2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

වාසි “පිට” වාසි

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 129

“ප්‍රජාතන්ත්‍රවාදය නැතිකර ගත්තේද ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර ගත් මිනිසා විසින්මය. ලෝකයේ පවතින ඇතැම් දේවල් එක්වරක් නැති කරගත් පසු නැවත ලැබෙන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයද එබඳුය. දේශපාලනයේදී පක්ෂපාතී හා අපක්ෂපාතී යන වදන් නිතර භාවිතා වේ. මෙයින්, පක්ෂපාතීත්වය නිතරම වාගේ වාසිදායකය. අපක්ෂපාතීත්වය අවාසිදායකය. එහෙත්, අපක්ෂපාතී පුද්ගලයා ඉක්මනින් සත්‍ය දැකගනී. පක්ෂපාතී පුද්ගලයා, සත්‍යය දැක දැකද නොදැක්කා සේ හිඳී.”

මා ඉහත දැක්වූයේ, වාසිබෝලන්තයේ දිනපතා පුවත්පතක කතුවැකියෙන් උපුටාගත් ඡේද දෙකකි. විදේශීය මාධ්‍ය සමුළුවකට සහභාගි වූ වාසිබෝලන්ත කතුවරයකුගෙන් වෙනත් රටකින් පැමිණි මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.

“දැන් ඔබේ රටේ තිබෙන්නේ ඔබගේද උදව්වෙන් බිහිවූ ආණ්ඩුවක්. ඒත් ඔබ නිතරම එය විවේචනය කරනවා. එයට හේතුව කුමක්ද?” 

එවිට කතුවරයා මෙසේ කීවේය.

“කාලයේ හැටියට සුදුසු යැයි හැඟෙන පුද්ගලයා බලයට පත් කිරීමට අපි උදව් කරන එක ඇත්ත. ඒත් ඊට පහුවදා ඉඳලම අපි මාධ්‍යවේදියෝ හැටියට ඉන්න ඕනෙ විපක්ෂයෙ.”

මාධ්‍යවේදියාද කෙවිටක් අතින් ගත් ගොපල්ලෙක් විය යුතුය. කෙවිට නැති කළ ඔහුටද සිදුවන්නේ ගවරුළ යන යන අතේ යාමටය.

මාධ්‍යවේදියා බිලි බා ගැනීම බොහෝ රටවල දේශපාලනඥයන් විසින් සිදුකරන සටකපට වැඩකි. (වාසිය) වෙනුවෙන් හිස නමන මාධ්‍යවේදියා ඉන්පසු කඩේ යයි. (වාසි පිලට හෝයියා) යන්න, බොහෝ රටවල මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික තත්ත්වයක් වී ඇත්තේ එහෙයිනි.

වාසියේ ප්‍රභේද ගණනාවකි. අත්වාසි, පිට වාසි, දුර වාසි, ළඟ වාසි, බර වාසි, අඩු වාසි යනාදී වශයෙනි. වාසි පහ නොහොත් පස් වාසි යනු කඩදාසි කුට්ටමේ සෙල්ලමකි.

කලකට ඉහත “පොකට්කාරයන්” හැඳින්වුණේද “වාසිකාරයා” යනුවෙනි. දැන් නම් පොකට්කාරයන් අඩුය. එහෙත් රටේ මුළු මහත් ජනතාවගේම පොකට් එකට විදින වාසිකාරයෝ නම් සිටිති. ඒ අයට නම් එකට හතක් වාසිය. වාසි පිට වාසිය.

වැඩක්පළක් නොකර, හරි හම්බ කරන මිනිසුන්ට, ගමේ ගොඩේ වහරන යෙදුම “ශරීර හොරු”ය. අතරමැදියන් වෙමින් වාසි ලබන උදවියද වැටෙන්නේ එකී ශරීර හොරුන් ගණයටය.

එහෙත්, සමහරු වාසි ලබන්නේ මොළයද වෙහෙසවමිනි. ඔවුන් ගේම්කාරයන් ලෙසද හැඳින්විය හැකිය. සිරි ලංකාවේ අපිට “ඔලිම්පික් ගේම්ස්” වැනි ගේම් නම් බැරිය. ඩන්කන් වයිට් හා සුසන්තිකා නැත්නම් කොළ කුඩුය.
ගේම්කාරයන් මෙන්ම ඩීල් කාරයන්ගෙන්ද ලංකාවට අඩුවක් නැත. ඩීල් දැමීමද ගේමක් නම්, එම ගේමෙන්, පදක්කම් තුනම සිරි ලංකාවෙන් පිට නොයන බව නිසැකය.

