2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

සුනිල් සිරිසේනගෙන් ඉරි සහ තවත් ඉරි

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 167
ඉරි සහ තවත් ඉරි නූතන සිංහල කාව්‍ය සාහිත්‍යයට මෑත කාලයේ එක් වූ වැදගත් නිර්මාණයක් යැයි මට සිතෙයි. මෙකල පළවන බොහෝ සිංහල කාව්‍ය සංග්‍රහයන්හි දැකිය හැකි එක් විශේෂ ලක්ෂණයක් සේ මට හැඟෙන්නේ ඒ කවියන් හා කිවිඳියන් විවිධාකාරයෙන් නව අත්හදා බැලීම් කරමින් සිය අත්දැකීම් කාව්‍ය මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්නට උත්සාහ කරන බවයි. එසේම ඒ බොහෝ දෙනකු පාඨකයන් ගැන නොසිතා කිසියම් ගුප්ත නැතහොත් තේරුම් ගැනීමට අපහසු වන ආකාරයෙන් ඒත් නැත්නම් ගැඹුරු දාර්ශනික මත යැයි සිතා සිටින දේ කවි නමින් ප්‍රකාශ කරන්නට වෑයම් කරන බවයි. සුනිල් සිරිසේනයන්ගේ ඉරි සහ තවත් ඉරි කාව්‍ය සංග්‍රහය මේ සුලබ ගණයේ කාව්‍ය ප්‍රකාශන අතර සුවිශේෂී තත්ත්වයේ කෘතියකැයි මට සිතෙයි.
 
සුනිල් කෙමෙන් ජිවිතයේ සැඳෑ සමයට ළඟාවෙමින් සිටින බව ඔහුගේ කාව්‍ය රචනා කිහිපයකින්ම කියැවෙයි. ඒ ඔහුගේ කවි කියැවීමේදී මා තුළ ඇති වූ අදහසකි. එසේම දිගු දිවිගමනේදී මුහුණ දුන් විවිධාකාර අත්දැකීම් කවියට නගන්නට ඔහු උත්සාහ කර ඇත. ඒ සඳහා කවියා සිව්පද ආකෘතිය මෙන්ම මෙකල ජනප්‍රිය නිදහස් සම්ප්‍රදාය ද අනුගමනය කරයි. එළිසම සිව්පද කවි ලීවිම ඔහුට ඉතා හුරුපුරුදු බවක් මෙහි ඇතැම් පද්‍ය රචනාවලින් පැහැදිලි වෙයි. 1970-80 දශකයේ පේරාදෙණි සරසවියේ ගුරුවරුන් හා සිසුන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර හා මහගම සේකර වැනි කවීන්ගේ ආභාසය සුනිල්ටද නොඅඩුව ලැබී ඇතැයි සිතෙයි. ඔහුගේ හැම කවියකම මෙන් පැහැදිලි අදහසක් ඇත. ඒ කවිවල කිසියම් නැවුම් බවක් ද කියවීමට රුචියක් දනවන යෙදුම්, උපමා රූපක හා අදහස් ගැබ්ව ඇත. 
 
එළිසම සිව්පද ආකෘතිය සුනිල්ට කොතරම් හුරුපුරුදු ද නැත්නම් කොතරම් පහසුවෙන් ඔහු එය හසුරැවන්නේ ද යනු මේ උද්ධෘතවලින් පැහැදිලි වනු ඇත
 
හදවතේ හුස්ම ඇත භාර දී      මැෂිමකට 
කැපූ තැන් බට දමා මසා ඇත     සීරැවට
රෝහලක උඩු අතට සතපවා      සිටියාට
බට දිගේ එන රුහිරු කඳුළු වේ හදවතට 
(කාලො අයං තෙ)
 
මාවත් අතර සීතල සඳ පහන්          රුයේ
කීවත් නොවෙන දේ තවමත් මතක    තියේ 
කාලය සමඟ දුර ඈතක ගිය ද          පියේ
සමුගත් අතීතය ගොඩගත නොහැක  ළයේ 
(දින පොතක ඉරී ගිය පිටු අතර) 
 
සුනිල් සිරිසේනයන් නිදහස් ආරෙන් ලියා ඇති කවිවල සියුම් ලෙස ධ්වනිතාර්ථ  නැංවෙන සේ කාව්‍යොක්ති භාවිත කර ඇති අයුරැ මේ නිදසුන්වලින් පැහැදිලි වනු ඇත.
 
නුඹ ඇවිත් වේලාසනින්
ගෙවුණ දවසේ අඩුවැඩිය
මිටි බැඳ පසෙක තබයි
සීරැවට ... 
(රාත්‍රිය ඇවිත්)
 
මේ කාව්‍ය සංග්‍රහයට නම ලබාගත් රචනාව සම්පූර්ණයෙන්ම කියවා බලමු. 
 
හුදෙකලා කුටිය තුළ
වියපත් වූ සිත්තරා
දෙහෝරාවක් සිතා එකම එක පාටකින්
සිතුවමක් නිම කළා
සුදු පාට පසුබිමේ කළුපාට ඉරක් එය
අවසාන කෙළවරේ
වක ගැසී නතර වුණු 
දෑත දෙපසට විදා අමන්දානන්දයෙන්
විවර කළ කවුළුවෙන් බලා හිඳ
බොහෝ දුර ....‍ 
නැවත විත් කඩිනමින් 
නේක වර්ණයෙන් යුතු
සුහුරු ඉරි කිහිපයක්
ඇඳ තබා තැනින් තැන
කුටිය හැර නික්මුණා
දොර අගු‍‍ළු වසාගෙන 
(ඉරි සහ තවත් ඉරි)
 
පාඨකයාට කාව්‍ය රචනා කියවීමෙන් නව අත්දැකීම් සමුදායක් බෙදාගනිමින්ˎජීවිතය හා සමාජය ගැන අලුතින් යමක් සිතන්නට, ඉගෙන ගන්නට ඉඩ ලැබෙන රචනා කිහිපයක්ම සුනිල් සිරිසේනයන්ගේ ඉරි සහ තවත් ඉරි කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් වෙයි. බොහෝ  ආගමික සමාජයීය කටයුතුවල තවමත් නිරතව සිටින, පුළුල් ක්ෂේත්‍රයක අත්දැකීම්  බහුල, විවිධ කලා නිර්මාණ කුසලතාවෙන් යුත් සුනිල් සිරිසේනයන්ගේ පන්හිඳෙන් තව තවත් අනගි නිර්මාණ බිහි වී සිංහල කාව්‍ය සාහිත්‍යයේ පවතින අඳුර දුරුවේවායි පතමි. 
 
උදය ප්‍රශාන්ත මැද්දේගම 
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00