2022 ජනවාරි 01 වන සෙනසුරාදා

පිදුම - රොබින්ට

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 148

මේ අවුරුද්දේ, තීරු ලිපි එකතුවක් පළ කළොත් නරකද?

මගේ මිත්‍ර ප්‍රකාශකයෙක් ඇසුවේය. මා කිසිත් නොකියා සිටින විට ඔහු පොතට නමක්ද යෝජනා කළේය.

තීරු ලිපි සලාදය....

නෑ... තීරු ලිපි අච්චාරුව.

ඒ ඇසූ මිතුරාගේ මුහුණු ඇඹුල් විය. කතාවද වෙනත් අතකට හැරුණි.

දශක හතරක් පුරා, විවිධ පුවත්පත්වලට, කලින් කල නාමිකවද නිර්නාමිකවද මා ලියූ තීරු ලිපි සඳහා එම පුවත්පත්වල සේවය කළ සමහරු ප්‍රශංසා ලැබූ බවද දනිමි. එසේම ලියන්නා කවුදැයි නොකියා, එම ප්‍රශංසා නිහඬව බාරගෙන, තමන්ගේ සාක්කුවේ දමාගත් අය ගැනද දනිමි. ඔවුන්ද මගේ හොඳ මිතුරන්ය. එහෙයින් මම, යටි සිතින් සිනා සී, මිත්‍රත්වය රැක ගත්තෙමි.

මගේ තීරු ලිපි අතර හොඳ ඒවා මෙන්ම නරක ඒවාද ඇත. (එය සෑම තීරු ලිපි රචකයකුටම පොදු දෙයකි) එහෙයින් පොතක් වශයෙන් පළ කරනවා නම්, වඩා හොඳ ලිපි පමණක් තෝරා ගැනීම අවශ්‍යය. මට එය තනිව කළ නොහැකිය. අපේ රටේ ප්‍රකාශකයන් ළඟ සංස්කාරකවරුන් නැත. හොඳ සෝදුපත් බලන්නන් පවා දැන් විරල බැවින්, ඇතැම් ආයතනවල ඒ කාර්යය කරන්නේද ප්‍රකාශකයාම විසිනි.

තත්ත්වය මෙසේ හෙයින්, මගේ තීරු ලිපි එකතුවක් සැකසීමට, තවත් කාගේ හෝ සහායක් අවශ්‍යය. එහෙයින්, ඒ අච්චාරුව පැහෙන්නට තවත් කල් යා හැකිය.

කවදා හෝ දවසක, මෙම හී සරය තීරු ලිපි, පොතක් වශයෙන් පළවන්නේ නම්, මා එය පිරිනමන්නේ රොබින්ටය. (හී සරය දිගටම කියවන්නකුට නම් රොබින් අමුත්තකු නොවේ.) බොහෝ විට මගේ මේ තීරු ලිපියට පසුබිම් වන සිද්ධීන්, අදහස්, කරුණු කාරණා මට ලබාදෙන්නේ රොබින් බව පැවසීමට මැළි නොවෙමි.

රොබින්, පුවත්පත් කලාවේදියෙක් නොවේ. ඔහුගේ වෘත්තිය නාමය, කාර්යාල කාර්ය සහායකය. එහෙත්, මාධ්‍යවේදීන් යැයි කියාගන්නා, ඇතැමුන්ට වඩා නම්, රොබින්ට ඒ සඳහා සුදුසුකම් පළපුරුදුකම් ඇත.

මට රොබින් හමුවී ඇත්තේ එකම තැනකදී නොවේ. මා සම්බන්ධ වූ හැම ආයතනයකම රොබින් කෙනෙක්ද සිටියේය. ඒ සියලු රොබින්ලා සුපුරුදු ලෙසින්ම, මට හිතවත් වූහ. උපකාර කළහ. තොරතුරු සැපයූහ.

එක් ආයතනයක සිටියදී රොබින්ට ලොකු අකරතැබ්බයක් සිදුවිය. තරුණ වියේ පසුවූ ඔහු යතුරුපැදිවලට මහත් ආශාවක් දැක්වූයේය. එහෙත්, තමන්වම යතුරුපැදියක් ගැනීමේ හැකියාවක්ද ඔහුට නොවීය

එක් දිනක්, ආයතනය ඉදිරිපස නවතා තිබූ තම මිතුරකුගේ යතුරුපැදිය මත නැඟුණු රොබින්, එය පණ ගැන්වීය. එක්වරම, ආයතනයේ ඉදිරිපස වීදුරු කවුළුවක්ද බිඳිමින්, රොබින් එන්ටර් ද ඩ්‍රුගන් වූයේය!

තුවාල ලැබූ රොබින්ට සති කීපයක් රෝහල්ගතව සිටින්නට සිදුවිය. කෙසේ වෙතත්, මේ සිද්ධියෙන් ඔහුට වාසනාවක්ද උදාවිණි. රොබින්ගේ ආශාව ගැන දැනගත් අධ්‍යක්ෂ මණ්ඩලය, ඔහුට ආයතනයේ යතුරු පැදියක් ලබාදුන්හ. ඉන්පසු, එතෙක් කල් දුම්රියෙන් වැඩට ආ රොබින්, යතුරුපැදියෙන් එන්නට වූයෙන්, මට ලැබෙන නැවුම් පුවත්ද (දුම්රියේදී ඔහුට ලැබෙන තොරතුරු හා අත්දැකීම්) අහිමි විය.

