2021 මාර්තු 27 වන සෙනසුරාදා

ඔන්ලයින් උන්මාදය

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

කලකට පසු, මා වාසිබෝලන්තයට ගියේ එහි ජනමාධ්‍යවේදීන්ගේ වාර්ෂික සමුළුවේ, ආරාධිත විදේශ නියෝජිතයකු වශයෙනි. ඒ අතරවාරයේ, මට එරට ජාතික රෝහලක්ද දැක ගැනීමට අවස්ථාවක් ලැබුණේ මා, මිත්‍ර, වාසිබෝ මාධ්‍යවේදී, අහඹුවා මල්විපානි සමඟ ඔහුට අවශ්‍ය ඖෂධයක් ගැනීමට එහි ගිය හෙයිනි.

ජාතික රෝහලක් වුවක්, පෞද්ගලික රෝහලක සුබෝපභෝගී, නවීන පෙනුමින් යුත් එහි, එත් පසෙක තිබූ තරමක් දිග පෝලිමක් දැක කුතුහලයට පත් මම අහඹුවාගෙන් මෙසේ ඇසුවෙමි.

මොකක්ද මේ පෝලිම? කොරෝනා එන්නත ගහගන්නද?

අපොයි නෑ. අපි එන්නත ගහල ඉවරයි, මේක වෙන කේස් එකක්?

මොකක්ද ඒ?

අපි ඒකට කියන්නේ ඔන්ලයින් උන්මාදය කියලා. ඒ රෝග ලක්ෂණ පහළ වුණු අය තමයි, ඔය පෝලිම් ගැහිල ඉන්නෙ.

වටපිට බැලූ මට මනෝ වෛද්‍ය අංශය යන පුවරුවද පසෙක බිත්තියක සවිකර තිබෙනු දැකගත හැකි විය. මම වඩාත් අවධානයෙන් රෝගීන් දෙස බැලුවෙමි. ඒ අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම රජයේ හා පෞද්ගලික අංශවල විවිධ තරාතිරම්වල රැකියා කරන්නවුන් වෙතැයි මට හැඟුණි. කෙසේ වෙනත් ඔවුන්ගේ හැසිරීමේ කිසිදු උන්මාදයක් මට නොපෙනුණි.

මගේ කුහුල වටහාගත්, අහඹුවා, ඔන්ලයින් රෝග ලක්ෂණ පිළිබඳව මට කෙටියෙන් පැහැදිලි කිරිමක යෙදුණේය.

1. ප්‍රතිකාර ගැනීමට තරම් රෝග ලක්ෂණ මතුවන්නේ වසරක පමණ කාලයක්, ඔන්ලයින් මගින් කාර්යාලයීය හෝ පාඨශාලීය (අධ්‍යාපනික) කටයුතුවල යෙදුණු පසුවය.

2. ඔව්හු, හැමවිටම, අසුනක හිඳ, එක දිසාවක් බලා සිටීම ප්‍රිය කරති. 

3. සමහරුන්ගේ කතාබහද ක්‍රමයෙන් අඩුවෙයි. 

4. කෑම බීමටද උනන්දුවක් නොදක්වයි. අත ළඟට ගෙන ගොස් දුනහොත්, මොනවා හෝ ගිල දමයි. එහෙත් තමන් කන්නේ බොන්නේ මොනවාදැයි නොදනී.

5. වැඩෙහි යෙදී සිටින අතර, අන්‍යයන්ගේ බාධා කිරීම් නොරුස්සයි

6. සිග්නල් දුර්වල ප්‍රදේශවල ඔන්ලයින් රෝගීන්, නිතරම ගස් උඩ හෝ කඳු මුදුන්වල කාලය ගත කිරීමට කැමැත්තක් දක්වයි.

7. බොහෝ දෙනා රුවුල්, කොණ්ඩා කැපීම අත්හැර දමති. ඇඳුම් පැළඳුම් ගැන උනන්දුවක් නොදක්වති. සමහරු කොට කලිසමක් හෝ සරමක් වැනි දෙයක් හැඳ, උඩුකයට පමණක් හොඳින් හැඳ, සිටිති. (ඔන්ලයින් ක්‍රමයේදි, යට කොටසින් වැඩක් නැති හෙයිනි.)

8. කොම්පියුටරයට සීමා වූ වටපිටාවකට හුරුවන බැවින්, අවට ලෝකය සමඟ කිසිදු ගනුදෙනුවක් නැති, සමාජ ආශ්‍රයකින් තොර, හුදෙකලා ජීවියකු බවට පත්වෙයි.

