2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

විද්‍යා ප්‍රබන්ධ පන්සීයක්වත් නොලියූ රටක් සම්මානය මට මහමෙරක් වටිනවා... - ජයරත්න ඉහළකොඩිප්පිලි

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 222

මෙවර රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ හොඳම විද්‍යා සාහිත්‍යයට හිමි සම සම්මානයක් දිනා ගත්තේ ජයරත්න ඉහළකොඩිප්පිලි ලියූ අඟහරු ප්‍රත්‍යන්ත දේශයෙන් විද්‍යා නවකතාවයි. පිටසක්වල ජීවිතයේ පැවැත්ම සහ අඟහරු වැසියෝ, ඉත්ති පුරයේ රාවණා, ඉස්තාන්බුල් හිම කුණාටුව ඇතුළු ග්‍රන්ථ රාශියක් ලියා ඇති ජයරත්න සම්මානිත කෘතිය ගැන දේශය සමඟ කළ සාකච්ඡාවකි. 

සම්මානයට ලක්වුණු (අඟහරු - ප‍්‍රත්‍යන්ත දේශය) ඔබේ විද්‍යා ප‍්‍රබන්ධය ගැන කිව්වොත්...

මෙම කෘතියේ අන්තර්ගතය ගැන සඳහන් කරනවා නම් කෙටියෙන් කිව හැක්කේ එය අඟහරු ග‍්‍රහලොව කරා මිනිසුන් රැගෙන යන පළමුවන අභ්‍යවකාශ යානයේ ගමන් කරන අභ්‍යවකාශගාමීන් ලබන අත්දැකීම් පිළිබඳව වූ කතා පුවතක් බවයි. මිනිසා සඳ ජයගැනීමෙන් අනතුරුව ඔහුගේ ඊළග ඉලක්කය වූයේ අඟහරු ග‍්‍රහයා බව අප හැමදෙනාම දන්නවා. එහෙත් ඒ ඉලක්කයට පහසුවෙන් ළඟාවෙන්න බැහැ. දැනට පවතින තාක්ෂණය යටතේ මෙම ග‍්‍රහයා වෙත යාමට මාස හයකට වඩා වැඩි කාලයක් ගතවෙනවා. එවැනි දීර්ඝ චාරිකාවක යෙදෙන අභ්‍යවකාශගාමීන්ට මුහුණදීමට සිදුවන විවිධ දුෂ්කරතා සහ අනතුරුදායක අවස්ථා පිළිබඳව මෙම කෘතියේ සාකච්ඡා කර තිබෙනවා. අඟහරු මත පා තැබීමෙන් අනතුරුව එහි මිනිසාට නිරුපද්‍රිතව ජීවත් විය හැකි කොලනියක් බිහිකිරීම ඔවුන් මුහුණ දෙන ඊළඟ අභියෝගය බවට පත්වෙනවා. එහෙත් ඔවුන් තුළ ඇතිවන මානසික ව්‍යාකූලතා සහ එකිනෙකා අතර ඇතිවන ගැටුම් සියලු අභියෝග ජයගැනීම සඳහා බාධකයන් බවට පත්වෙනවා. කෙසේ වෙතත් නිවැරදි නායකත්වය විචක්ෂණශීලීව තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවනු ලබනවා.

අපේ විද්‍යා ප‍්‍රබන්ධ වැඩිපුර කියවන්නේ පාසල් සිසුන් සහ තරුණ පිරිස බව පෙනෙනවා. විද්‍යා සාහිත්‍යය වැඩි දෙනෙක් අතරට ගොස් නැහැ නේද?

