2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

සමාජ මාධ්‍යවලින් බොල් නිර්මාණ පුම්බනවා - මලික් තුසිත ගුණරත්න

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 99

මලික් තුසිත ගුණරත්නගේ අලුත්ම නවකතාව ශාක්‍යාදේවි සාහිත්‍ය මාසය වෙනුවෙන් පසුගියදා නිකුත් විය. එය මරදාන සූරිය ප්‍රකාශනයකි. මෙයට පෙර පළ වූ මලික්ගේ මතක විසිරුණු තැනක නවකතාව ගොඩගේ සම්මාන උළෙලේ නිර්දේශිත කෘතියක් ලෙස ඇගැයුමට ලක්වූ අතර ඔහුගේ කෙටිකතා කෘති ගොඩගේ, විද්‍යොදය සම්මාන උළෙලවලදී ඇගැයීමට ලක්ව තිබේ. මේ මලික් තම අලුත්ම නවකතාව ගැන දේශය සමඟ කළ පිළිසඳරකි.

• ඔබ මෙය ලියා ඇත්තේ වෙනස්ම ආකෘතියකින් නේද? 

ඔව්! ඒක මම වුවමනාවෙන් ඔබ්බපු එකක් නෙවෙයි. මගේ අනුභූතිය කියාගන්න හොඳයි කියල හිතුණ ආකෘතියම තමයි කතාව ඉල්ලුවෙ. මෙහිදී මම සමස්ත කතාව විකාශයේදී ස්තර කිහිපයක් උපයෝගී කර ගත්තා. හැබැයි ඒ ස්තර සියල්ල සියුම් හුයකින් ප්‍රමුඛ කතාවට නිරායාසයෙන්ම අනුබද්ධ වෙනව කියල මම දැනගෙන හිටියා. මට දැනට ලැබෙන ප්‍රතිචාර අනුව ශාක්‍යා දේවී අකෘතිය ගැන බොහෝ පාඨකයන් සිය සතුට ප්‍රකාශ කරල තියෙනවා.

• ඔබ මෙය සයිබර් අවකාශය සමඟ සම්බන්ධ කරනවා නේද?

ඔව්. ඔබ මතුකළ අන්තර්ජාල ක්‍රියාන්විතය. මේ කෘතියේ ගීත දොළොසක් අඩංගුයි. ඒ කතාව ඉල්ලූ එසේම කතා නායිකාවගේ ජීවන පුවතට සම්බන්ධ අරුත් ඇති ගීත. පොතේ ඇති Q R කේත ඔස්සේ යූ ටියුබ් වෙත පිවිස ඒ ගීත රසවිඳින්නත් ඔබට අවස්ථාව උදා කරල දීල තියෙනවා. මේක ලාංකේය නවකතා ඉතිහාසය තුළ පළමු වරට සිදු වෙන දෙයක්. මමත් මෙහෙම අත්දැකීමක් මීට පෙර විඳල නෑ. ඉතිං මම කියවන අයට ආරාධනා කරනවා පාඨකයෙක් විතරක් නෙවෙයි ගීත රස විඳින ශ්‍රාවකයෙකුත් වෙන්න කියලා. මේ අත්දැකීම නැවුම් වින්දනීය ලොවක් විවර කරල දීමක් බව මට යොවුන් පාඨකයො බොහෝ දෙනෙක් කියල තියෙනවා. සමහරැ එය ශ්‍රී ලාංකේය ප්‍රථම ඩිජිටල් නවකතාව හැටියටත් අඳුන්වලා තිබුණා.

• ශාක්‍යා ප්‍රේම කතාවක් කියල ඔබ පෙරවදනේම ලේබලයක් අලවනවා?

තමුන්ගේ නිර්මාණය ගැන කතා කිරීමේ අයිතියක් නිර්මාණකරුට නෑ. ඒක ඇත්ත. ඒත් ප්‍රේමයේ උපරිම අන්තය ගැන කියැවෙන කොට මට මේ පොතට ත්‍රාසජනක කතාවක් කියල කියන්න බෑනෙ. අනෙක් කාරණාව තමයි බොහෝ පාඨකයෝ මගෙන් ප්‍රේම කතාවක් ඉල්ලල තිබුණා. ඔවුන්ගේ ඉල්ලීමට නිහතමානීව හිස නැවිය යුතුයි කියල මට හිතුණා. ඒක ඔවුන්ට කරනා ගෞරවයක් හැටියටයි මම සැලකුවේ. අනික ප්‍රේමයකින් තොරව අපිට කිසිම නිර්මාණයක් කරන්න බෑ. රහස් පරීක්ෂක කතාවක වුණත් ප්‍රේමයේ රස තැවරැණු තැන් නැද්ද?

