2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

අනේ මෙහෙම ඇත්ත!

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

අප්‍රේල් නොහොත් බක් මාසය ඇරඹෙන්නේම මරි මෝඩ විදිහකටය. පළවෙනිදාම මෝඩයන්ගේ දවසය. තුන්සිය හැටපස් දවසේම ලණු කන මිනිස්සු, එදාටත් එක එකා දෙන ලණු ගිලිති.

ඊයේ පෙරේදා විකට චිත්‍රයක දුටු ආකාරය‍ට, මිනිස්සු අප්‍රේල් පළවෙනිදා රුවටෙන්නේ, සියයට දහයක ප්‍රමාණයකි. සියයට සියයක්ම රුවටෙන්නේ මැතිවරණය දවසේය.

මුද්‍රිත මාධ්‍ය ප්‍රබලව පැවති අවධියේ තම පාඨකයනට අප්‍රේල් පළවෙනිදා අහිංසක බොරුවක් කීමේ සිරිතක් පැවතුණි. ඒ බව දත් පාඨකයෝද, අප්‍රේල් පළවෙනිදා පත්‍රයේ මුල පිටුවේම පළකෙරෙන බොරු පුවත කුමක්දැයි සෙවූහ. පාඨකයාට ලෙහෙසියෙන් සොයාගත නොහැකි ආකාරයේ බොරුවක් ගෙතීමට, පත්තරකාරයෝද පරිස්සම් වූහ.

60-90 දශක තුළ පැවති, ඉතා ජනප්‍රිය දිනපතා පුවත්පතක් වූ දවස (එහි සාමාන්‍ය දෛනික අලෙවිය 50,000 - 80,000ත් අතර විය.) ද, එක්තරා වසරක අප්‍රේල් 1දා, තම පාඨකයනට විහිළුවක් කිරීමට සිතා, මෙබඳු පුවතක් පළ කළේය.
අද දවස පුවත්පතේ කිසියම් තැනක විශේෂ අංකයක් මුද්‍රණය කොට ඇත. එම අංකය සහිත පුවත්පත් ලබාගන්නා, පාඨකයනට, දවස ආයතනයෙන් විශේෂ ත්‍යාගයක් පිරිනැමේ.

කෙසේවෙතත්, එය ඇස් රතුවන විහිළුවක් බවට පත් වූයේය. සෑම පුවත්පතකම විගේෂ අංකය මුද්‍රණය වී තිබූ හෙයින් පාඨකයෝ තම ත්‍යාග ලබාගැනීම සඳහා දවස ආයතනයට එන්නට ගත්හ. සමහරු පැමිණියේ දුරබැහැර සිටය. තවත් සමහරු කුලී රථවලිනි.

පාඨකයන්ට මුහුණ දිය නොහැකි වූ ප්‍රධාන කර්තෘ, හැංගුණේය. ප්‍රදේශීය ප්‍රවෘත්ති කර්තෘ ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව තව තවත් අයගේද සහාය ඇතිව අප්‍රේල් පළවෙනිදා විහිළුව ගැන තතු පහදා පාඨකයන්ගෙන් සමාව ගත්තේය.

වර්තමානයේ පුවත්පත් වෙතින්, එම, අප්‍රේල් පළවෙනිදා විහිළු කිරීමේ සම්ප්‍රදාය ගිලිහී ගොසිනි. අනික් අතට, දැන් පුවත්පත් බලන්නකුට, හැම දිනකම අප්‍රේල් පළවෙනිදාවක් යැයි සිතෙන්නට ඉඩ ඇති බැවින්, එදාම පමණක් අමුතුවෙන් බොරුවක් කීමේ තේරුමක් ද නැත.
එක් අතකින් බලන විට ලෝකයේ පැවැත්ම සඳහා බොරුවද නැතුව බැරිය. බොරුවක් නොකියූ මිනිසකු සොයාගත හැකිද? බොරු පොරොන්දුවක් නුදුන් දේශපාලකයකු සිටිය හැකිද?

ලෝකයේ හොඳම බොරු කියන්නා තේරීමේ තරගයකදී ජයග්‍රාහකයා වූ බොරුකාරයා කියූ බොරුව වූයේ තමා ජීවිතයේ කිසිම දිනෙක බොරුවක් කියා නැති බවය.

බොරුවට ආයුෂ නැති බව ඇත්තකි. එහෙත් සමහරු තම ආයුෂ රුකගන්නේද බොරු කීමෙනි. ඒ බවට නීතිඥ මහත්වරුද සාක්ෂි දරනු ඇත.

