2021 මාර්තු 20 වන සෙනසුරාදා

ලින්කන්ලා සහ සීසර්ලා

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 163

ට්‍රම්ප්, බයිඩන් ජනපතිවරණ සටන ඇවිළී තිබූ සමයේ, ඇමෙරිකානු පුවත්පතක දේශපාලන උපහාස තීරුවක මෙසේ ලියැවී තිබුණි.

ඒබ්‍රහම් ලින්කන් ගැන නොදන්නා ඇමෙරිකානුවෙකු ඇතැයි සිතිය නොහැක. එවැන්නකු සිටී නම් අනිවාර්යයෙන්ම ඔහු ට්‍රම්ප්වාදියකු විය යුතුය.

ඒ කියුමෙන් අදහස් වූයේ ට්‍රම්ප්වාදීන් යනු ඇමෙරිකානු ඉතිහාසය පවා නොදත්, නූගත් මෝඩ පිරිසක් බවය.

ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන්, එරට ඉතිහාසයෙහි එන ශ්‍රෙෂ්ඨතම පුද්ගලයෙක් ලෙසින් ජනතා පිළිගැනීමට ලක්විය. ධවල මන්දිරය තුළ, ලින්කන්ගේ අවතාරය පවතින්නේ යැයි කතාවක්ද මාධ්‍ය ඔස්සේ පැතිරුණි.( ලින්කන් මියයන්නේ විරුද්ධවාදියකුගේ වෙඩිපහරට ලක්වීමෙහි.)

මෙම අවතාරය පිළිබඳව, සමාජ මාධ්‍ය ජාලයේ පැතිරුණු කතාවකි මේ.

ට්‍රම්ප් ජනපතිවරණයෙන් පරාජය වී මහත් සිත්තැවුලින් පසුවන දිනවල එක් රාත්‍රියක ඔහුට ලින්කන් අවතාරය මුණගැසුණි. ට්‍රම්ප්ට අතට අත දුන් ලින්කන් මෙසේ පැවසීය. 

මම මගෙන් පසුව ඇමෙරිකාවේ හිටපු හැම ජනාධිපති කෙනෙක්ටම රහස් උපදේශයක් දීලා තියෙනවා. ඉන් ඔවුන් ප්‍රයෝජන ගෙන, ඇමෙරිකාව දියුණුවට ගෙන ගියා. ඔබටත් පුළුවන් රටේ දියුණුවට බලපාන ඕනෑම දෙයක් ගැන මගෙන් දැනගන්න
ට්‍රම්ප්, දෙවරක් නොසිතාම මෙසේ ඇසුවේය. ඔබ සිතනවාද බයිඩන් ඇත්තටම ජයග්‍රහණය කළා කියලා

අවතාරය අතුරුදන් විය.

තවත් දිනෙක රාත්‍රියේ, ඩොනල්ඩ් ට්‍රම්ප් නිදිවර්ජිතව කල්පනා කරමින් ධවල මන්දිරයෙහි ඇවිදිමින් සිටියේය. ඔහු ඉදිරියට පැමිණියේ, ඇමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂිංටන්ගේ අවතාරයයි. ඔහු දුටු, ට්‍රම්ප් මෙසේ ඇසුවේය.

ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ රටක් කිරීමට නම්, මා කළ යුත්තේ කුමක්ද?

කිසිමදාක බොරු කියන්න එපා ට්‍රම්ප් එය පිළිගත්තේය. 

ඊළඟ දින රාත්‍රියේ, ඔහුට මුණ ගැසුණේ එරට සිටි තවත් ශ්‍රෙෂ්ඨ ජනපතිවරයකු වූ තෝමස් ජෙෆර්සන්ය. ට්‍රම්ප් ඔහුගෙන්ද අර ප්‍රශ්නයම ඇසුවේය.

ජනතාවට සවන්දෙන්න. ට්‍රම්ප් එයද පිළිගත්තේය.

ඒබ්‍රහම් ලින්කන් නැවත ඔහුට මුණගැසුණු විටක, ට්‍රම්ප් මෙසේ ඇසුවේය. 

ඒබී, මගේ අරමුණ ඇමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. ඒ සඳහා මා කළ යුත්තේ කුමක්ද? ලින්කන් මෙසේ පිළිතුරු දී, අතුරුදන් විය.

ඩොනල්ඩ්, වහාම වේදිකා නාට්‍යයක් නැරුඹීමට යන්න.

(ලින්කන්ට වෙඩිතබා ඝාතනය කෙරුණේ, ඔහු නාට්‍යයක් නරඹමින් සිටියදීය.)

