2022 ජනවාරි 08 වන සෙනසුරාදා

වට්ටක්කා බියර්: චියර්ස්!

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 290

''මේ දවස්වල පොළේ ලාබෙට ගන්න තියෙන එකම දේ වට්ටක්කා. ඔන්න ඒ පාර ඒකත් නැති කරන්නයි හදන්නෙ.''

ගිණුම් අංශයේ, මිසිස් ප්‍රේරා. මැසිවිලි නැගුවාය.

''ඇයි, ඇයි... වට්ටක්කාවලට මොකද වෙන්ඩ යන්නෙ? පොහොර කේස් එකමද?'' කවුදෝ ඇසීය.

''නෑ... නෑ.... වට්ටක්කාවලින් බියර් හදන්ඩ යනවලු.''

''වට් නොන්සන්ස්!'' තවකෙක් කීය.

අනුන්ට නොදී, තනිවම පානය කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ පාළුහේන මහතාද, කතාවට සම්බන්ධ වූයේය.

''වට්ටක්කා කියන්නෙ කල් තියාගන්න බැරි දෙයක්නෙ. ඉක්මනට නරක් වෙනවා. කුණු වෙනවා. එහෙව් එකේ ඒකෙන් බීර හැදුවම මොකද වෙන්නෙ. අඩු ගාණට බොන්නවත් පුළුවන්.''

කතාව දිග් ගැස්සුණේය. පහුගිය කාලේ, වට්ටක්කා විකුණා ගැනීමට නොහැකිව, වල් අලින්ට කෑමට කැලේ දැමූ බවද සමහරු සිහිපත් කළහ.

''අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී'' වැනි කුමරතුඟු වැකි පවා, සභාවට පිවිසුණි.

මා නිහඬව සිටියේ, සෑම මතයකම ගත යුත්තක්ද ඇත යන මතයට ගරු කරමිනි. අනෙක් අතට, සිරි ලංකාවේ ලොකු ලොක්කන් කරන කියන කතා ගැන කල්තියා කලබල විය යුතුද නැත. අදහස්, යෝජනා ඕනෑ තරම්ය. නැත්තේ ක්‍රියාත්මකවීම්ය.
කවුදෝ කියා තිබූ අන්දමට, කංසා රට පැටවීම ආරම්භ කර තිබුණේ නම්, ඩොලර් අර්බුදයක් ඇතිවන්නේ නැත. එයද, කංසා මතින් දුටු සිහිනයකැයි ඉවත දැමීමද සුදුසු නැත. වට්ටක්කා බීර පවා, රට පැටවිය හැකිය. එවිට අඩුම ගණනේ, වට්ටක්කා ගොවීන්ට හෝ සෞභාග්‍යය උදාවිය හැකිය.

අමෙරිකා, යුරෝපා රටවල බීර යනු ජනප්‍රිය පානයකි. ගැහැනු පිරිමි භේදයකින් තොරව, වතුර මෙන් පානය කරන්නකි. බීරවලින් තොර කෑම මේසයක් නැත. ඒ ඔවුන්ගේ සංස්කෘතියයි.

මගේ මිත්‍රයෙක්, කලකට ඉහත නයිජීරියාවේ රුකියාවකට ගියේය. ඉංජිනේරුවකු වූ ඔහුට, මුලින්ම සේවය කිරීමට සිදුවූයේ, දුෂ්කර පළාතකය. එහි ඔහුට ලැබුණු නිල නිවාසයේ ජල සම්පාදන කටයුතු නිමවී නොතිබුණෙන්, පිටතින් ජලය ලබාගැනීමට සිදුවිය. එහෙත් එය, මඩ පැහැති, පණුවන් පවා සිටින අපිරිසිදු ජලය බව දුටු අප මිත්‍රයාට ආපසු මව්බිමට ඒමට පවා සිතුණි. අවසානයේ විසඳුම වූයේ, ජලය වෙනුවට බීර පානය කිරීමය.

බීර සංස්කෘතිය ඇති රටවලින්, සිත මන්මත් කරවන රස කතා, උපහාස කතා ආදියද අසන්නට ලැබේ. ඒ අතුරින් මගේ සිත්ගත්, වැකි කිහිපයක් මෙසේ දක්වමි.