කලකට ඉහත කොළඹ ඉදිවූ සුප්‍රකට සංචාරක හෝටලයක සැලැස්මේ තිබූ එක තට්ටුවක් එය ඉදිකිරීමේදී අන්තර්ධාන වූ බවට කතා පැතිරුණි. එයද නියම ගේමකි. එහෙත් එකල පැවති දේශපාලන කුණාටු හමුවේ, ඒ තට්ටුවද යට ගියේය. ඊට තට්ටු කළ ගේම්කාරයා කවුදැයි තවමත් රහසකි.

හෝටල් තට්ටු ගිල දැමූ බහිරවයන් සිටිනා රටේ සුද්දන් ඇදගෙන ගොස්, හෝටල් ගේට්ටුව අසලදීම වාසි ලබන අසරණ අතරමැදියන්ද සිටීම පුදුමයක් නොවේ. එයද “ටුවරිසම් ෆීල්ඩ් එකේ” රස්සාවකි. තාරකා හෝටල්ද නිරෝධායන මධ්‍යස්ථාන වී ඇති, මේ කොරෝනා අල්ල පනල්ලේ හෝටල් කතාවක් දෙකක්ද මගේ මතකයට නැඟෙයි.

වයස අවුරුදු 40ට ළඟා වී සිටි මිතුරු පිරිසක් දිවා භෝජනය සඳහා යා යුතු සුදුසු තැනක් ගැන කතිකා කළහ. අවසානයේ ඔවුන් ඒ සඳහා තෝරා ගත්තේ මුහුදු තීරයේ සුන්දර ස්ථානයක පිහිටි “ඕෂන් වීව්” හෝටලයය. ඊට හේතුව වූයේ එහි සේවය කරන වේටර්වරියන් ඉතා සුරූපී වීමය.

ඊට වසර දහයකට පසු, 50 හැවිරිදිව සිටියදී, එම මිතුරු පිරිස, යළිත් වරක් භෝජනයකට යාමට සුදුසු හෝටලයක් ගැන සාකච්ඡා කළහ. අවසානයේදී ඔවුන් යළිත් තෝරාගත්තේ “ඕෂන් වීව්” හෝටලයමය. ඊට හේතුව වූයේ එහි ආහාර හා මත්පැන් ඉතා උසස් මට්ටමක තිබීමය.

තවත් වසර 10කට පසු එනම් 70 වැනි වියේදී එම මිතුරු පිරිසට භෝජන සංග්‍රහයක් පැවැත්වීමට අවශ්‍ය වී සුදුසු හෝටලයක් ගැන සිතූහ. අවසානයේ ඔවුන් තීරණය කළේ “ඕෂන් වීව්” හෝටලයට යාමටය. ඊට හේතුව වූයේ එහි රෝද පුටුවලින් යා හැකිවීම හා විදුලි සෝපානයක් තිබීමය.

මේ මිතුරු පිරිස, 80 හැවිරිදිව සිටියදී දිවා භෝජනයකට යාමට කතාකර ගත්හ. ඒ සඳහා තමන් මෙතෙක් නොගිය හෝටලයකට යාමට ඔවුන්ට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුන් සැම එකඟ වූයේ “ඕෂන් වීව්” නමැති හෝටලයකට යාමටය.

තවත් හෝටල් කතාවකින් මෙවර “හී සරය” නිමාකරනු කැමැත්තෙමි.

වසා දමා ඇති සංචාරක හෝටලයක ගබඩා කාමරය අස්පස් කරමින් සිටි, එහි සේවකයකුට, අමුතු හැඩයේ බෝතලයක් ඇස ගැසුණි. දුලබ ගණයේ මත්පැනක් විය හැකි යැයි සිතූ ඔහු එහි මූඩිය ගැලවීය. එක්වරම නැඟණු දුමාරයක් තුළින්, බෝතලය තුළ සිරකර තිබූ භූතයා මතුවිය.

“ඔබතුමාට බොහෝම පින් මාව නිදහස් කර ගත්තට. ඔබතුමා කැමැති වරයක් ඉල්ලන්න. ඒක මම ඉෂ්ට කරන්නම්.”

මොහොතක් කල්පනා කළ සේවකයා, තම දේශය වෙනුවෙන් යහපතක් කිරීමට මෙය අගනා අවස්ථාවකැයි සිතා මෙසේ කීය.

“අනේ භූතයෝ.... අපේ රට තියෙන්නෙ භයානක අවස්ථාවක. කරුණාකරල අපේ දේශපාලනඥයෝ ටික සමගි කරල දෙනවද?”

එක්වරම භූතයා යළිත් බෝතලය තුළට රිංගා නිශ්ශබ්ද වූයේය.

 කපිල කුමාර කාලිංග