උසාවිය යනු බොරු කියන තැනක් නොවේ. එහෙත් සමහරු එහිදීද බොරු සාක්ෂි දීමට ගොස් අමාරුවේ වැටෙති.

බොරුව, බොරුවක් වන්නේ, එය ඇත්තක් නොවේ යැයි සනාථ වූ පසුය. එසේ නොවන තාක් කල් බෙරුවටද ඇත්තක් සේ පැවතිය හැකිය. ඒ අනුව බලන කල, අප ඇත්ත යැයි විශ්වාස කරන ඇතැම් දේ පට්ටපල් බොරු වීමටද ඉඩ ඇත.

බොරුවක් කියන්නාට, එය රුකගැනීම සඳහා තව තවත් බොරු කියන්නට සිදුවෙයි. බොරුව පවත්වාගෙන යා හැක්කේද බොරුවෙන්මය. ඔබ ඇත්ත කියන්නේනම්, කිසිවක් මතක තබාගත යුතු නැතැයි. ගත්කරු මාක් ට්වේන් උපහාසාත්මකව සඳහන් කර ඇත්තේද එහෙයිනි.

බොරු ගැන, මරු කතා රාශියකි. ඒ කතා ඇතුළේ, ඇත්තක් ද තිබීම පුදුමසහගතය.

එක් ගුරුවරයෙක් පන්තියට එන විට, ළමයි කෑකෝ ගසමින් සිටියහ.

මොකද මේ ඝෝෂාව? ගුරුවරයා ඇසීය.

සර්, අපි රුපියල් පන්දාහේ නෝට්ටුවක් ඇහින්දා. ඉතින් අපි තීරණය කෙරුවා, අපි අතරින් හොඳම බොරුව කියන එක්කෙනාට ඒක තෑගි කරන්න.

ෂී ළමයි... බොරු කියන එක හොඳ වැඩක් නෙවෙයි. මම ඔයගොල්ලන්ගෙ වයසෙදි, බොරුව කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නෑ. 

ගුරුවරයා කනස්සලු පෙනුමින් යුතුව කීය. ළමයි, වහාම රුපියල් පන්දාහ ගුරුතුමාට තෑගි කළහ. 

එක්තරා රටක දේශපාලනඥයෙක්, විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට ගියේය.

ඩොක්ටර්, මගේ අතින් හරියට බොරු කියවෙනවා. මට දැන් ඒක නතර කර ගන්න ඕනෙ. ඒකට මොනව හරි ප්‍රතිකාරයක් තියෙනවද?

මඳක් කල්පනා කළ වෛද්‍යවරයා, ඔහුට බෙහෙතක් නියම කළේය.

මාස කිහිපයකට පසු, දේශපාලනඥයා යළිත් වරක් වෛද්‍යවරයා හමුවීමට පැමිණියේය.

ඩොක්ටර්, අර බෙහෙතට බොරු කියන එක නැවතුණා. ඒත් දැන් ඉලෙක්ෂන් එක ළං වෙනකොට ආයෙත් ලෙඩේ පටන් ගත්තනෙ. ඒක නිට්ටාවටම හොඳ වෙන්න බෙහෙතක් තියෙනවද? 

ඒ ඇසූ වෛද්‍යවරයා, බැරූරුම් බැල්මක් හෙළීය.

බොරු කීම නිට්ටාවටම හොඳ වෙන්න නම්, ඔබ දේශපාලනයෙන් සමුගත යුතුයි. රෝග නිධානය තියෙන්නේ එතනයි.

හොඳයි, මම එහෙම කරන්නම්.

දේශපාලනඥයා එසේ කියා ඉවත ගිය නමුදු, ඔහු ඒ කීවේ තවත් බොරුවකි. බොරුව සහ දේශපාලනය යනු, එකම කාසියේ දෙපැත්තය. හරියට, %අවංක^ යන වචනය තුළ වංක, අවංක තේරුම් දෙකම රුඳී ඇත්තා සේය. අප අවංක දේශපාලනඥයා යැයි කියන්නේ, තමන් බොරුවට හසුවී ඇති බව නොදැන සිටින පුද්ගලයාටය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ලෝකයේ තිබෙන හොඳම බොරුව යැයි කියූ, විප්ලවවාදී දේශපාලනඥයෙක් පසුව, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකට බැඳුණේය. ඒ ඔහුට සත්‍ය අවබෝධ වූ බැවිනි. සත්‍ය සහ අසත්‍ය යනු අඹු සැමි යුවලකි. සත්‍යයට අවශ්‍ය වූ විට අසත්‍ය යහනට ගනී. ඉන් පසු....

 කපිල කුමාර කාලිංග