2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ඇතැම් පරිවර්තනවල තිබෙන්නේ හඩු බසක්...

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

චන්ද්‍ර ශ්‍රී රණසිංහ ශාස්ත්‍රීය කෘති පරිවර්තකයෙක් ලෙස සම්මානයට පාත්‍ර වූ ලේඛකයෙකි. ඔහු පරිවර්තනය කළ අහිකුණ්ඨික ජනකතා පොතට 1972 දීද, සෙලිග්මාන් යුවළගේ වැද්දෝ පොතට 2010 දීද, බ්‍රයිස් රයන්ගේ සිංහල සමාජයේ කුල ක්‍රමය පොතට 2016 වර්ෂයේදීද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. ඔහුගේ අලුත්ම පරිවර්තනය වන විරෑපා කෘතිය මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම කළු ජාතික විනිසුරුවරියක් වන කොන්ස්ටන්ස් බ්‍රිස්කෝක්ගේ චරිත කතාවයි. එය සුරස පොතක් ලෙස පළව තිබේ.

ඔබ මෙතෙක් වැඩිපුර කළේ ශාස්ත්‍රීය කෘතිවල පරිවර්තනයි. ඒ ගැන යමක් කිව්වොත්?

මම මුල් කාලෙදි විශේෂ උනන්දුවක් දැක්වූයේ ඒ වෙනකොටත් සිංහලට පෙරළිල නොතිබුණු වැදගත් ශාස්ත්‍රීය කෘති පරිවර්තනය කිරීම ගැනයි. ඒ අනුව තමා සෙලිග්මාන් යුවළගේ වැද්දෝ කෘතිය පරිවර්තනයට මම පෙළඹුණේ, වැදි ජනයා ගැන මේ තාක් සිදුකර ඇති ගැඹුරුම ශාස්ත්‍රීය 

පර් යේෂණය හැටියට සැලකෙන ඒ කෘතිය මානව විද්‍යාව අතින් ඉතා වැදගත් එකක්. මම හෙන්රි සාකර්ගෙ ලංකාවෙ ගැමි ජනකතා වෙළුම් තුනම පසුව පරිවර්තනය කළා. ඊටපස්සෙ තමයි සමාජ විද්‍යාව හදාරණ ශිෂ්‍යයන්ට ඉතා ප්‍රයෝජනවත් බවට විශ්වවිද්‍යාලවලින්ම කෙරුණු ඉල්ලීම් අනුව බ්‍රයිස් රයන්ගෙ සිංහල සමාජයේ කුල ක්‍රමය මා අතින් සිංහලට පරිවර්තනය වුණේ.

ඔබගේ වෙනත් පරිවර්තනවල දැක්වෙන භාෂාවට වඩා නිදහස්, සරල ශෛලියකින් විරූපා ලියැවී තිබෙනවා. එසේ වීමට හේතුව මොකක්ද?

ඕනෑම කෘතියක භාෂා ශෛලිය ශාස්ත්‍රීය ස්වරෑපයේ එකක් වන්නෙත්, සරල එකක් වන්නෙත් මුල් කෘතියේ අන්තර්ගතය අනුවයි. වෙනත් වචනයකින් කියනවා නම් යම් කෘතියක් සාර්ථක වීමට අන්තර්ගතය සහ ආකෘතිය යන අංග දෙක මැනවින් එකට බැඳී තිබෙන්න ඕනෑ. ශාස්ත්‍රීය කෘතියක් පරිවර්තනයේදී ඒකෙ මුලින් ගැබ් වී තිබූ අර්ථයට කිසි හානියක් සිදු නොවී ඒ ආකාරයෙන්ම පරිවර්තනය වී තිබීම අනිවාර්යයයි. ඒ සඳහා යොදාගන්නා පාරිභාෂික පද ඇතුළු සෑම වචනයක්ම නියත අර්ථ ගෙන දෙන ඒවා වන්න ඕනෑ. ඒ ආකාරයේ පරිවර්තනයකදි දැඩි සංයමයක් තුළ පිහිටා කටයුතු කරන්න ලේඛකයාට සිදුවෙනවා. විරෑපා කෘතිය ඒ ශාස්ත්‍රීය ගණයෙන් බොහෝ දුරස් වුණු ප්‍රබන්ධ ගණයට වැටෙන ස්වයං චරිතාපදානයක්. මුල් කෘතියේ බස ඉතා සරලයි. කට වහරේ බසට ඉතා සමීපයි. ඒකෙ තියෙන්නෙ පෞද්ගලික අනුභූතියක් භාවිකව ප්‍රකාශ කිරීමක්. ඒ හින්දා ඒ අන්තර්ගතයටත්, ආකෘතියටත් සමීප වන විදියට සරල වගේම ග්‍රාම්‍ය යෙදුම් සහිත බස් වහරක් පරිවර්තනයෙදි යොදාගැනීමට මම යොමු වුණා.

