2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

සම්මානය කෘතියකට ගැම්මක් - දමිත නිපුණජිත්

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 147

දමිත නිපුණජිත් තරුණ පුවත්පත් කලාවේදියෙකි. විද්‍යා සාහිත්‍යයට ඉමහත් ඇල්මක් දක්වන ඔහු මෙයට පෙර රචිත විස්මිත සිහින දකින්නා හා කාලාවකාශයේ සිරකරුවා යන විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා සංග්‍රහ දෙකම වසරේ හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගැනීමට සමත් විය. ඔහුගේ කුළුදුල් නවකතාවත් විද්‍යා ප්‍රබන්ධයකි. (අවසන් අවදිකරන්නා) නම් එම කෘතිය පසුගියදා බොරලැස්ගමුව (අහස) ප්‍රකාශනයක් ලෙස නිකුත් කෙරිණි.

ඔබේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධ නවකතාව වන අවසන් අවදිකරන්නා ගැන අපට හඳුන්වා දුන්නොත්?

අවසන් අවදිකරන්නා කියන්නේ මගේ පළමු නවකතාවයි. මා මීට පෙර ලියූ කෘති විද්‍යා ප්‍රබන්ධ කෙටිකතායි. මෙයත් විද්‍යා ප්‍රබන්ධයක් නමුත් වෙනත් ක්ෂේත්‍ර ගණනාවක අංග ලක්ෂණත් එහි අඩු වැඩි වශයෙන් අඩංගුයි. එය පෘථිවිය පසුබිම් කරගත්, ලෝකයේ ඉතිහාසය පාදක කර ගනිමින් අනාගතය වෙත දිවෙන විද්‍යා ප්‍රබන්ධයක් ලෙස හැඳින්වීමට පුළුවන්.

මෙහි සඳහන් වෙනවා (පෙරදිග විද්‍යා ප්‍රබන්ධයක්) ලෙස. එසේ මේ කෘතිය හඳුන්වා ඇත්තේ ඇයි?

විද්‍යාව කියන්නේ ලෝකයේ පවතින යථා ස්වභාවය පිළිබඳ දැනුම. නමුත් අපි සාමාන්‍යයෙන් විද්‍යාව ලෙස හඳුන්වන්නේ බටහිර සංස්කෘතිය තුළ වර්ධනය වුණු බටහිර විද්‍යාවට. නමුත් එහි වපසරියට හසු නොවන ලෝකයේ යථා ස්වභාවය පිළිබඳ විශ්ලේෂණයක් පෙරදිග විද්‍යාව තුළ අඩංගුයි. උදාහරණයක් ලෙස මනසේ යාන්ත්‍රණය පිළිබඳව බටහිර විද්‍යාවට හසු නොවන පැහැදිලි කිරීමක් පෙරදිග විද්‍යාව තුළ තිබෙනවා. අප සාමාන්‍යයෙන් විද්‍යා ප්‍රබන්ධයක් ලෙස හඳුන්වන්නේ බටහිර විද්‍යාව පාදක කරගත් විද්‍යා ප්‍රබන්ධයි. අවසන් අවදිකරන්නා තුළ සාමාන්‍ය බටහිර විද්‍යා ප්‍රබන්ධයක සියලු ලක්ෂණ අඩංගුයි. ඊට අමතරව ඒ තුළට පෙරදිග විද්‍යාත්මක දැනුමද අවශෝෂණය කර ගෙන තිබෙනවා. කථාවේ හරය දිවයන්නේ ඒ ඔස්සේයි. මා මෙයට පෙරදිග විද්‍යා ප්‍රබන්ධයක් යන හඳුන්වා දීම කර ඇත්තේ ඒ බව පෙන්වාදීමටයි. නමුත් විද්‍යාව සම්බන්ධව ගත් කළ අවසානයේ අප යා යුත්තේ පෙරදිගද අපරදිගද යන්න නො සැලකෙන තැනකට බවයි මගේ විශ්වාසය. 

ලෝකය විද්‍යාවෙන් ඉහළට යනවා. අපි ඩිජිටල් යුගයක ජීවත් වෙනවා. නමුත් අපේ විද්‍යා ප්‍රබන්ධ කෘති කලාව නම් හරිම දුප්පත් නේද? ඒකට හේතුව කුමක්ද?

