2021 මාර්තු 27 වන සෙනසුරාදා

උසස් කවි බසකින් පිරිපුන් වීණා

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 197

පෙර අපර දෙදිග සම්භාව්‍ය සාහිත්‍ය කලාවන් ප්‍රගුණ  කිරීම කවියෙකුට කෙතරම් වටනේදැයි අපට හැඟී ගියේ, මෑතක දී එළිදුටු ප්‍රවීණ කවියෙකු වන විපුල හේවා වලිමුනිගේ ‘වීණා’ කාව්‍ය සංග්‍රහය පරිශීලනය කිරීමේදීය. එම මාහැඟි හැදෑරීම කවියෙකුට පමණක් නොව, කාව්‍ය රසිකයෙකුට වුවද අත්‍යවශ්‍ය හැදෑරීමකි. එසේ වන්නේ උසස් බසකින් කරන ලද එවන් කවිකම්හි අර්ථාවබෝධය එමගින් වඩාත් පහසු කරවන හෙයිනි.

කවිවර ප්‍රකාශනයක් වන ‘වීණා’ විපුලගේ සිව්වැනි කාව්‍ය සංග්‍රහයයි. 1982 තරම් ඈත වකවානුවක  සුනන්දා රණසිංහ කිවිඳිය සමඟ ‘බුදු නොවෙනා බෝසත්වරැ’ නමින් සාමූහික කාව්‍ය සංග්‍රහයක් පළ කරමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු, ඉන් පසුව ඇය සමඟම ‘පහන් දොර’ (1987) සහ ‘කටු යහන’ (1995) නමින් තවත් සාමූහික කාව්‍ය සංග්‍රහ දෙකක් පළ කරයි. ‘වීණා’ යනු සාමූහික කාව්‍ය සංග්‍රහ පළකිරීමෙන් මිදුණු ඔහුගේ ප්‍රථම කේවල කාව්‍ය සංග්‍රහයයි. කාව්‍ය රචනා හතළිස් දෙකකින් සමන්විත මෙම කෘතියේ සංගෘහිත සමහර නිර්මාණ සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරේ වැඩුණු නිර්මාණ ලෙස වෙසෙසින් හඳුනාගත හැකිය.

මෙහි එන ‘වෙණ වෙණ ජ’ නම් වූ ප්‍රථම කවියම ඊට දෙස් දෙයි.

මධුර මධු රස දෙන මහරැ වෙණ
වයනු කිම දන සවන මී ලන
එරන කහවනු නගන මිණි මිණි
නොදෙන වෙණ වෙන හඬකි හැඬැවෙන

රසිකයන්ගේ කන්වල මී පැණි වත්කරන තරම් මියුරැ වීණා නාදය කාසි පනම් නොලැබෙන විට වෙනත් හඬකින් හැඬැවෙන්නේ මන්දැයි ඔහු ඉහත කවියෙන් ප්‍රශ්න කරයි.

මෙහි අවසන් කවෙන් ඔහු මෙම ඛේදවාචකය වඩාත් තීව්ර කොට දක්වයි.

තබමි වෙනඟණ ළමැද වෙණ දෙනි
වසමි සරසවි වසන දොරගුළු
මියුරැ වෙණකම් සරිය ගණරන්
නොදෙත මසුරන් වෙණ ද නොවයමි

මෙමගින් ගම්‍ය වන්නේ ගීතයක් නිර්මාණය කිරීම සඳහා දස දහස් ගණනින් මුදල් අයකරන, වත්මන් සංගීතඥයන් සහ ගීතයක් ගායනා කිරීම සඳහා එවන් මුදලක්ම අයකරන ගායකයන් තම ආත්ම අභිමතාර්ථය වෙනුවෙන් නිර්මාණය කර තිබෙන සමාජ ඛේදවාචකය නොවන්නේද?

විපුලගේ ‘වීණා’වට ඇතුළත් බොහෝ නිර්මාණවලින් ඔහු සමාජ සංසිද්ධීන් පිරිමදින්නට ගෙන ඇති උත්සාහය පැසසුම් කටයුතුය. එසේම, ඒ බොහෝ නිර්මාණ උත්ප්‍රාසයෙන් යුක්තය. රසිකයා ඥානනය කරන්නට එම උත්ප්‍රාස රසය බෙහෙවින් ඉවහල් වෙයි. අපේ රටේ සදාචාරය ප්‍රශ්න කරන උත්ප්‍රාසයෙන් පිරිපුන් එවන් නිර්මාණයක් පොතේ 19 වැනි පිටුවේ ‘ගලේ කොඩිය’ නමින් අපට මුණගැසෙයි. එහි අවසන් කවිය පමණක් ගෙන එහි ඇති උත්ප්‍රාසය රස විඳිමු.

වනෙත් නැති සිංහයෙක් කුමට කොඩියට
යටත් වැසි මරන් කන සතෙකු කුමකට
සතෙක් ඕනෑම නම් කොඩිය හැදුමට
කටුස්සෙක් තබමු! රන් මාල ගෙල වට

මෙහි එන ‘ලජ්ජා ස්ථානය වසාගනු පිණිස’ (6-9 පිටු), ‘න ජච්චා වසලෝ හෝති ‘ (23-25 පිටු) යන දිනෙන් දින පිරිහීමට පත්වන අපේ රටේ සංඝ සමාජය ප්‍රශ්න කරන දිගු කවිද්වය මෙන්ම, ජීවිතයේ යථා ස්වරෑපය පිළිබඳව පාඨකයා සිතන්නට පොළඹවන ‘අඳුර, දුක හා මරණය’ (42-43 පිටු) යන නිර්මාණය ද  මහගම සේකරයන්ගේ ඇතැම් කාව්‍යා කෘති අපට සිහිගන්වයි. නිර්මාණකරණයේ දී  ප්‍රස්තුතයට වඩාත් ගැලපෙන කාව්‍යාකෘතීන් සොයා යාම කවීන් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු හෙයින්, එය කිසිසේත්ම වරදක් නොවේ.

විපුල තම නිර්මාණ කාර්යයේ දී ව්‍යක්ත භාෂාවක් මෙන්ම, සරල සුගම බස්වහරක් ද අවස්ථාවෝචිතව භාවිත කරයි. ඉපැරණි සම්භාව්‍ය සාහිත්‍යයේ එන ව්‍යක්ත වදන් යොදාගනිමින් ඔහු ලියා ඇති මෙහි එන ඔහුගේ බොහෝ හොඳ කවි බොහෝ දෙනෙකුට නොතේරෙනවා විය හැකිය. එය පුළුල් වාග්කෝෂයකින් හෙබි ඔහුගේ වරදක් නොව, අපගේ ඉපැරණි සම්භාව්‍ය සාහිත්‍යය අප  පරිශීලනය නොකිරීමේ වරදය. එහෙයින්, එම වදන්වල අරැත් වෙහෙස මහන්සියෙන් උපයා සපයාගෙන එවැනි කවි රස විඳීම සාහිත්‍ය සේවනයේ ලැදි රසික සුළවතුන් සතු කාර්යභාරය වෙයි.

I අනුර බී. සෙනෙවිරත්න

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00