල්ලෙන් ගෙනැවිත් තිබූ අනෙක් අඹ ද, එළවළුවලටත් වඩා ගණන්ය.

රොබින්ට වෙළෙඳ ඇමැති සිහි වුණේය. (ඔහු පමණි) අඹ ගණන් ගැන ඔහුට දැන්වූයේ නම්, මෙබඳු පිළිතුරක් ලැබෙන්නට ඉඩ තිබුණි.

''මිහිඳු හාමුදුරුවො ලංකාවට ආපු කාලේ තිබුණු ගණන්වලට, දැන් අඹ ගන්න අමාරුයිනෙ.''

ළමයකු අසනීප වූ විට, ගෙදර තිබෙන රත්තරන් බඩු උකස් කිරීම, සිරි ලංකාවේ රන් සංචිත විකිණීමට සැසඳීම වැනි (අන් කතා) අසන්නට ලැබෙන මේ, කලියුග/ අන් කාලේ, අඹ ගැන කවර කතාද?

මීට කලකට ඉහත නම්, සිරි ලංකාවේ මිනිසුන්ට කිලෝ ගණන්වලට නොව රුපියල් ගණන්වලට හෝ, අඹ මිලට ගැනීමේ අවශ්‍යතාවක් නොතිබුණි. අඹ ගසක් දෙකක් නොතිබූ වත්තක්, ඉඩමක් නොතිබූ තරම්ය. පාසල් ඇරී යන ළමයි, ගෙදර යාමටත් පෙර බඩ පුරවා ගත්තේ, මඟ දෙපස ඇති අඹ ගස්වලිනි.

කොහු අඹ, මල් අඹ, පොල් අඹ, මී අඹ, බෙටි අඹ, යනාදී වශයෙන් තිබූ අඹ වර්ග කොතරම්ද? ගෙවල් දොරවල් ඉදිවීම හා වෙනත් සංවර්ධන වැඩ කටයුතු නිසා, ගස් කොළං කපා දැමුණි. විදුලිබල හා දුරකථන රැහැන් ඇදීමේදී මඟ දෙපස තිබූ ගස් කපා දැමුණි. දැන් කාලේ, නිවෙසක් ඉදිරිපස අඹ ගසක් ඇත්තේ නම්, ඒ මිටි, බඩ් අඹ ගසක් පමණි. ඇඹරැල්ලා වැනි පළතුරු ගස්වලටද අත්වූයේ ඒ ආනිසංසයමය. අන්තිමේදී, පිටරටින් ගෙනා අඹ ද, පදික වේදිකාවේ ගොඩ ගැසුණි. කා ඉවත විසිකරන අඹ ඇටයත් මේ පොළවේ පැළ වෙයි. මේ රටේ තිබූ බොහෝ අඹ ගස් එසේ පැළවුණු ඒවාය.

ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් රචනා කළ,

''මොකටද මුත්තේ බිම හාරන්නේ..
අඹ ඇටයක් සිටුවන්නට හාරමි''

කව් පෙළ, ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් ගයනු ලැබ, ජනප්‍රිය ගීතයක් බවට පත්ව ඇත. ඒ ගීතයේ අග මෙසේ කියැවේ.

''පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අප කවුරුත් ලබනෙමු පල
අපගෙන් පසු එන අයටත් ඒ පල
ලැබෙනට සැලසුම අපගේ යුතුකම''

අඹ ගස් නැති අඹ ගස් හන්දි, කොස් ගස් නැති කොස් ගස් හන්දි සහ දෙල් ගස් නැති දෙල් ගස් දෙණි ද ඉතිරි වූ සිරි ලංකාවේ, අනාගතය වෙනුවෙන් ගස් හිටවන අත්තලා මුත්තලා ද නැත.

අපේ ''රොබින් සර්දාර්'' වැටකෙයියා පැළ කිහිපයක්, නිවෙසට ගෙන යනු දුටුවෙක් මෙසේ ඇසීය.

''වැටකෙයියා මොකටද රොබින්.. වෙරළෙ හිටවන්ඩද?''

''නෑ නෑ.. ඉස්සරහ වැටට හිටවන්ඩ... වැටකෙයියා ගාල් තිබුණු තැන්වලින් සුනාමිය ආවෙ නැතිලු.''

රොබින්ගේ මෙබඳු අනාගත සැලසුම් ගැන කියන විට, සර්දාර්ගේ තවත් කතාවක් මතකයට නැගෙයි.

මිතුරකු සමඟ අවන්හලකට ගොස් සිටි මොහොතක සර්දාර් ජී මෙසේ කීය.

''ඉන්දියාවට ලොකුම සේවයක් කළ නායකයා තමයි මොහොමඩ් අලි ජින්නා.''

''තමුසෙට ඔල්මාදෙද සර්දාර්... අලි ජින්නා කෙරුවෙ පකිස්ථානයක් හදාගත්තු එකනෙ.''

''ඒක තමයි.. පකිස්ථානය තියෙන නිසා තමයි, අපේ නායකයෝ හැමදාම ඡන්දෙ දිනන්නෙ. අපිත් හැමදාම ඡන්දෙ දෙන්නෙ පකිස්ථානය යටත් කරල තියාගන්ඩනෙ..''

''සෑම මත්පැන් වීදුරුවකින්ම, සැඟවුණු රහසක් හෙළි වේ'' යනු, පරම සත්‍යයකි.

♦ කපිල කුමාර කාලිංග