විද්‍යා ප්‍රබන්ධයක් කියන්නේ එක් අතකින් රටක විද්‍යාත්මක දියුණුවේ තරම මැන ගත හැකි මිනුම් දණ්ඩක්. අනෙක් අතින් රටක විද්‍යාත්මක දියුණුව ඉහළ දැමිය හැකි උත්ප්‍රේරකයක්. ලෝකයේ තාක්ෂණිකව දියුණු රටවල්වල විද්‍යා ප්‍රබන්ධ වැඩි වශයෙන් නිර්මාණය වන අතරම ඒ නිර්මාණ නිසා උත්තේජනය වන පුද්ගලයන් විසින් ඒ රටවල තාක්ෂණික දියුණුව නැවත බල ගන්වනවා. විද්‍යා ප්‍රබන්ධයේ මේ වැදගත්කම අපේ රටේ එතරම් හඳුනාගැනීමට ලක් නොවීම කණගාටුවට කාරණයක්. විද්‍යා ප්‍රබන්ධයකට කෙනෙකුට ඇති උනන්දුව ජනනය වන්නේ නව යොවුන් අවදියේ බවයි මගේ අදහස. තරගකාරී අධ්‍යාපන ක්‍රමය හරහා මේ වයස පසුකරන ළමුන්ගේ පරිකල්පන හැකියාව සහ රසවින්දනය මොට කර තැබීම අපේ රටේ විද්‍යා ප්‍රබන්ධ කලාව දුප්පත්වීමට හේතුවක් විය හැකියි.

විද්‍යා අධ්‍යාපනය ලද තරුණ පිරිස් නවකතාකරණයට පිවිස සිටිනවා. නමුත් ඔවුන් විද්‍යා ප්‍රබන්ධ ලිවීමට උනන්දු නැත්තේ ඇයි?

විද්‍යා අධ්‍යාපනය ලැබූ පමණින් සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් ලිවිය නොහැකියි. විද්‍යා අධ්‍යාපනය නොලැබූ කෙනෙකුට වුවත් සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් ලිවිය හැකියි. සාර්ථක විද්‍යා ප්‍රබන්ධ රචකයකු සතුව තිබිය යුතු ප්‍රධානම හැකියාව වන්නේ පරිකල්පනයයි. පරිකල්පනය යොදා ගනිමින් පෙර නොඇසූ විරූ කතාවක් ගොඩනංවන්නට හැකිනම් විද්‍යාත්මක දැනුම පිළිබඳ පර්ෙය්ෂණ කරමින් කතාව ගොඩනංවන්නට පුළුවන්. සාමාන්‍ය නවකතාකරණයේදී අප කරන්නේ බොහෝ විට මානව හැඟීම් සමඟ ගනුදෙනු කරමින් කතාවක් ගොඩ නැංවීමයි. නමුත් විද්‍යා ප්‍රබන්ධ වැනි ශානරයක්දී අප කරන්නේ පාඨකයාගේ බුද්ධිය සමග ගනුදෙනු කරමින් කතාවක් ගොඩ නැගීමයි. මෙය කෙනකුට සාමාන්‍ය සාහිත්‍ය නිර්මාණයක් කරනවාට වඩා අපහසු කටයුත්තක් විය හැකියි. විද්‍යා ප්‍රබන්ධ ලියන්නට එතරම් උනන්දුවක් නැති වීමට එයද හේතුවක් විය හැකියි.

ඔබ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා තිබෙන ලේඛකයෙක්. සම්මාන ලැබීම ලේඛකයකුගේ ලේඛනය වර්ධනය කිරීමට හෙතුවක්ද?

රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීම විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙක් ලෙස මට විශාල ශක්තියක්. ලංකාවේ බොහෝ සාහිත්‍ය තරග පැවැත්වුනත් විද්‍යා ප්‍රබන්ධ වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් වන්නේම නැති තරම්. විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් ලෙස අපට අපේ නිර්මාණ පිළිබඳ පිළිගැනීමක් ලබාගත හැකි එකම තැන රාජ්‍ය සාහිත්‍ය සම්මානයයි. යම් නිර්මාණයක් කිය වූ පසු එහි සාර්ථක අසාර්ථක බව පිළිබඳ අවසාන තීරකයා වන්නේ පාඨකයායි. නමුත් ඒ නිර්මාණය කියවන්නට අතට ගන්නවාද නැද්ද යන තීන්දුව ගැනීමේදී එයට සම්මානයක් ලැබී තිබීම එය කියවීමට නැඹුරැවක් ඇති කරනවා. එය විද්‍යා ප්‍රබන්ධ වැනි චූල සාහිත්‍ය ධාරාවක නිර්මාණකරැවෙක්ට විශාල අශීර්වාදයක්.

කුසුම්සිරි