ඇත්තෙන්ම ඔබේ අදහසට මම එකඟ වෙනවා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. විද්‍යා ප‍්‍රබන්ධයක් කියන්නේ විද්‍යා පාඨ ග‍්‍රන්ථයක් නෙවෙයි. චරිතවලට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව රචකයාගේ සිතෙහි හටගන්නා මනෝභාවයන් වචනවලට පෙරළා ඉදිරිපත් කිරීමේදී පාඨකයා තුළද හැඟීම් දැන්වීමට ඔහු සමත් විය යුතුයි. ගැඹුරු විද්‍යා සංකල්ප ඉගැන්වීමට යාම හෝ සාමාන්‍ය භාවිතයේ නොමැති තාක්ෂණික වචන බහුලව යොදාගැනීම කතාවක් නීරස වීමට හේතු විය හැකියි. එවැන්නක් අමාරුවෙන් කියවූ අයෙකුට නැවත විද්‍යා ප‍්‍රබන්ධයක් අතට ගන්නට නොහිතෙන්න පු`ඵවන්. ඒ නිසා කතාව තුළ විද්‍යාව යොදාගැනීම ප‍්‍රවේශමෙන් කළ යුතු දෙයක්. මෙම කෘතිය රචනා කිරීමේදී එහි සඳහන් සියලු දත්තයන්, විද්‍යාත්මක තොරතුරු හා සංකල්ප සියල්ල නිවැරදිව ඉදිරිපත් කිරීමට මම උත්සාහ කළා. මිත්‍යා සංකල්ප හෝ මායාවන් යොදා ගත්තේම නැහැ. එහෙත් මෙය විද්‍යා පාඨ ග‍්‍රන්ථයක් බවට පත් නොකර කතා රසය හා හැඟීම් ඉස්මතු කළා. ඇත්තෙන්ම අද ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය වන්නේ විද්‍යා ප‍්‍රබන්ධ කෘති වුවත් ලංකාවේ එසේ නොවීමට හේතුව අනවශ්‍ය ලෙස ඒවා තුළ විද්‍යාව අන්තර්ගත කිරීමට උත්සුක වීම විය හැකි බවයි මගේ හැඟීම. එය ලංකාවේ සාමාන්‍ය පාඨකයාට අවබෝධ කරගත හැකි වන සේ ලියැවෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. වඩාත් ගැඹුරු සංකල්ප සාකච්ඡා කිරීම ක‍්‍රමයෙන් සිදුකළ හැකියි.

සම්මාන දීමේදී නිතරම අහන්න ලැබෙන්නේ ඇනුම් බැනුම් මෙවරත් කියවීමට අසීරු නවකතා, කෙටිකතාවලට සම්මාන ලැබුණු බව පැවසෙනවා. ඔබ ඒ ගැන හිතන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් සම්මාන ප‍්‍රදානෝත්සවයකින් පස්සේ එවැනි දේවල් අහන්න ලැබීම සුලභ දෙයක්. සමීක්ෂක මණ්ඩලයකට යොදා ගන්නේ ඒ ඒ අංශවලට අදාළ ප‍්‍රවීණයන්. එහෙත් මණ්ඩලයක සාමාජිකයන් සංඛ්‍යාව වැඩිවීම තුළින් වඩාත් සාධාරණ තීරණයකට එළඹිය හැකියි. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා කෘති තේරීමේ ක්‍රියාවලියේදී වට හතරක සමීක්ෂණ ක්‍රියාවලියක් මෙන්ම සිංහල අංශය සඳහා සමීක්ෂකයින් 84 දෙනෙක් යොදාගත් බව පැවසෙනවා.

සම්මාන ගැන කතා කිරීමේදී මා ලබපු අත්දැකීමක් සඳහන් කරන්න පුළුවන්. මාගේ පළමුවන නවකතාව එක්තරා ප‍්‍රකාශකයෙකු ළඟ වසරක් පමණ සමීක්ෂණය සඳහා භාර දී තිබුණා. අවසානයේදී එය මුද්‍රණයට නුසුදුසු බව පවසා ආපසු මා වෙත ලබා දුන්නා. එහෙත් එහි වචනයක්වත් වෙනස් නොකර මහාචාර්යවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත සමීක්ෂක මණ්ඩලයක් රණවිරු සුවඳ සාහිත්‍ය සම්මානය සඳහා එය නිර්දේශ කරනු ලැබුවා. 2003 වසරේ රණවිරු සුවඳ සාහිත්‍ය සම්මානය හිමි වූ මව්බිම අහිමිව නවකතාව ජනවාර්ගික අර්බුදය පිළිබඳව ලියැවුණු පළමුවන රණවිරු සාහිත්‍ය කෘතිය ලෙස රණවිරු සේවා අධිකාරිය විසින් නම්කිරීම මා ලද තවත් සම්මානයක් ලෙස මට හැඟෙනවා.  

ඔබ බොහෝවිට ලියන්නේ විදේශීය පසුබිමක් සහිත කෘති. ඒ වගේම අභිරහස් කතා. මේක මාකට් එක අල්ලාගන්න හිතාගෙන කරන වැඩක්ද?