මේ විස්තරය ඇසූ මට එක්වරම මතකයට නැගුණේ, අප අසල්වැසි නිවෙසක වෙසෙන, කුඩා පාසල් සිසුවියක ගැනය. ඇය සැමදාම උදෑසන මට අද ඔන්ලයින් යන්න බෑ කියමින් හඬයි. ඊට පෙර ඇය හැඬුවේ මට ඉස්කෝලේ යන්න බෑයි කියමිනි. ඒ ගෙදර අම්මා ඔන්ලයින් ටියුෂන්ය. තාත්තා, වර්ක් ෆ්‍රොම් හෝම්ය. විදේශීය සමාගමකට සේවය කරන ලොකු පුතා, දහවල් කාලයේ නිදිය. රාත්‍රී කාලයේ නිදිමරාගෙන ඔන්ලයින්ය. ඔහුට පවුලේ උදවිය මුණගැසෙන්නේ, නිවාඩු දිනයකදී හෝ ඉඳහිට මුත්‍රා කිරීමට යන අතරවාරයකදි පමණි. ක්‍රමක්‍රමයෙන් ඔහු අසල්වාසීන්ගෙන් ද දුරස්ව ගියේය. දැන් ඔහුට ඔවුන්ගේ නම් ගම් පවා මතක නැත.

මා නිහඬව කල්පනාවක නිමග්නව සිටිනු දුටු වාසිබෝ මිත්‍රයා, මෙසේ ඇසීය.

මොකද පුදුමෙන් වගේ, ඇයි ඔබේ රටේ ඔන්ලයින් උන්මන්තක රෝගය නැද්ද?

මාත් මේ කල්පනා කෙරුවෙ ඒක තමයි. පසුගිය ටිකේ කොරෝනා කාංසිය නං මටත් හැදිල තිබුණා බාර් ඇරියට පස්සෙ ඒක හරි ගියා.

ඔන්ලයින් තියෙනවා නං, උමතුවක් හැදෙනවම තමයි. එත් සමහරු ඒක දන්නේ නෑ.

ඔව්. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒකට බෙහෙත් තියෙනවද?

බෙහෙත් නෑ... මනෝ වෛද්‍ය ප්‍රතිකාර තමයි තියෙන්නෙ. ඒත් නිට්ටාවටම හොඳ වෙන්න නං, ඔන්ලයින්, වර්ක් ෆ්‍රොම් හෝම් ක්‍රමවලින් අයින් වෙන්න ඕනෙ.

වාසිබෝ මිත්‍රයාගේ කීමෙන් මට පෙනී ගියේ, ඔන්ලයින් උන්මාදය සුවපත් කිරීමද, කෝවිඩ් වසංගතය දුරුකිරීම මෙන්ම ලෙහෙයි පහසු කටයුත්තක් නොවන බවය. කෙසේ වෙතත්, සිරි ලංකාවට ගිය පසු මෙම අලුත්ම රෝගී තත්ත්වය ගැන හෙළි කිරීම, බොහෝ කල්පනාවෙන් කළ යුතු බව හැඟුණි. නැත්නම් නැවත වරක් පැණිකාර වෙදරාළලා, වැඩට බැස, ඔන්ලයින් උන්මාදය දෙගුණ තෙගුණ කරනු ඇත. (ඒ සිද්ධිය සිහිපත් වන විට නම් සිතෙන්නේ, සිරි ලංකාවෙන් බාගයකටම උන්මාදය වැළදී ඇති බවය.)

ආපසු සිරි ලංකාවට අවුත් දින කිහිපයකින් මට නියම කතාවක් අසන්න ලැබුණි.

රජයේ ආයතනයක සේවක පිරිසට නිවසේ සිට වැඩ කිරීමට නියෝග කෙරුණි. ඔවුනට ඒ සඳහා පෙර පුහුණුවක්ද ලැබුණු අතර, සේවා කාලය සුපුරුදු ලෙස පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා විය. 

සියල්ලෝ සතුටින් නිවෙස්වලට වී වැඩ පටන් ගත්හ. එහෙත් පසුව සොයා බැලීමේදී පෙනී ගියේ සියල්ලන්ටම වැඩ පටන් ගන්නේ පෙරවරු 10ට බවය. අවසන් කරන්නේ පස්වරු 3.30ටය.

ඊට හේතුව, රජයේ සේවකයන් බොහෝ දෙනෙක් සේවයට එන්නේ දුර බැහැර සිට බැවින්, ඔවුන් උදෑසන මුහුණ කට සෝදා, තේ පානය කර වැඩ අරඹන්නේ දහයටය. සවස දුම්රිය හෝ බස් රිය ඇල්ලීමට තිබෙන බැවින්, හතරට පෙර පැන ගනිති. ගෙදර සිට වැඩ කළත්, ඔවුනට ඒ පුරුද්ද අත්හැර ගත නොහැකි විය.

 කපිල කුමාර කාලිංග  

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00