2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

කවියකට නිමිත්තක්

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 86

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහගේ දෙවැනි කාව්‍ය කෘතිය (කවියකට නිමිත්තක්) වේ. මේ එහි කවිවලින් ලද වින්දනය පළ කිරීමට දැරූ උත්සාහයකි.

“මෙන්න අලුතින්
අපේ පවුලට ඇවිත්
හුරුබුහුටි
කොලු පැටියෙක්
ඔහුට සිතෙන්නේ ”මේ නම් හරි පුතෙක්, උපදින විටම තබා ආ වාර්තාවක්” කියාය.

“ගසක මල්පල” කවිය සංකේතාර්ථ දනවන්නකි.
“තුරුළු කරගෙන
පොකුරු මල්ඵල
ගසක අතු ඉති නටන අන්දම”
ඒ තුරුණු අතු ඉති ඉහළ ඔසවා සිටින මහළු කඳ කාගේත් අවධානයට යොමු නොවේ.

“රැළි වැටුණු කඳ
පසින් යටවුණු මහලු මුල් ටික
කම්කටොලු කොතෙකුත් දරාගෙන
දියද පොහොරද
තුරුණු අතු ඉති
ඉහළ ඔසවා
හිඳී නිසලව....”

කවියා මේ දකින සමාජ යථාර්ථය ලොවට ප්‍රකටව පෙනෙන දේ පිටුපස ඒවාට ජීව ශක්තිය සපයන මූලයන් පිළිබඳ යථාර්ථයයි. පවුලක වේවා, සංවිධානයක වේවා මේ යථාර්ථය බොහෝ දෙනා ඇස නොගැසේ.

“කවුද මේ මොනවද කරන්නේ?” යන්න කලකට ඉහත අපට දකින්නට ලැබුණු පෝස්ටරයක මාතෘකාව විය. කවියා ප්‍රශ්න කරන්නේ...

“සිදු කළා නම් යමක්
ගම රටට සේවයක්
ඇයි ඉතින්
දුක් විඳිනු ඔයතරම්?”

යන්නයි. සේවයක් ඉටු කළා නම් එය පවතීවි. එය කළ යුත්තේ අන්‍යයන් කෙරේ සේවය කිරීමේ අරමුණින් මිස ප්‍රචාරයක් ලබාගැන්ම පිණිස නොවේ යැයි පැවසූ ආකාරයයි.

“අශෝක මල් ගස හා පිරිමි තිදෙනා” යනු ඓතිහාසික පුවතක් කවි සිතිවිලි නැංවූ සැටි විදහා දක්වයි. පුවත සාලිය කුමාරයා හා සම්බන්ධය. අශෝක මල් ගස චරිත තුනකට වෙනස් ලෙස පෙනෙන අයුරැ පෙන්වයි. සෙනෙවියට, පිය රජුට හා සාලිය කුමරැට යනුවෙනි. 

“සාලිය කුමරාට
පිනිපොද සිහිල ඉස ඉස
නිම්හිම් නිවන සනහන
සන්සුන් සුව සදන
සෙවණැකි මෙමට මේ ගස
උදුරාගෙන නොයන්නෙමි
කරකස ඇතුළු නුවරට
චුත වී හෝ මිස එනුවරින්
මේ සෙවණට එමි මම ම” යනු ඔහුගේ පැතුමය.

“ගඟ ළඟදී” කවිය පැරණි කවි පදයක් වූ “මම මහලු වයසේ බැරිය වෙන ගායනා පෙර සේ” යන්න සිහිපත් කරයි.

“සුළඟේ පාවේ පුළුන් රොදක් සේ
සැහැල්ලුවෙන් සිටි පුංචි සන්දියේ
බිය සැක නොදැනුණු 
මේ ගංගාවට ජබුඃ කියා පැන
මේ මහ දිය කඳ තුරුලට වැහෙමින
පීනා ගිය හැටි මතකයි
දැන් මහලු වියේ ඒ දස්කම් කළ හැකි නොවේ
සිතන විටත් ගඟ දියට බසින්නට
සැලෙයි මගේ හද
දියෙන් ගොඩට ගත් මසෙකු වගේ
කවියාට අන්තිමටත් මතක් වන්නේ “දත් නැතිදාට උක්දඬු ගිනි තපින්නද?” යන්නය.

කාව්‍ය රචනා 37ක් ඇතුළත් මෙහි ඉංග්‍රීසි කාව්‍ය නිර්මාණ දෙකක්ද ඇත. එකක් ආචාර්ය රෝලන්ඩ් සිල්වාට ලියැවුණු උපහාරයක් වන අතර අනෙක ආචාර්ය සේනක බණ්ඩාරනායක ගැනද යන්න අපට සිතේ. අප කවියා ගරු කළ යුත්තන්ට ගරු කරන්නෙකි. ඔහුගේ කවීත්වය සිහියට නංවන්නේ එදා ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර ආදීන් කළ මුල් කාලයේ රචනාය.

 මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස