2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ඉන්දු - පකිස් මිසයිල්

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

මාධ්‍යවේදියකු වශයෙන්, මම ජාත්‍යන්තර කටයුතු ගැන උනන්දු වෙමි. එහෙත්, කිසිවිටෙකත් ජාත්‍යන්තර ප්‍රශ්න ගැන නොලිවීමට පරිස්සම් වනුයේ, එය අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරවන බැවිනි. එහෙත් මෙවර මට පකිස්ථානය ගැන නොලියා සිටීමට බැරිය. එයට හේතුව ඔබ කවුරුත් දන්නා පරිදි එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, සිරි ලංකාවේ දෙදින සංචාරයක යෙදීමය. එතුමා මෙහිදී කළ කී දෑ ගැන මා කිසිවක් නොලියන්නේ, එය රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් බැවිනි.

ඉන්දියාවත්, පකිස්ථානයත්, බංග්ලාදේශයත් යනු, කලකට ඉහත එකම රටකි. එය බෙදා වෙන්කරගත් පසු, කාට කාටත් මුල අමතකය.

ඉම්රාන් ඛාන් අප රටට පැමිණීම නොරුස්සන රටවල්ද ලෝකයේ ඇත. අප දෙගොල්ලන්ගේම මහා අසල්වැසියා වන ඉන්දියාවද ඒ අතර සිටීම කනගාටුවට කාරණයකි.

ඊයේ පෙරේදා මා ඇමතූ ඉන්දියානු පත්‍ර කලාවේදියකු පැවසූ අන්දමට, පකිස්ථානය යනුවෙන් වෙනම රටක් බිහි නොවන්නට, ඉම්රාන් ඛාන්ට, එරට අගමැතිවරයා වීමට කලින්, ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීමට හොඳටම අවස්ථාව තිබුණි.
කොහොම වුණත්, ඉම්රාන් හොඳ දේශපාලන ගමනක් ආවා නේද? මම, ඉන්දීය මිත්‍රයාගෙන් අසුවෙමි.

ඔව්. ඒත් ඒ ගමන ඔයිට වඩා ඉක්මන් වෙනවා මිනිහා, කසාද තුනක් බඳින්ඩ කාලෙ නාස්ති කෙරුවෙ නැත්තං.

අපට එරෙහිව මානව අයිතිවාසිකම් ප්‍රශ්න මතුවී ඇති මේ කාලයේ, මම ඉම්රාන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිට, නිශ්ශබ්ද වූයෙමි.

ඉන්දියන්කාරයාට පකිස්ථානුවාගේ හොඳක් පෙනෙන්නේම නැත. පසුගිය දිනවල, ඉන්දීය පුවත්පත්වල පළවූ %පකිස් - ප්‍රහාර^ තීරු ලිපි කීපයක සඳහන් කියුමක් දෙකක් මගේ මතකයට නැගෙයි.

පකිස්ථානය යනු ත්‍රස්තවාදයෙන් තොර, සාමකාමී, නිදහස් රටකි. එය කොතරම් නිදහස්දැයි කියනවා නම්, ඔසාමා බින් ලාඩන් ද අවුරුදු හයක්ම, එහි නිදහසේ වාසය කළේය.

පකිස්ථානු ජනතාව ඉතා විනයගරුකය. කොවිඩ් වසංගතය නිසා, එරට වැසියන්ට නිවසේ සිටම වැඩ කරන ලෙස (work from home) රජයෙන් දන්වනු ලැබුණි. එතැන් සිට, එරට බෝම්බ පිපිරීමට පටන්ගත්තේ නිවෙස් තුළමය.

පකිස්ථානයේ ජාතික පක්ෂියා තෝරාගැනීම සඳහා එරට පැවති ළමා චිත්‍ර තරගයකදී, බොහෝ ළමුන් ඇඳ තිබුණේ, ඉන්දියානු හමුදාවෙන් එවන ඔත්තු බලන ඩ්‍රෝන යානාය.

