2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

කවි-ගී මං දිගේ ඇවිදිද්දී ඔබ හමුවුණේ...

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 200

කවිය ඔබ... එහෙම හිතිලා තියෙනවද කා ගැන හරි ඔබට... ආදරය කියන්නේ ජීවිතයේ හුස්ම කියලා හිතෙන තරම් හිත නැවතෙන තැනකදි ඒ ආදරයත් කවියක් වගේ දැනෙන තැන්, හැඟෙන තැන් නැතුවාම නෙවෙයි නේද? ඒ තරමට ඔව් ඒ තරම්ම මනරම් නොවෙද කවියත්.. ආදරණීය නොවෙයිද කවියත්... මට හිතෙන්නේ එහෙම. පිරිමැද පිරිසිඳ ඉසියුම්ම සිතුවිල්ලකින් ආදරය ජීවිතය ලෝකය සුසංයෝජිත පද වියමන කවිය විදිහට අරුත් ගන්වන්න මම කැමතියි. ඇත්තටම කවියට කවිකමට මම ආදරෙයි... මගේ පපුවට.. මගේ හදගැස්මට කවිය හරි ළඟයි... ඒ ළංවීම තුළම මම කවියට පුදුමාකාර තරම් ළෙන්ගතුයි.. ඒ හින්දම කාලයක් පුරාම කවි දහයට ගී දහයක් ළඟ මගේ හිත නැවතුණා. කවිය ගැන ඒ තරම් ආදරයක් ලියලූ මගේ හදවතේ ගීතය කියන්නේ ලෞකිකත්වය තුළ මම විඳින නිර්වාණයක්.. ඕවිල්ලක නැලවිල්ලේ මා සනසන සොඳුරුතම සංධ්වනියක්...

ඔව් සොඳුරුතම සංධ්වනියක්.. මම විශ්වාස කරන මම ආදරය කරන එකම දෙවියන් වහන්සේ මේ සොබාදහමයි.. ඒ සොබාදහම මවපු අපූර්වතම විශ්වීය යමක් වේ නම් මම ඒකට නමක් දෙන්නේ සංගීතය කියලා.. දන්නෙ නෑ මම ඊට වඩා වචන සංගීතය මගේ හදවතට දැනෙන හැටි ඔබට කියලා දෙන්න.. කලාවේ හුඟාක් ඉසව් ළඟ නැවතුණු මගේ හිත වඩාත් නිවන සොඳුරුතා ලෙස කවිය හා ගීතය හඳුන්වන්න මම කැමතියි.

කවි දහයක් අරන් ඇවිත් ඒ කවි දහයත් එක්ක ගී දහයක් ගලපන්නේ චරණ ටී.වී කවි දහයට ගී දහයක් අපූර්වතම රූපවාහිනී දිගහැරුම තුළයි. ඉකුත් දිනෙක පැවති 15 වැනි රෑපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී තුශාන්ත විදානගේ නිෂ්පාදනය කරන කවි දහයට ගී දහයක් වැඩසටහනට වසරේ ප්‍රශස්ත පූර්ව ප්‍රචාරක පටය සඳහා වූ සම්මානය හිමි වූ වග සටහන් වෙද්දී ඒ ඇගයීම මම හදවතින්ම පිළිගත්තෙ කවි දහයට ගී දහයක් හී මමත් ආදරණීය සහෘදයෙක් වෙන හින්දාමයි. වජිර ජයවර්ධනගේ ඉවසිලිවන්ත සංකථනයත් සැබැවින්ම අපූරු වග නොකියාම බැහැ. 

මැනවින් ඉඩ දී කතා කරන්න තමා අබිමුව හිඳින කවරෙකුට හෝ අවැසි තැන යෝග්‍යතම වචන සමුදාය මනාව සුසංයෝග කරමින් සුභාවිත සුභාෂිත සුලාලිත ලීලාවෙන් වජිර බස හසුරුවන'යුරු සැබැවින්ම පියකරුයි. මන්ද යත් ඉඩක් නොම දී අනෙකාට දෙඩවිල්ලේ කියවන බහුතර හිස් නිවේදක නිවේදිකා පරපුරකට ඔහුගේ ඉවසිලිවන්ත ශෛලිය සොඳුරු පිරිපුන් සංනිදර්ශනයක් වන නිසා...

