2021 ජනවාරි 02 වන සෙනසුරාදා

සිනාසෙනු හැර, වෙන කුමක් කරමුද?

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 216

දෙදහස් විස්ස ගෙවී ගොසිනි. ගෙවී ගිය තුන්සිය හැට පස් දවස ගැන, යළි සිතා බලන්නට හොඳම කාලයයි.

හිරු බැස යන වෙලාවට, ලෝකයේ සිටින කුඩා දරුවන්ටත්, හොඳ මිනිසුන්ටත්, කිසියම් ශෝකී බවක් දැනේ යැයි, ඉංග්‍රීසි කවියක සඳහන් වේ. එසේම, වසරක් ගෙවී යද්දී ද, එබඳුම ශෝකයක් මා තුළ ඇතිවේ. මා කුඩා දරුවකු හෝ හොඳ මිනිසකු නොවීම වෙනම කාරණයකි.

උපහාස තීරු රචකයනට, කාටුන් චිත්‍ර ශිල්පීනට හා විකට නළු නිළියනට, හාස්‍යය සහ උපහාසය යනු ජීවනෝපායකි. සියල්ල අලෙවි වන ලෝකයක, සිනාව පවා අලෙවි කළ හැකිවීම මහ පුදුමයක් නොවේ.

හාස්‍ය හා උපහාසය වෘත්තීකයනට අමතරව, වක්‍රාකාරයෙන් ඉන් වැඩ ගන්නා තවත් පිරිස් ද නැතුවා නොවේ. බොහෝ විට, පාර්ලිමේන්තුව ද ජනතාවට විනෝදය සපයන සිනා සාගරයක් වන බව අපි දනිමු.

සමහරුනට දිරවීම සඳහා ආහාර නැතිව සිටින අතර, සුළු පිරිසක් ආහාර දිරවීම සඳහා සිනාසෙති. සිනාව, ස්වභාවයෙන්ම අහිංසක වුවත්, ඒ සිනාව නම් කුහකය. කුරිරුය. පරපීඩකය.

ඒ කෙසේ වෙතත්, තමන් අවට ලෝකය දෙස සරදම් ඇසින් බැලීම, ඈත අතීතයේ සිටම මිනිසා තුළ පැවති හොඳ සිරිතකි. මුල්ලා නස්රුදීන්ලාගේ සිට, අපේ අන්දරේලා දක්වාමත්, ඉන් පසුව බිහි වූ නූතන යුගයේ, විහිළුකාරයනුත් පෙන්වා දෙන්නේ එයයි. අද දවසේ, ෆේස්බුක් ප්‍රමුඛ අන්තර්ජාල සන්නිවේදනය තුළ ද, ඔවුහු අරක්ගෙන සිටිති.

සිනාව ඉපිදෙන්නේ විහිළුව තුළය. උපහාසය ද සිනා උපදවයි. එහෙත් බොහෝ විට ඒ සිත තුළය. ඇතැම් විට, මුවගෙහි ද එම සියුම් සිනාව දැකගත හැකිය.

ලෝකයේ හොඳම සිනාව ඇත්තේ, බිළිඳුන් හා උම්මන්තකයන් අතර යැයි, කවට කතාවක් ඇත. සිනාව (හාස්‍යය) හොඳ මනෝ චිකිත්සාවක් බව, මනෝ වෛද්‍යවරු කියති. ඒ අනුව බලන කල, මම උම්මන්තකයකු නොව පළපුරුදු මනෝ චිකිත්සකයකු යැයි හඳුන්වා ගැනීමට වඩා කැමැත්තෙමි. (ඒ සඳහා නැගෙන විරුද්ධතාවන් ගැන සැලකිලිමත් නොවෙමි.)

සිනාව හා උපහාසය සිරගත කළ නොහැකිය. ඊට තහංචි පැනවිය නොහැකිය. කිසිවකු උපහාසයට බිය වන්නේ නම්, එය ද උපහාසාත්මකය. එබඳු පුද්ගලයා නූගතෙකි. නොඑසේ නම් අහංකාර, උද්දච්ඡයෙකි.

සිරි ලංකාවේ මිනිස්සු, හැමවිටම සිනාමුසුය. බුලත්විට හෝ සුරුට්ටුව කටේ තිබියදී පවා සිනාසීමට ඔවුන් දක්ෂය. අපේ සංචාරක ව්‍යාපාරයේදි යොදාගැනුණු සිනාසී, සංචාරකයන් පිළිගනිමු යන ප්‍රචාරක පාඨයේ පදනම ද ඒ යහපත්, ශීලාචාර ගතියයි.
ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් නම්, මුහුණට මුහුණ හමුවුවත් සිනා නොවෙති. ගුඩ් මෝනිං යැයි කියන්නේත්, විරවාගෙනය. සීත රටවල මිනිසුන් නම් සිනා නොවන්නේ, අධික ශීතලෙන් සිනාව ගල්වීම නිසා විය හැකිය. තවත් සමහර රටවල, මිනිසුන්ගේ සිනාව ගල්ගැසී ඇත්තේ, ආගමික අන්තවාදය හෝ දේශපාලන ත්‍රස්තවාදය නිසාය. එහෙත්, ඒ මිනිස්සු ද, රහසින් හෝ සිනාසෙන බව, රහසක් නොවේ. කොරෝනාව නිසා, දැන් කාගේ කාගේත් හිනාව, මාස්ක්ගත වී තිබීම කනගාටුවට කාරණයකි.

ලෝකයේ සමහර ජාතීන් තමන්ටම සිනාසීමට හපන්නුය. අයර්ලන්ත, පංජාබ්, ස්කොට්ලන්ත හා චීන ජාතිකයෝ ඒ අතර පෙරමුණ ගනිති.

අයර්ලන්ත ජාතිකයන්ගේ, ලෝක ප්‍රකට අයිරිෂ් ජෝක්ස් අතුරින් හරි අඩකටත් වඩා ඔවුන්ටම එල්ල කෙරෙන සරදම්ය. ඉන් එකක කියැවෙන පරිදි, අයිරිෂ්වරුන්ගේ ඉනිමං හි, ඉහළම පඩියේ, නවතිනු (Stop) යනුවෙන් ලියා ඇත. ඊට හේතුව, එසේ නැතිනම්, ඔවුන් තවත් ඉහළට යාමට තැත් කරන නිසාය!

පංජාබ් ජාතිකයකු (සීක) වන කුෂ්වන්ත් සිං ටොප් ක්ලාස් විහිළුකාරයෙකි. නවකතාකරුවකු, තීරු ලිපි රචකයකු හා පුවත්පත් කතුවරයකු ද වූ ඔහු, වැඩිපුර සිනාසුණේ තමන්ටමය. තම තමන්ටමය. ඔහු මැවූ සැන්ටා හා බැන්ටා චරිත, ලොව පුරාම ප්‍රසිද්ධ වූයේ, සීකයන්ගේ උපහාසලෝලීත්වය ද ප්‍රකට කරවමිනි. මේ ඔවුන්ගේ, විහිළු සාම්පලයකි.

සැන්ටා හා බැන්ටා, වෙළෙඳපොළකදී මුණගැසෙති. සැන්ටාගේ අතේ ඇති මල්ල දකින බැන්ටා මෙසේ අසයි.

සැන්ටා.. මොනවද ඔය මල්ලේ?

කුකුළෝ සැන්ටා කියයි.

ඔය මල්ලෙ කුකුළො කී දෙනෙක් ඉන්නවද කිව්වොත්, මට එකෙක් නිකං දෙනවද? බැන්ටා අසයි.

හරි.. තමුසෙ හරියටම කිව්වොත්, දෙන්නාම දෙනවා.

එවිට සැන්ටා මඳක් කල්පනා කර මෙසේ කියයි.

පහයි!

එක් දිනක්, සැන්ටා තුන්වැනි පෙළේ හෝටලයකට ගොඩවුණේ, ලාබදායී ආහාරවේලක් ගැනීමටය. එහි වේටර්වරයකුව සිටි, තම මිත්‍ර බැන්ටා දුටු සැන්ටාට ලැජ්ජා සිතුණි. ඔහු එය වසාගැනීමට මෙසේ ඇසුවේය.

ඒයි බැන්ටා, තමුසෙට ලැජ්ජ නැද්ද මේ වගේ කබල් හෝටලේක රස්සාව කරන්ඩ?

එවිට, බැන්ටා මෙසේ පිළිතුරු දුනි.

මම මෙතන වැඩ කෙරුවට, තමුසෙ වගේ මේකෙන් කන්න එන්නෙ නෑ!

පසුගිය වසර පුරාම, මම ඔබ සමඟ උපහාසයෙන් සිනාවෙන් කල් ගෙවූයෙමි. මගේ මනඃකල්පිත කාර්යාලයේ සේවය කරන රොබින්ලා, ජයේලා, සමරේලා ආදින්ගෙන්ද, මගේ පවුලේ උදවියගෙන්ද, යාළු මිත්‍රාදීන්ගෙන්ද, අසල්වැසියන්ගෙන්ද ලැබුණු සහාය (ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව) මහත් සේ අගයමි. ඒ සැමට ලබන වසරේදි කර්තෘභාග ගෙවීමට ද බලාපොරොත්තු වෙමි.

මේ වසර අවසානයේ ඇසූ, හොඳම විහිළුවක් සමඟින්, ඔබ සැමට සුබ 2021ක් පතමි.

ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට, කලබලයෙන් දිව හා ලේකම්වරයා මෙසේ කීය.

ලොක්කා! ඔයාගෙ වයිෆ්ට බබාලා තුන්දෙනෙක් හම්බවෙලා.

පිළිගන්න බෑ. වහාම රීකවුන්ට් එකක් ඉල්ලනවා. ට්‍රම්ප්, හොට උල් කෙරුවේය.

 කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00