ශබ්ද කෝෂය සංස්කරණය කඩිමුඩියේ කළ හැකි කාර්යයක් නොවෙයි. එය ක්‍රමයෙන් සියුම්ව ඉටුකළ යුතු රාජකාරියක්. කෝෂ ග්‍රන්ථකරණය ශ්‍රී ලංකාවට ආධුනික දෙයක් නොවේ. පොළොන්නරු යුගයේදී පවා කෝෂ ග්‍රන්ථ ලියැවුණා.
සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ත්‍රෛභාෂික ශබ්ද කෝෂයක් කාණ්ඩ දෙකකින් යුක්තව මුද්‍රණය කර තිබෙනවා. 1992 වනවිට ශබ්ද කෝෂයේ වැඩ අවසන්. නමුත් එහි සංස්කරණ නිතිපතා සිදුවෙනවා. ශබ්ද කