2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

සිරිලංකා යාචක සංගමය

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 212

පසුගිය සතියේ මට දැනගන්නට ලැබුණු එක් අපූරු පුවතක් වූයේ, සිය සාමාජිකයනට ලැබිය යුතු හෝ දිය යුතු අවම ආධාර මුදල රුපියල් පනහක් දක්වා ඉහළ දමන බව සිරිලංකා යාචක සංගමය මගින්, මාධ්‍ය හමුවක් පවත්වා නිවේදනය කර තිබීමය.

එතෙක් පැවති අවම ආධාර මුදල වූයේ රුපියල් 20කි. ඊට අඩු මුදල්, යාචක මහතුන් විසින් ප්‍රතික්ෂේප කරනා බව, මට බොහෝ දෙනාගෙන් අසන්නට ලැබී තිබුණි.

සිඟන මහතෙකුට, රුපියල් දහයක් දුන් කළ, “මේකෙන් මොනවා කරන්නදැ”යි ඇසූ බව මට කීවේ, අපේ කන්තෝරුවේ රොබින්ය. ඔහු පවසන අන්දමට, අපේ රටේ බාල්දු වී ඇත්තේ රුපියල නොව, රුපියල් දහයයි.

යාචක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක පවසන අන්දමට, ආධාර මුදල ඉහළ දැමීමට සිදුවූයේ සුනාමියක් මෙන් එක්වරම කඩා වැදුණු ජීවන වියදම හේතුවෙනි. ගෑස්, කිරිපිටි, පාන්, සීනි, සුදු ලූනු, එළවළු යනාදී වශයෙන් සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගිනි ගණන්ය. මේ නිසා තම සාමාජික භවතුන්, මහත් දුෂ්කරතාවකට පත්ව ඇත. ඇතැම් යාචකයන් දැනටමත් ගෑස් ලිප ඉවත දමා දර ළිපේ ආහාර පිසීමට පටන්ගෙන ඇත. සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටි ඇතැම් යාචකයන් පවසන අන්දමට තත්ත්වය දිගටම මෙසේ පැවතිය හොත්, ඔවුන් පෙර සිටි, සැබෑ යාචකයන්ගේ අඩියටම වැටීමට ඉඩ ඇත.

ඉහත කී මාධ්‍ය හමුවේදී කියැවුණු තවත් වැදගත් කාරණයක් වූයේ, සිරිලංකා යාචක සංගමයට බැඳීම සඳහා, ඉල්ලුම් පත් ගලා එමින් පවතින බවය. මාධ්‍ය ප්‍රකාශක මෙසේද පැවසීය.

“මෙය අපේ සංගමය පැත්තෙන් ගත්කළ ඉතා සතුටුදායක වර්ධනයක්, නුදුරු අනාගතයේදී මැති ඇමැතිවරුන් හැරුණු විට, සමස්ත සිරි ලංකා පුරවැසියන්ම යාචක සංගමයට බැඳීමට ඉඩ තිබෙනවා.”

මෙය ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් එසේ වුවත්, යහපත් වැදගත් ජීවිත ගත කළ සිරි ලාංකිකයන් ගැන කල්පනා කරන විට ඉතා කනගාටුදායක තත්ත්වයකි. සෞභාග්‍යයේ දේශය, යාචකයන්ගේ දේශයක් බවට පත්විය යුතුද?

තවත් අතකින් බලන විට, සිඟමන් යැදීම අපට ලැජ්ජා විය යුතු දෙයක්ද නොවේ. අපේ මුදල් ඇමැතිවරු, යාචක වෙස්ගෙන, ටින් එකක්ද අතැතිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දොරකඩට වී සිටිනු දැක්වෙන කාටුන් චිත්‍ර, පුවත්පත්වල පළවූයේ බොහෝ ඈතක සිටය.

මෑතකදී බංග්ලාදේශයෙන් ණයක් ලබා ගැනීමද, සමහරු දුටුවේ, සිඟන්නෙක් තවත් සිඟන්නකුට අත පෑමක් ලෙසිනි. අප මේ ගැන ලජ්ජා විය යුතු නැත්තේ, මුළු මහත් තුන්වෙනි ලෝකයම කාගෙ කාගෙන් හෝ ආධාර ලබන 'යාචක සංගමයක්' වන බැවිනි.