• අලුත් පරම්පරාවේ විශාල තරුණ පිරිසක් නිර්මාණකරණයට එළඹීම ඔබ දකින්නේ කෙසේද?

ඒක සුබ ලකුණක් හැටියට මම දකිනවා. ඔවුන් විවිධ අනුභූතීන් තම නිර්මාණ පරාසයට හසුකර ගන්නවා. ඒත් මම මෙහෙම දෙයක් දකිනවා. සමහර මාධ්‍යවලින් හරි, මුහුණු පොත තුළින් හරි එහෙමත් නැත්නම් දැනහැඳුනුම්කම්වලින් සමහර පොත් උවමනාවට වඩා උඩට එසවෙන ගතියක්. මම එවැනි පොත් කිහිපයක් කියවලා බැලුවා. ඒවායේ බොහොමයක නිර්මාණාත්මක ලිවීමක් තිබුනේ නෑ. අන්න එතැනදි මට ඔයාගෙ ප්‍රශ්නය අදාළ කර ගන්න පුළුවන්. පරිශීලනය නැති කමින් ඔවුන් මේ වගේ හදිසි හෝ නිර්මාණශීලිත්වයෙන් අඩු ලියවිල්ලකට මෙ‍හෙය වුණාද කියලා. නිර්මාණශීලිත්වයක් නැති ලියවිල්ලක සුන්දරත්වය වගේම භාවයන් සංවේදී කරන ගුණයත් අඩුයි.

• ඔබ දක්ෂ කෙටිකතාකරුවෙක්. අපේ කෙටිකතා කලාව ඔබ දකින්නේ කෙසේද?

මම හිතන විදිහට සහ කියවලා තියෙන විදිහට කෙටිකතාව අද ලාංකේය සාහිත්‍යයේ ඉහළටම එසැවී ඇති බවකුයි මට හැඟෙන්නේ. අද ශූර කෙටිකතාකරුවො රැසක් බිහිවෙලා ඉන්නවා. ඔවුන් කෙටිකතාවේ බොහෝ අඳුරු මුළු එළිය කර ගනිමින් ඉන්නවා. සමහර ප්‍රවීණයෝ නොලිය ඉන්න බවකුත් පේනවා. ඒත් ඔවුන් කෙටිකතාව හදාරමින් ඒවා නවකයින්ට බෙදාදෙමින් සද් කාර්යයක නියැලී සිටිනවා. මේ වසංගත තත්වයත් සමඟ ඒ වැඩමුළු අක්‍රිය වුණද නැවත රට හුස්ම ගන්නකොට සියල්ල යථා තත්වයට පත් වේවි. ඒ අතරතුරේ ලියනගේ අමරකීර්ති වැනි නිර්මාණකරුවෝ තවදුරටත් ලියමින් කෙටි කතාවේ අපි නොදකින ඉසවු අපිට විවර කරමින් ඉන්නවා. 

• මුහුණු පොත අද නවකතා කෙටිකතාවලින් පිරිලා නේද?

ඔව්. ඒක සාධනීය ප්‍රවණතාවයක්. කිසිවක්ම නොලිය ඉන්නවට වඩා මොනව හරි ලියන එක කොච්චර හොඳද? ඔවුන්ට ලියන්න පහසුම තැන තමයි මුහුණු පොත. ඔවුන් තම භාවයන් ඒ ඔස්සේ මුදා හරිනවා. ඒවා කොච්චර දුරට හොඳ නිර්මාණද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම ඔවුන්ට යෝජනා කරනවා ඔහොම ලියන ගමන් හොඳට කියවන්න කියලා.

• කොවිඩ් වසංගතය සාහිත්‍ය වසන්තයට බලපාන්නේ කෙසේද?

කොළඹ පොත් ප්‍රදර්ශනය නැති නිසා ඉල්ලකයන් තියාගෙන ලියන අයට ඒක ප්‍රශ්නයක් වේවි. ප්‍රකාශකයන්ට දහස් ගණන්, ලක්ෂ ගණන් පොත් අලෙවි කර ගැනීමට බාධාවක් වේවි. සාහිත්‍යයේ කූටප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් සිටින රසිකයන්ට ඒක අමිහිරි අත්දැකීමක් වේවි. ඒ නිසා කිසියම් විදිහක බලාපෙරොත්තු කඩවීමක් මේ සැප්තැම්බරයේ සිදුවේවි. පෞද්ගලිකව මට මේ ප්‍රශ්නෙ බලපාන්නේ නෑ. මොකද මට සැප්තැම්බර් කියල ඉලක්කයක් තිබුණෙම නෑ. මගේ රසවින්දනයේ පුපුරා යාම අවුරැද්දේ කුමන හෝ මාසයක සිදුවෙන්න පුළුවන්.

 කුසුම්සිරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00