2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ජපානය අපට කිට්ටුකළ තදෂි නොගුචි

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 260

සිංහල සාහිත්‍යයටත් ජපන් සාහිත්‍යයටත් අනුපමේය මෙහෙවරක් ඉටුකළ සිංහල භාෂා සහ සාහිත්‍ය විශාරදයකු වූ ජපන් ජාතික තදෂි නොගුචි පසුගිය අප්‍රේල් මස 13 ජීවිතයෙන් සමුගත්තේය. මියයන විට 76 වැනි වියේ පසු වූ ඔහු ජපානයේ තෝකියෝහි, චිබා ප්‍රාන්තයේ වාසය කළ අතර ජපානය තුළ සිංහල භාෂාව ව්‍යාප්ත කිරීමෙහි ලා පුරෝගාමියකු විය. 

1952 වසරේ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක වූ මිරිස්‌සේ ගුණසිරි හිමියෝ තෝකියෝවට වැඩම කළේ ජපානයේ පැවති බෞද්ධ සමුළුවකට සහභාගී වීම සඳහාය. එම ගමනේදී උන්වහන්සේට එක්තරා ජපන් ජාතික චිත්‍ර ශිල්පියකු හඳුනාගන්නට ලැබිණි. එම හිතවත්කම මත එම නිවෙසට වැඩම කළ උන්වහන්සේ කෙරෙහි එම චිත්‍ර ශිල්පියාගේ එක් කුඩා දරුවකු මහත් ලෙන්ගතුකමක් දැක්වීය.

උන්වහන්සේ දරුවාට සිංහල හෝඩියේ අකුරු කියාදුන් අතර සිංහල අක්ෂරවල හැඩතල, සහ උච්චාරණය පිළිබඳව කුඩා දරුවාගේ සිතෙහි ඇල්මක් ඇති විය. වයස අවුරුදු අටේදී සිංහල බසට ආදරය කරන්නට පටන්ගත් එම කුඩා දරුවා තම පාසල් අධ්‍යාපනය අවසන් කොට සිංහල භාෂාව පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීම සඳහා 1964 දී ශ්‍රී ලංකාවට පැමිණි අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව භාෂාව හදාරන්නට විය. ඒ දරුවා තදෂි නොගුචිය. ඔහුගේ ගුරුවරයෙක් වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයි. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල උගත් ඔහු සිංහල බසින් තම ප්‍රථම නවකතාව රචනා කළේය. ජපානයේ සිටින තම පෙම්වතියට ලියූ ලිපි පෙළක් ලෙසින් රචිත එම නවකතාව අනිත්‍ය ජීවිතයක් නම් විය. පසුව ඔහු පියසේන සරත්චන්ද්‍ර සමග එක්ව ජපානයට කෙටිමගක් නමින් ජපන් භාෂාවේ එදිනෙදා භාවිත කෙරෙන වාක්‍ය ඉගෙන ගැනීමට හැකි කෘතියක් රචනා කළේය. ඔහු විසින් මුලින්ම සිංහලට පරිවර්තනය කළ ජපන් කෘතිය වූයේ ප්‍රකට ජපන් ලේඛකයකු වූ නක්සුමෙ සොසෙකිගේ මනෝ විග්‍රහාත්මක නවකතාවක් වන කොකොරො නවකතාවය. 1979 ජනවාරියේ එය ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර මිල රුපියල් 20ක් විය.

යළි ජපානයට ගිය ඔහු වරින්වර ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු විවාහ වූයේද සිංහල කාන්තාවක සමඟිනි. ජපානයේ තම ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූ ඔහුගේ දෙවැනි මව්බිම වූයේ ශ්‍රී ලංකාවය. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල්දූව, ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය සහ විරාගය යන කෘති ජපන් බසට පරිවර්තනය කළ අතර බොහෝ වෙහෙසක් දරමින් පළ කළ සිංහල - ජපන් හා ජපන් - සිංහල ශබ්දකෝෂ දෙක ජපානයේ මෙන්ම ශ්‍රී ලංකාවේද සිංහල හා ජපන් බස ඉගෙන ගන්නා සිසුන්ට අගනා කෘති ද්වයක් විය. පසුකාලයේ එම ශබ්දකෝෂ වඩාත් විධිමත් කරමින් අලුත් වදන් රුසක් ඇතුළත් කරමින් මින් වසර කිහිපයකට පෙර තවත් සිංහල - ජපන් ශබ්දකෝෂයක් ඔහු එළිදැක්වීය. එය ප්‍රකාශයට පත් කළේ ජපානයේ සන්සෙයිදෝ ප්‍රකාශන සමාගම විසිනි.

ෆුකෝකා චිතපට උළෙල නියෝජනය කළ තිස්ස අබේසේකරයන්ගේ විරාගය චිත්‍රපටය සඳහා ජපන් උප ශීර්ෂපාඨ සකස් කළේද තදෂි නොගුචිය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ඔහු විසින් ජීවිත කාලය පුරාම කළ දායකත්වය අගයමින් 2017 දී ජපාන රජය විසින් “The Order of the Rising Sun, Gold and Silver Rays” නමැති සම්මානය ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා රජය ද ඔහුට “ශ්‍රී ලංකා රංජන” යන ගෞරවනීය නාමය පුද කළේය.

මා තදෂි නොගුචි හඳුනාගත්තේ අපුරු ලෙසකිනි. එවක පාසල් අධ්‍යාපනය අවසන් කර සිටි මා ජපන් සාහිත්‍යය කෙරෙහි දැක්වූයේ මහත් ඇල්මකි. ඒ වනවිට යසුනරි කවබතාගේ යුකිගුනි (ස්නෝකන්ට්‍රි - හිම බිම) කියවා සහ රෂොමොන් චිත්‍රපටය නරඹා සිටි මට කොකොරෝ කෘතිය නවතම අත්දැකීමක් එක් කළේය. ලෝකය ගැන කලකිරුණු හුදෙකලාව අගය කළ පුද්ගලයකුගේ සංකීර්ණ චරිතය වටා එම නවකතාව ගොඩනැගී තිබිණි.

කොකොරො නවකතාව කියවීමෙන් ලද ආස්වාදය නිසා එහි පරිවර්තකයා වූ නොගුචි මහතාට ඒ පිළිබඳව විචාරයක් ලියා ජපානයට යැවීමි.

1980දී ඔහු ලංකාවට පැමිණි අතර තමන් හමුවන්නට පැමිණෙන මෙන් දන්වා මට ලිපියක්ද එවීය. ඒ අනුව අපගේ පළමු හමුව සිදු වූ අතර ඉන්පසු ඔහු ලංකාවට පැමිණි අවස්ථා කිහිපයකදීම අප හමුවිය. මට නොගුචි මහතා අවසන් වරට හමුවූයේ මින් වසර හත අටකට ඉහත ශ්‍රී ලංකා පදනම් ආයතන ශාලාවේ පැවැති කිසියම් උත්සවයකදීය. ඔහු පැමිණ සිටියේ කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා සමඟය. උත්සවයෙන් පසු බම්බලපිටියේ භෝජනාගාරයක සුහද සාකච්ඡාවක යෙදෙමින් පැයක් පමණ ගත කළෙමු. ඒ අපගේ අවසන් හමුව විය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00