2021 මාර්තු 13 වන සෙනසුරාදා

ඩිජිටල් කවිය සරුවපිත්තල වැඩක්!

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 203

- සම්මානනීය ලේඛක එරික් ඉලයප්පආරච්චි

නවකතා, කෙටිකතා සහ කවි යන නිර්මාණ ඉසව් සියල්ලේම නියැළෙන එරික් ඉලයප්පආරච්චි අපට සිටින ප්‍රවීණතම සාහිත්‍යධරයෙකි. ඔහු තම සෑම නිර්මාණ ක්ෂේත්‍රයකටම රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ, විද්‍යෝදය, ස්වර්ණ පුස්තක ආදී සම්මානවලට බඳුන් වී සිටී. 2020දී ස්වර්ණ පුස්තක සම්මානය හිමිවුණේ ඔහුගේ පේත නවකතාවටය.

• ඔබේ නිර්මාණ කෘති අතරට අලුතින්ම සාහිත්‍ය විචාර සහ රසවිඳීම් කෘතියක් (බැද්දේගම කියවීම සහ සිළිඳු දැකීම) සහ නාට්‍ය ශාස්ත්‍ර පිළිබඳ පොතකුත් එක් වෙනවා. මෙම කෘති ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

නිර්මාණ කෘති ලෙස ‘මැස්සා’ නවකථාව, ‘කොළඹ දැනුම’ කෙටිකථා සංග්‍රහය සහ ‘මගේ තණකොළපෙත්තා’ පද්‍ය සංග්‍රහය පළ වුණා. ‘බැද්දේගම කියවීම හා සිළිඳු දැකීම’  ලෙනාර්ඩ් වුල්ෆ්ගේ සාහිත්‍ය, ලේබර් පාක්ෂික දේශපාලන මෙහෙවර හා විවාහ දිවිය ඇතුළු චරිතාපදානය එකට තබා විශ්ලේෂණයට ගැනීමක් ‘සමකාලීන නාට්‍ය ශාස්ත්‍ර’ කෘතිය මගින් සිදු වන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් හා සැමුවෙල් බෙකට්ගෙන් පසු නාට්‍ය කලාව අවසන් වී නැති බව අද දවසේ ඇමරිකානු හා යුරෝපීය නාට්‍යකරුවන්ගේ ලොමු දැහැගන්වන සමාජ නාට්‍ය ඔස්සේ පිළිබිඹු කිරීමක්.

• මහාචාර්ය විමල් දිසානායක වරක් පැවසුවා විධිමත් විචාරයක් නැතිවීම රටක සාහිත්‍යය දුර්වල වීමට හේතුවක් කියලා. අපේ රටේ විචාරය ගැන ඔබේ අදහස කුමක්ද? ඔබේ නිර්මාණ කෘතිවලට විචාරයන් බලපා තිබෙනවද?

පුදුමාකාර ගැඹුරු නව කියවීමක් රට තුළ සිදුවෙනවා. සිදු නොවන්නේ විදේශ සාහිත්‍ය කෘති හා පරිවර්තන සාහිත්‍ය කෘති පිළිබඳ එවැනි විචාරයයි. මේ නිසා විදේශ සාහිත්‍යය පිළිබඳ ව්‍යාජ ආකෘතිවාදී, මැජිකල්වාදී, මනස්ගාතවාදී, ව්‍යාපෘතිවාදී හා ව්‍යාපාරවාදී දුමාරය හා දුර්ගන්ධය පැතිරී තියෙනවා.  

• සමහර ලේඛකයන් තම කෘතිවල අඩුපාඩු පෙන්වා විචාර ලියූ විට විචාරකයා සමඟ තරහ වන අවස්ථා අසන්නට ලැබෙනවා. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද?