රොබින්ගේ ඊළඟ වීර ක්‍රියාව වනු ඇත්තේ, මෝටර් රථයක්, කාර්යාලය තුළට පදවාගෙන යාම යැයි ඔහුගේ මිතුරෝ විහිළු කළහ. (මෝටර් රථයක් ලබා ගැනීමේ පහසු මාර්ගයක් වශයෙනි)

ඒ කෙසේ වෙතත්, යතුරු පැදිය ලැබීමෙන් පසු රොබින්ට වැඩ මෙන්ම නොවැඩද පැටවුණෙන්, ඔහුට තමන් උගුලක පැටලුණු බව වැටහුණි. දිනක් ඔහු මෙසේ කීය.

මේ කෙළියෙන් වුණේ, මගේ මාධ්‍ය නිදහස නැතිවුණු එක විතරයි.

එහෙත් රොබින්ලාගේ නිවසින් නම් දැනගන්නට ලැබුණේ වෙනදා සෙනසුරාදා ඉරිදා ගෙදර ඉන්නා මිනිහා, දැන් ඒ දිනවලත් උදෙන්ම යතුරුපැදියේ නැගී, රෝන්දේ යන බවකි. එසේ යන ඇතැම් දිනවල නිකට පපුවේ වදින තෙක් ‍සෙට් වුණු රොබින් ආපසු එන්නේ, ත්‍රීවීලරයකිනි. යාළුවෙක් ඒ පසුපසින් යතුරුපැදිය පදවාගෙන එයි.

අවසානයේදී රොබින්ට යතුරුපැදිය අහිමි වූයේද යහළුවෙකු විසින් එය අනතුරකට ලක් කිරීමෙන් පසුවය. එය ඇසූ, මානව සම්පත් අංශයේ මනුලාල්, රොබින්ට මෙසේ අවවාද කළේය.

අයිසේ, වාහනයක් කියන දේ, තමන්ගේ පවුල වගේම රුකබලා ගන්ඩ ඕනෙ. පිට එවුන්ට ගෙනියන්ඩ දුන්නොත්, ඊටපස්සෙ ඒකෙන් වැඩක් නෑ.

රොබින්, දුප්පතාගේ හිතවතෙකි. ඒ අතින් ඔහු රොබින් හුඩ් කෙනෙකි. ඔහු තනිව ජීවත්වීම ප්‍රිය නොකළ, සමාජශීලී පුද්ගලයෙකි. එහෙයින්, ඔහු රොබින්සන් කෘෘසෝ කෙනෙක්ද නොවේ.

සුළු සුළු ගැටුම් ඇතිවුවද, ඔහු තම බිරිඳ සමඟ ඉතා සාමකාමී ජීවිතයත් ගත කළේය. රොබින් පවසන අන්දමට, පවුලේ කටයුතු ගැන සැලසුම් කිරීම ඔහු බිරිඳට පැවරුවේය. එහෙත් අවසාන තීරණය ගැනීමේ අයිතිය, ඔහු සතු විය. ඒ මෙසේය. පවුල පවසන සෑම අදහසකටම, ඔව් එහෙම කරමු යැයි කියමින්, හිස සැලීමය.

රටේ දේශපාලන තත්ත්වයන් ගැන රොබින්ට තිබුණේ පුදුමාකාර දැනුමකි. ඒ අතින් ඔහු, ජාතික රහස් ඔත්තු සේවයට පවා සුදුස්සෙකි.

උදාහරණයක් වශයෙන් කිවහොත් මැතිවරණයක් ආසන්නයේදී, ජනතාව ඡන්දය දීමට යන්නේ, ජාතික ආක්ෂාව වෙනුවෙන්ද, සුළු ජාතීන්ගෙන් මහ ජාතිය බේරා ගැනීම උදෙසාද, ජීවන වියදම පහත දමා ගැනීම සඳහාද වැනි කාරණා ඔහු කල් තියා දැන සිටී.

කොවිඩ් 19 වෛරසය චීනයේ නිෂ්පාදනය කළ එකකැයි පැතිරුණු මතයට, රොබින් එකඟ නොවීය. 

ඒක නම් වෙන්ඩ බැරි දෙයක්. මේඩ් ඉන් චයිනා බඩු, පවතින්නේ ටික කාලයයි. කොවිඩ් කියන්නෙ, දිගුකල් පවතින ප්‍රඩක්ට් එකක්.

කාර්යාල වේලාව තුළ නිදාගන්නා ක්‍රම තුනක් ගැන රොබින් මට පවසා ඇත. 1. පුවත්පතක් බලන ආකාරයෙන් ඉන් මුහුණු වසාගෙන නිදීම 2. දුරකතන ඇමතුමකට සවන් දෙන ආකාරයෙන් ඇස් වසාගෙන නිදීම 3. අංශ ප්‍රධානියා සමඟ සම්මුතියකට පැමිණ සියල්ලෝම එකවර නිදා ගැනීම

රොබින්ට අනුව, දැනට සිරිලංකාවේ දේශපාලනයේ ක්‍රියාත්මක වන්නේ තෙවැනියට දැක්වූ ක්‍රමයයි.

 කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00