හිඟාකෑමද නොයෙක් ප්‍රභේදයන්ට ලක්කළ හැකිය. ඉන් පළමුවැන්න ''නම්බුකාර හිඟමනය'' ඔවුන්, කිළිටි කඩමාලු හැඳ, තැන තැන යමින් හෝ පාර තොටේ ලගිමින්, ''පින් තකා යමක් දෙන්නැ''යි බැගෑපත් වන අසරණයන්ගෙන් වෙනස් වේ. ''පුලන්නා'' යනුවෙන් හැඳින්වෙන්නේද, එබඳු කොටසකි. 

නම්බුකාර සිඟන්නන්ගෙන් සමහරු, හොඳින් හැඳ පැළඳ සිටින අතර, ඉංග්‍රීසියෙන් කතා කරමින් කීයක් හෝ ඉල්ලති. මොන මොනවා හෝ බොරු හේතු කියති. මා දන්නා එබඳු එක් නම්බුකාරයෙක්, ''කොයින්ස්'' කීපයක් ඉල්ලන්නේ, දුම්වැටියක් ගැනීමට මාරු කාසි ළඟ නැති බව කියමිනි. අවසානයේ, ඔහු නවතින්නේ ''බාර්'' එකකය.

''විහින් හිඟනකමට'' පත්වූ අයද, තවත් හිඟන ප්‍රභේදයකි. බේබදුකම, සූදුව, ස්ත්‍රී ලෝලීත්වය, අලසකම, සොරකම් නිසා රැකියා අහිමිවීම. රෝග පීඩා ආදී නොයෙක් හේතු ඊට බලපායි. අපේ පැරණි සාහිත්‍යයේ , යාචක වර්ග 16ක් ගැන කියැවේ.
සිඟාකෑම යනු යැදීමකි. ඒ අරුතින් ගත් කළ ඡන්දය ඉල්ලීමද යැදීමකි. මැතිවරණ කාලයන්හිදී බොහෝ බැගෑපත් වෙමින් ඡන්දය හෝ මනාපය යදින, දේශපාලන යාචකයෝ ජයග්‍රහණයෙන් පසු බලා සිටියදී ධනවත් වෙති. ආඩම්බර වෙති. තමන්ට ඡන්දය දුන් අය අමතක කරති.

ජනප්‍රියත්වය යැදීම, අලුත්ම තාලේ සිඟමනකි. ඒ සිඟනුන්ට ''අංකයක්ද'' ඇත. එම අංකයට, ''එස්.එම්.එස්.'' එවන මෙන් ඔව්හු අයදිති.

ලෝකයේ සිටින අලුත්ම යාචක ප්‍රභේදය හැඳින්වෙන්නේ - ඊ බෙගර්ස් (E, Beggars) නමිනි. එම යාචකයන්, සිඟමන් යදින්නේ අන්තර්ජාලය තුළිනි. ඔවුනට, ඊ - ගිණුම්- වෙබ් අඩවි, ඊ-මේල් යනාදී නොයෙකුත් විද්‍යුත් සන්නිවේදන මාර්ග ඇත. ඔවුන් සිඟමන් යදින්නේ ඒවා තුළිනි.

මහාචාර්ය නන්දසේන රත්නපාල ''ශ්‍රී ලංකාවේ යාචකයා'' නමින් පොතක් පළ කළේය. මෙරට යාචක සමාජය ගැන පර් යේෂණයක් කළ ඔහු, ඒ සඳහා මාසයක කාලයක්, යාචකයෙක් ලෙස වෙස් වළාගෙන සැරිසැරැවේය. එතුමා සඳහන් කරන අන්දමට, හිඟන සමාජය තුළ, විධිමත්ව සිඟාකන අන්දම උගන්වන ''පාසල්ද'' ඇත.

මා සේවය කළ ආයතනයක, නිතරම අනුන්ගෙන් ණයට ඉල්ලන, ඒවා කිසි කලෙකත් ආපුස නොදෙන කරදරකාරයෙක් සිටියේය.

එක් දිනක්, මගේ මිත්‍රයෙක්, ඉහත කී ''ශ්‍රී ලංකාවේ යාචකයා'' පොතේ පිටපතක් ගෙනැවිත්, අර පුද්ගලයාට දුන්නේය.

''මේක මට මොකටද? මට පොත් කියවන්න වෙලාවක් නෑ.''

''කරදරකාරයා'' පොත ආපසු දිගු කරමින් කීවේය.

''ඒකට කමක් නෑ. ඕක කියවල බලනවා. තමුසෙගෙ නමත් ඕකෙ තියෙනවද කියලා.''

කරදරකාර මිත්‍රයා ණයට ඉල්ලීම නතර කළේ නැත. එහෙත් පොත දුන් මිත්‍රයාට නම් යළි කරදර කළේ නැත.

කපිල කුමාර කාලිංග