ඒබ්‍රහම් ලින්කන් සම්බන්ධ කරගෙන, කලින් කලට ගෙතුණු මෙබඳු සිනා කතා, උපහාස කතා බොහෝය. ඒවා එක්තැන් කළහොත් කාණ්ඩ වශයෙන් පිටවී ඇති, ලින්කන් චරිතාපදාන තරමටම දිගු වනු නිසැකය.

ඒබ්‍රහම් ලින්කන් අතිදක්ෂ කථිකයෙකි. ඔහුගේ දෙසුම්, නොයෙකුත් කතන්දරවලින් පිරී තිබුණි. ඉන් බොහොමයක් සිනා උපදවන සුළුය. නැත්නම් උපහාසාත්මකය. ලින්කන් කියූ ඇතැම් කතා ඔහුගේම ජීවිතයෙන් උකහාගත් රසවත් හෝ ආදර්ශමත් සිදුවීම්ය. ලින්කන් අවජාතක දරුවකු බවත්, ඔහුගේ බාල විය ඉතා දිළිඳු තත්ත්වයක පැවති බවත් නොරහසකි.

ලින්කන් ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වූ ස්ථානයකට පැමිණ සිටි පුද්ගලයෙක්, ඔහුට අපහාස කරනු පිණිස මෙසේ ඇසුවේය.

ඒබී, තමුසේ ඉස්සර දර විකිණවලු නේද? දැන් කොහෙද ඒ කරත්තේ?

ලින්කන්, කට කොනකට සිනාවක් නගමින් මෙසේ පිළිතුරු දුන්නේය. 

ඒ කරත්තේ නම් දැන් දිරල ගිහින් ඇති. ඒත් මම ඒකෙ බැඳපු බුරුවා, මම යන යන තැන පස්සෙන් ඇවිත් කරත්තේ ගැන අහනවා.

ලින්කන්ට තිබුණේ දිගැටි අමුතු මුහුණකි. එක්තරා කන්තාවක, ලියකන් දුටු අවස්ථාවක් තමුසේ තමයි, මම දැකල තියෙන කැතම මිනිහා යැයි කීවාය.

ඒකට නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ලින්කන් පිළිතුරු දුන්නේය.

ප්‍රතිවාදියෙක්, ලින්කන් මුහුණු දෙකේ මිනිසෙකු යැයි චෝදනා කළේය. එවිට, ලින්කන් පිළිතුරු දුන්නේ, මට මුහුණු දෙකක් තියෙනවා නම්, මම මේ මූණ දාගෙන ඉන්නවාදැ යි අසමිනි.

සිරි ලංකාවේද ඒබ්‍රහම් ලා සිටි නමුත් එකෙකුටවත් ජනාධිපති තියා අගමැති වීමටත් බැරිවිය. අනෙත් අතට, සුද්දන්ගෙන් ලැබුණු ඒබ්‍රහම් වැනි බර වචන, අපේ ගමේ ගොඩේ මිනිස්සු දිවට හුරු ලෙස, තලා, නමා, වහරන්නට ගත්හ. ඒබ්‍රහම්, අබරන් විය. ග්‍රෙගරි, ගිරිගෝරිස් විය. ගේබ්‍රියෙල් ගබිරියෙල්ද, ඇන්ඩ_ අන්දිරිස්ද විය. ජේම්ස් බොන්ඩ් සිංහලයේදී ජේමිස් බණ්ඩා බවට පත්වූයේද ඒ ආරටය.

ලොකු මිනිස්සුන්ගේ නම් ගම්, තම දූ දරුවනට තැබීම පොඩි මිනිසුන්ගේ සිරිතකි. තම දරුවන්ද කවදා හෝ ලොකු මිනිසුන් වෙතැයි ඔව්හු බලාපොරොත්තු වූහ. එහෙත් අවාසනාවකට මෙන්. අපේ රටේ එලිසබත්ලා මේරිලා ගෘහ සේවිකාවෝ වෙති. විලියම්ලා පොල් කඩති. ජේමිස් (ජේම්ස්)ලා, දර පලති. නම නිසා ගොඩගිය අය ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

එංගලන්තයේ උසාවියක, සීසර් නමැති නඩුකාරයෙක් සිටියේය. මිනිමැරුම් නඩුවක විත්තිකරු, මාකස් බෘෘටස් නැමැත්තෙකි. බෘෘටස්ට මරණ දඬුවම නියම කරමින්, විනිසුරු සීසර් මෙසේ පැවසීය. මම මේ තීන්දුව දෙන්න අවුරුදු දහස් ගාණක් බලාගෙන හිටියා.

- කපිල කුමාර කාලිංග