විරූපා කෘතියට මේ වන විට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඒක අමුතුම ආකාරයේ කතාවක් බවයි පාඨකයන් කිහිප දෙනකු වෙතින් පළවුණේ. ඒකෙන් විස්තර කෙරෙන්නෙ කතානායිකාවට තමන් වැදූ මවගෙන් මුහුණපෑමට සිදු වූ අමානුෂීය වධහිංසාවන් ගැන. පරපීඩක උන්මාදයෙන් වියරු වැටුණු මවගෙන් තමාට මුහුණපෑමට සිදුවූ වධහිංසා, කොන් කිරීම් කතුවරිය විවෘතවත්, සිත් කාවදින ආකාරයෙනුත් විස්තර කර තිබෙනවා. ඇතැම් සිදුවීම් ඇදහිය නොහැකි තරම් ඒවා. ඒත් ඒවා සත්‍ය සිදුවීම් බව පෙනී යන්නෙ ඒ දැරියම දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් ඉගෙනගෙන පසු කාලයේ එංගලන්තයේ විනිසුරු පදවියට පත් මුල්ම කළු ජාතික කාන්තාවන් අතුරින් කෙනෙක් බවට පත්වන්නෙ.

ඔබ රාජ්‍ය සාහිත්‍ය සම්මාන කිහිපයක් හිමිකරගත් ලේඛකයෙක්. අලුතින් පරිවර්තකයන් රුසක් බිහි වී සිටිනවා. ඔබ ඔවුන් දකින්නේ කෙසේද?

අලුත් පරිවර්තකයන් බිහිවීම සිංහල සාහිත්‍යයේ නිම් වළලු පුළුල් වීමට අත්‍යවශ්‍ය කරුණක්. ඔවුන් අතින් බොහෝ පරිවර්තන කෘති බිහිවෙනවා. ඒක සුබ ලකුණක්. ඒත් ඒවා අතර ගුණාත්මක බවින් උසස් සාර්ථක පරිවර්තන විරල වීම තමා අඩුවක් හැටියට මම දකින්නෙ.

පරිවර්තකයකු වීමට භාෂා දැනුම පමණක් මදි නේද?

පරිවර්තන කාර්යය වගකිවයුතු වගේම ගැඹුරු ශික්ෂණයක්. ඒ සඳහා භාෂා පිළිබඳ දැනුමට අමතරව පද සංයෝජනය සහ භාෂාවේ යෙදුම් පිළිබඳ දැනුම, යටිපෙළ අරුත විනිවිද දැකීමේ හැකියාව, ප්‍රතිභාව වැනි කරුණුත් අවශ්‍ය වෙනවා. මේවා ආරෝපණය කර ගැනීමට හැකිවන්නෙ සතතාභ්‍යාසයෙන් සහ පළපුරුද්දෙන්.

නවක ලේඛකයන්ගෙ පරිවර්තන බොහොමයක් අසාර්ථක වෙලා ඇත්තෙ ඔවුන්ට භාෂා දැනුම තිබුණත් බස හැසිරවීමේදී දක්වන අපරිණත බව නිසයි. පරිවර්තනයෙදි කෙරෙන්නෙ එක බසකින් තවත් බසකට වචන පෙරළීමක් නෙමෙයිනෙ. වැකියකින් නැත්නම් ඡේදයකින් කියැවෙන දේ සන්දර්භය අනුව තේරුම් අරන් අපේ භාෂාවෙ ඌරුවට අනුව ව්‍යක්ත බසින් ව්‍යාකරණය නොබිඳ ඉදිරිපත් කිරීමයි කෙරෙන්න ඕනෑ. එහෙම නැතිවුණොත් පරිවර්තනයෙ භාෂාව කෘත්‍රිම හඩු බසක් වෙනවා. කාර්යාලයක වෘත්තීය භාෂා පරිවර්තකයකුගෙන් සාහිත්‍ය කෘති පරිවර්තකයා වෙනස් වන්නේ ඔහු ප්‍රතිභාපූර්ණ ලේඛකයකු වන නිසයි.

අපට පෙනෙන ආකාරයට නවක පරිවර්තකයන් වැඩිපුර ජනප්‍රිය කෘති පසුපස දුවන බවක් පේනවා. මේ ගැන ඔබේ මතය කුමක්ද?

මේක පැති කිහිපයකින් සලකා බැලිය යුතු කරුණක්. ජනප්‍රිය කෘති කියන්නෙ පාඨකයා කියැවීමට වැඩියෙන්ම ප්‍රිය කරන පරිවර්තනනෙ. ඒවාට වැඩි ඉල්ලුමක් තියෙන නිසා ප්‍රකාශකයො ඒ වාගෙ පොත් පළ කරන්න කැමතිවීම ස්වභාවිකයි. අනිත් පැත්තෙන් බලනකොට නවක පරිවර්තකයාට ඉදිරි ගමනක්, පැවැත්මක් තියෙන්නෙ තමාගෙ පොත හොඳින් අලෙවි වුණොත් විතරයි. අලෙවිය සැකසහිත පොත් පළකිරීමට බොහෝ ප්‍රකාශකයන් මැලිවන බව ප්‍රකට කරුණක්. නවක පරිවර්තකයන් ජනප්‍රිය කෘති පරිවර්තනයට වැඩිපුර පෙළඹීමට හේතුව මෙය වන්න පුළුවන්. පාඨකයන් අතර කියවීමේ රුචිය ඉහළ නැංවීමට එබඳු පරිවර්තන උපකාරී විය හැකියි. ඒත් සුලබ වින්දනයක් ලබාදෙන ජනප්‍රිය පොත් මගින් පාඨක රුචියේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවෙන්නේ නෑ. ඔවුන්ගේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරමින් ජීවන දෘෂ්ටිය පරිණත බවට පත්කරගන්න නම් ලෝක සාහිත්‍යයේ උසස් කෘති සිංහලට පරිවර්තනය වන්න ඕනෑ.

 කුසුම්සිරි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00