ඒ ගැටුම කවදත් තිබුණා. පේරාදෙණි සාහිත්‍යය තුළත් තිබුණා. අර්නස්ට් හෙමිංවේ විචාරකයින් සමඟ ගහගත්තා. විචාරයත් නිර්මාණාත්මක ලේඛනයක්. එයත් ප්‍රතිවිචාරයට ලක් කරන්නට පුළුවන්. විවිධ මට්ටමේ විචාර තිබෙනවා. ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණ පවා අද විවේචනයට ලක් වෙනවා. ඔහුගේ ජීවිත නිරෑපණය හා කලාත්මක ව්‍යුහය ඉතා උසස් වුණාට කතා ගෙතීම හෙවත් ‘ස්ටෝරි ටෙලිං’ අතින් එඩ්ගාර් ඇලන් පෝට වඩා දුර්වලයි කියලා. 

• ඔබ කවියේදී වඩාත් ගැඹුරු සාහිත්‍ය අනුභූතින් සොයා යනවා. නමුත් සමාජයේ වැඩිපුර ජනප්‍රියව ඇත්තේ සරල ‍ ෆේස්බුක් කවි බවයි අපට පේන්නේ. ඩිජිටල් කවිය ගැන ඔබේ අදහස කිව්වොත්...

ඩිජිටල් කවිය කියා දෙයක් තියෙනවා නං එය සංයුක්ත කවිය වගේ ‘විෂුවල් කවියක්’. එනමුත් සංයුක්ත කවියේ චිත්‍රාත්මක හා අක්ෂරාත්මක දාර්ශනිකත්වය හා පරිකල්පනය වෙනුවට එහි තියෙන්නේ සරුවපිත්තල මාධ්‍ය උද්දාමයක්. ඒක දෘෂ්‍ය කවියක්. ඒක සිංහල හයිකු කවියේ දරුවෙක්.  

• අද සමාජ මාධ්‍යවලින් කවි, කෙටිකතා වගේම නවකතා පවා පළ වෙනවා. මේ නිසා කිසිම කැපවීමකින් දුෂ්කර අධ්‍යයනයකින් තොරව තම නිර්මාණ එළිදැක්විමට තරුණයන්ට වේදිකාවක් තිබෙනවා. මෙය ප්‍රවීණ සාහිත්‍යවේදියෙක් ලෙස ඔබ දකින්නේ කෙසේද?

සිංහල සාහිත්‍ය කර්මාන්තය පහුගිය කාලේ ව්‍යාප්ත වුණාට සංස්කරණ තාක්ෂණය අතින් දියුණු වුණේ නැහැ. අත් පිටපතක තත්ත්වය උසස් කරන  ‘වියමන් සංස්කරණය’ හෙවත් ‘කොපි එඩිටිං’ කියන විෂය ඊට අනුබද්ධ වුණේ නැහැ. සාහිත්‍ය උපාධිධාරීන් ඒ වටිනා වෘත්තිය වෙනුවෙන් පුරුදු පුහුණු කළ යුතුයි. අපිට තවම පෲෆ් රීඩිං මෘදුකාංගයක්වත් නැහැ. මිනිස් සංස්කරණය සාහිත්‍ය සංස්කරණයට අනිවාර්ය වුණත්, යුරෝපයේ ප්‍රකාශකයින් අත්පිටපතක ගුණාත්මකභාවය නිගමනය කළ හැකි මෘදුකාංග නිපදවා තිබෙනවා. එය පෲෆ් රීඩිං මෘදුකාංගයක දියුණු ප්‍රබන්ධ-විද්‍යාත්මක අවස්ථාවක්. අපේ මේ ක්ෂේත්‍රයේ භාෂා දර්ශනය අජිත් තිලකසේනගෙන් නැවතිලා. එය ලුඩ්විග් විට්ගන්ස්ටයින්, රසල්, වයිට්හෙඩ් ඔස්සේ ඉදිරියට යා යුතුයි. එය ලේඛකයාගේ නොව ප්‍රකාශකයාගේ ක්ෂේත්‍රයයි. පැටළුණොත් විනාශයි.

 කුසුම්සිරි