කවිය ගැන ගීතය ගැන අනන්ත නිර්වචන අර්ථකථන ඔහේ තිබුණදෙන්. මට ඕනෑ කවිය ගීතය මගේ හදවතට දැනෙන හැටි ගැන කතා කරන්න. කවියට ගීතයට මගේ තියෙන ආදරය ගැන කතා කරන්න. කවිය ගැන ගීතය ගැන මගේ හදවතේ උපදින අර්ථකථනය දිගහරින්න.. මගේ නිර්වචනය ඔයාට කියන්න. 

මහ දිග කතාන්දරයක් සංක්ෂිප්ත වදන් වියමනකට පෙරමින්, පිරිපහදුකරණය කරමින් ශුද්ධ ලෙස පෙළගැස්වූ සොඳුරු සංක්ෂිප්තය තමයි කවිය හා ගීතය. කවිය කවි මං දිගේ වචන සමුදාය දිගුකර ගනිමින් යම් හෝ දිගුවක් ලෙස ඉදිරිපත් කළ හැකි නමුත් ගීතය කියන්නේ විනාඩි තුනක් හතරක් තුළ දිගහරින වින්දනයක් ලෙසයි මම දකින්නේ..

එහෙන් මෙහෙන් වචන ගැටගහලා ඕං මේං කියලා අතහරින, කන රිදවන, හිතට අනින ගී ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. නිර්මාණ ප්‍රශස්ත හෝ අවර ගණයේ යන වර්ගීකරණය තුළ නිර්දේශ කිරීම පුද්ගල රසඥතාව අනුව සාපේක්ෂ කරුණක්. ඔව් ඔයාට පුළුවන් එහෙම තර්ක කරන්න... රසය, වින්දනය, ආශක්ත බව පුද්ගල රසඥතාවේ වපසරිය තුළ වෙනස් විය හැකියි.

ඔව් ඒ තමා ඇත්ත... ඒත් මට ගීතය කියන්නේ නිර්වාණයක්... එක්තරා මනරම් මනෝමය භාවනාවක්... ඒ භාවනාව බිඳෙන තැන, ළතෙත් බවින්, ගීතවත් බවින් වියුක්ත තැන, රළු පරළු වචන, නාද, හඬ මුහුවෙන තැන මට ගීතය දැනෙන්නෙ නෑ... හදවතේ ඉසියුම්ම ගැඹුරුම තැන් නොපිරිමදින තැනක මට කවිය දැනෙන්නෙත් නෑ... මගේ හිත ඉල්ලන කවියත් ගීතයත් මගේ රහට මට දැනෙන තැනක් විදිහට මම කැමතියි කවි දහයට ගී දහයක් ගැන ලියන්න...

ජීවිතය කියන්නේ නිශ්චිතයක් නැති අවිනිශ්චිතයක්. ආවේ කොහේ ඉඳන්ද නොදන්න අපි යන්නෙ කොහාටද කියලා දන්නෙත් නැහැ.. ඒත් මේ සංසාර සුවිසැරිය තුළ ජීවිතයේ පාරවල් දිගේ වීදියෙන් වීදියට අපි ඇවිදිනවා... ඒ ඇවිදිල්ලෙදි දෙපතුලට දැනෙන ගිම් නිවන්න.. හමුවුණු සොඳුරුතම මිත්‍රයන් අතර කවියත් ගීතයත් මගේ සහෘදම මිතුරන් සේ මට දැනෙනවා.. මේ දිගහැරෙන්නේ මගේ ජීවිතය නේද.. මගේ සිතුවිලි නේද කියලා හිතෙන තැන් කවියත් ගීතයත් තුළ ඕනෑ තරම් ඔයාටත් හමුවෙලා ඇති. ඒ සහකම්පනභාවයට අපි හරි සංවේදීයි... මට හිතෙන්නේ කවියට ගීතයට හුඟාක් අය ආදරය කරන්නෙම ඒ හින්දා...

සතුට තියෙන්නේ ගමනේ කෙළවර නෙවෙයි. යන මඟ දෙපස.. කවිය, ගීතය, කලාව සාහිත්‍ය එක්ක අත්වැල් අල්ලාගෙන ඒ ගමන යන්න... වෙහෙසක් දැනෙන තැනක වුවත් ඒ වෙහෙසත් සොඳුරු සේ දැනෙයි ඔයාට...

► සංජු