ඉන්දියාව දැන් අඟහරු ලෝකයටත් යාමට සූදානම්ය. එහෙත් පකිස්ථානය තවමත් උත්සාහ කරන්නේ, කාශ්මීරයට ඇතුළුවීමටය.

ඉන්දියානුවන් තමන්ට සිනාසෙන බව, පකිස්ථානුවන්ටද රහසක් නොවේ. එනිසා ඔවුහු පෙරළා උපහාස මිසයිල් එල්ල කරති. මේ එබඳු ප්‍රතිප්‍රහාර කීපයකි.

ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයනට කොරෝනා වැළඳුණු නමුදු, ඉන්දියානු නායකයෝ ඉන් ගැලවී සිටිති. ඊට හේතුව ඔවුන් සමාජ දුරස්ථභාවය තදින්ම අනුගමනය කිරීමය. ඉන්දීය නායකයන් එක් මැතිවරණයකින් පසු, ජනතාව ඉදිරියට යන්නේ ඊළඟ මැතිවරණයේදීය.

ඉම්රාන් ඛාන් අගමැති වීමෙන් පසු, ඉන්දියානුවන්ට ද තම ජනපති ලෙස ක්‍රිකට් නායකයකු පත්කර ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා එම්.එස්. දෝනි හෝ විරාත් කෝලි නම් කෙරුණු නමුදු, එය නිෂ්ප්‍රභා වූයේ, ඔවුන් දෙදෙනාටම, ඉම්රාන්ට මෙන් වේග පන්දු යැවිය නොහැකි නිසාය. කෙසේ වෙතත්, ඉන්දියානුවන් සිත සනසා ගත්තේ, ඉම්රාන්ට වඩා වේගයෙන්, මෝදිට තේ හැදීමට පිළිවන් නිසාය.

ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික පවුලක, නිතර නිතර ආරවුල් ඇතිවිය. රෝ සංවිධානය මගින් ඒ බව දැනගත් විදේශ සේවාවේ උසස් තනතුරක් හොබවන ඔවුන්ගේ හිතවතකු එම නිවෙසට ගියේ, එම ආරවුල විසඳනු පිණිසය.

අඹු - සැමි යුවළ ඇමතූ නිලධාරියා මෙසේ කීවේය.

දැන් බලන්න, මායි නෝනයි අතරේ කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නෙ නෑ. ඒකට හේතුව, අපි දෙන්නා එකිනෙකාගේ වගකීම් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම.

ඒ කොහොමද?

මගේ නෝනා, ළමයින්ගෙ වැඩ, ගෙදරදොර වැඩ, බැංකු වැඩ, වගේ දේවල් බලාගන්නවා. මම ඉන්දු- පකිස්ථාන් ප්‍රශ්න, ඇෆ්ගනිස්ථාන්, කාශ්මීර් ප්‍රශ්න, ජංජාබ් ගොවීන්ගේ ප්‍රශ්න වගේ දේවල් බලාගන්නවා

ඒ ක්‍රමයත් නරකම නැත   

ඉම්රාන් ඛාන් ගැන කතා කරන විට, අර්ජුන රණතුංග ද මතකයට නැගෙන්නේ නිතැතිනි. ඉම්රාන් මෙන්ම ක්‍රිකට් නායකයකු වූ ඔහුට, අගමැතිකම තබා, ක්‍රීඩා ඇමැතිකමවත් දීමට අපේ රට - දේශපාලනය - කෘතඥ වූයේ නැත. (ස්පෝර්ට්ස් වෙනුවට, ඔහුට ලැබුණේ පෝර්ට්ස්ය.) මගේ පකිස්ථානු මිත්‍රයකු වරක් පැවසූ අන්දමට, ලෝක කුසලානය දිනූ අවධියේ, අර්ජුන, පකිස්ථානයේ ඡන්දයකට ඉල්ලුවා නම් උඩින්ම දිනුම්ය. එදා එය එසේ වී නම්, මෙදා, පකිස්තානු අගමැති ලෙස ලංකාවට එන්නේ, ඉම්රාන් ඛාන් නොව අර්ජුන රණතුංග වීමටද ඉඩ තිබුණි!

කපිල කුමාර කාලිංග