• දෙව්ලොව බීර නැති නිසා, මෙලොවදී හැකිතරම් ඉන් වැඩ ගත යුතුය.
• අවන්හලක දැන්වීමක්: බීර බෝතල් දෙකක මිල ගෙවා, එකක් ලබාගන්න. දෙවෙනි බෝතලය නොමිලේ!
• උත්සව ශාලාවක දැන්වීමක්: 

මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබටත් නැටිය හැකියි - බියර්
Trust me, you can dance. – Beer

මහ රැයක අවන්හලකට පිවිසුණු ඇටසැකිල්ලක්, බීර බෝතලයක් ඉල්ලා සිටියේය. අවන්හල් සේවකයා, ඔහුට බීර බෝතලයක් සමඟ බිම පිස දැමීමට කොස්සක් (Mop)ද දුන්නේය.
වට්ටක්කා ගැන කීමට ගොස්, බීරවල ගුණාගුණ කීමට යාම ගැන උදහස් නොවනු ඇත.

මේ දිනවල තැන නොතැන නොබලා කතා කිරීමෙන් පරිස්සම් විය යුතු බව කවුරුත් දන්නා දෙයකි. වට්ටක්කා ගැන වුණත් ඕනෑවට වඩා කතා හොඳ නැත. ඉංග්‍රීසියෙන් වට්ටක්කාවලට කියන්නේ Pumpkin ය. එය අගට %G^ අකුරක් එක් වුණොත්, වට්ටක්කාද රජ වෙයි. එහෙත්, ඉංග්‍රීසි වහරට අනුව ''පම්ප්කින්'' වදනින් ''පෙනුම ඇතත් මෝඩ'' යන අර්ථයක්ද දෙයි. 

අපේ ජනවහරට අනුව නම්, වට්ටක්කා යනු ස්ත්‍රීවාචී එළවළුවකි. බණ්ඩක්කා හා වට්ටක්කා යනු එළවළු අතරේ සිටින අක්කලාය. වට්ටක්කේ වගෙයි යනුවෙන්, මහත ගැහැනුන්ට විහිළු කරන බවද අපි දනිමු.

උඩ පල ගත්තත්, බිම පල ගත්තත් වට්ටක්කා යනු වට්ටක්කාමය. එසේ කියමින් රබන් ගැසුවත් වට්ටක්කා යනු පොළොවේ පය ගසා සිටින එළවළුවකි. වට්ටක්කා වැල හැදෙන්නේ බිම දිගේය. ගෙඩි හැදෙන්නේත් බිමය. වැලේ ගෙඩි, වැලට බර නැතයි කියන නමුදු වට්ටක්කා නම් වැලට බරය.

කුසගිනි හැදුණු තරුණයකු නිවසට ගොඩ වී කෑමට යමක් ඇත්දැයි සොයුරියගෙන් විමසූ සැටි හා ඊට ඇගෙන් ලද පිළිතුර ජන කවියක මෙසේ දැක්වෙයි.

කන්ට අද මක්කා
ලිපේ ඇත වට්ටක්කා
පොල් ටිකක් එක්කා
ලුණුත් ඉස හරි රහයි ''අක්කා''

අකලට පලගත් ගෙඩිය වගේ යැයි ප්‍රකට පිරුළක් ඇත. එහි විවිධ අරුත් ඇත. අකලට පල ගත් නිසා, සරු-නිසරු, සුබ-අසුබ ගුණ දෙකම එම පලයේ තිබිය හැකිය. කිසියම් අමුතු සිදුවීමක් ගැනද මෙය යෙදේ. කල-අකල කෙසේ වෙතත්, හරිහමං තැනක් නැතිව සිටි වට්ටක්කාවට නම් දැන්, හොඳ තැනක් ලැබී ඇත. නැගීම්, වැටීම් යනු ලෝක ස්වභාවයය.

දේශපාලන ක්ෂේත්‍රයද, ගොවිපළකට සමාන කළ හැකිය. එහිද, වට්ටක්කා, පුහුල්, ලබු වැනි තරබාරු ගෙඩි මෙන්ම, පතෝල, බණ්ඩක්කා වැනි සිහින්, සීතල එළවළුද වැඩේ. බිම හැදෙන ගෙඩි මෙන්ම, වැල යන අතට යන එළවළුද මැස්සේ හැදෙන එළවළුද දැකගත හැකිය. ඔය අතරේ කරවිලද ඇත.

ගොවිපල වටා මුරුංගා ගස් සිටවීම, සමහරුන්ගේ සිරිතකි. එහෙත් මුරුංගා ගස්වල නැගීම මෙන්ම, අතුවල හිඳ ගැනීමද අවදානම් සහිතය. මුරුංගා අතු ශක්තිමත් නැත. ඕනෑම මොහොතක කඩා වැටිය හැක. එදාට, බිම තිබෙන වට්ටක්කා පමණක් නොව. නිදිකුම්බා වැල්ද මෙසේ අසනු ඇත. 

''දැන් ෂැපද?''

එතෙක් අපි මෙසේ කියමු. ''වට්ටක්කා බියර්! චියර්ස්!''

♦ කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00