මේ වනවිට මම පොත් හතළිහකට වඩා වැඩි ප‍්‍රමාණයක් ලියා ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම පොත්වලින් වැඩි ප‍්‍රමාණයක් විෂය නිර්දේශයට අනුකූල විද්‍යා පොත්. එමෙන්ම පිටසක්වළ ජීවයේ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන් උදෙසා කෘති කීපයක්ම ඉදිරිපත් කරනු ලැබුවා. සාමාන්‍යයෙන් මම ලෝකයේ නව ප‍්‍රවණතා පිළිබඳව නිරන්තර අවදියෙන් සිටිනවා. ඒ වගේම එකී දැනුම පාඨකයන් වෙත රැගෙන යන කෙනෙක්. තොරතුරු තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවදියේදී ඉගෙනුමට පරිගණක කෘතියත් (2006) නැනෝ තාක්ෂණය හඳුන්වා දීමේදී එහි භාවිත, ප‍්‍රවණතා සහ බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් නැනෝ ලෝකය කෘතියත් (2011) නවතම රොබෝ තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය හඳුන්වාදීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහ මානව පැවැත්ම යන කෘතියත් (2017) දී ප‍්‍රකාශයට පත්කළා.

කෙසේ වෙතත් මම විද්‍යා කෘතිවලට පමණක් සීමා වී සිටියේ නැහැ. විවිධ ශානරයන් ඔස්සේ නවකතා කීපයක් ලියා ප‍්‍රකාශයට පත් කළා. යුද්ධයේ අවසානයත් සමඟ මානුෂික මෙහෙයුම පදනම් කරගනිමින් උතුරු මුහුද නම් නවකතාව පළ කරනු ලැබුවා. ඉන්පසු 2018 වර්ෂයේදී ඔරෙලියා කැම්බල්ගේ පුනරුත්පත්තිය කෘතියත්, 2019 දී ඉත්තිපූරයේ රාවණ ඓතිහාසික ප‍්‍රබන්ධයත්, 2020 වර්ෂයේ දී ජෙසී ඔනෙයිදා අභිරහස් කතාමාලාවේ පළමුවැන්න වූ නයගරා නදියේ සැඟවුණු යුවතිය කෘතියත් ඉදිරිපත් කරනු ලැබුවා. එහි දෙවැන්න ඉස්තාන්බුල් හිමකුණාටුව මේ වර්ෂයේදී පළකරනු ලැබුවා. මා එක් ශානරයකට කොටු වී නොසිටින බව මෙයින් පෙනෙනවා.

ලෝකය විද්‍යාවෙන් ඉහළට යනවා. අපේ රටේත් ලෝක මට්ටමේ විද්‍යාඥයන් ඉන්නවා. නමුත් අපේ විද්‍යා සාහිත්‍යය දුප්පත්. ඒ සඳහා සම්මාන දෙන්නෙත් රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙදී පමණයි. ඒකට හේතුව ඔබ දකින්නේ කෙසේද?

ඔබ පවසන සියල්ල සත්‍යයි. මේ වනතුරු අපේ රටේ මුද්‍රණය වී ඇති විද්‍යා ප‍්‍රබන්ධ පොත් සංඛ්‍යාව පන්සියයකටත් වඩා අඩුයි. මගේ පළමුවන විද්‍යා ප‍්‍රබන්ධය හිරු නැති ලොවට ගිය ගමනක් 1999 වර්ෂයේදී සාර ප‍්‍රකාශනයක් ලෙස එළිදක්වනු ලැබුවා. මගේ දෙවැනි විද්‍යා ප‍්‍රබන්ධය ලියැවෙන්න වසර 20 කටත් වැඩි කාලයක් ගිහින්. සම්මාන කියන්නේ උත්ප්‍රෙරණයක්. තියෙන එකම සම්මාන උත්සවයෙදී වුවත් සමහර වර්ෂවලදී සම්මානය පිරිනැමීම සඳහා සුදුසු කෘති තිබිලා නැහැ. අද ලෝක සිනමාවේ හා ටෙලි කතාමාලාවල ඉහළින්ම වැජඹෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධ. විදේශීය ප‍්‍රබන්ධවලට නොදෙවෙනි ගුණාත්මක කෘති අපේ රටෙනුත් බිහිවිය යුතුයි. ඇත්තෙන්ම මේ වනවිට විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයින් බොහෝ දෙනෙක් බිහි වී සිටීම සතුටට කරුණක්. එය මේ ක්ෂේත‍්‍රයේ උන්නතියට අවශ්‍යම දෙයක්.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කිව්වොත්...?

ඇත්තෙන්ම අඟහරු - ප‍්‍රත්‍යන්ත දේශය කියැවූ පාඨකයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වූයේ එහි දෙවැනි කොටසක් ඉක්මනින්ම බලාපොරොත්තු වන බවයි. ඒ ඉල්ලීම ඉටු කිරීමේ කාර්යයෙහි දැන් මා නිරතව සිටිනවා. ඒ වගේම ඊට පෙර අමුතුම ආකාරයක යොවුන් නවකතාවක් ඔබ අතට පත්කිරීමට මා සූදානම් වෙනවා.

 කුසුම්සිරි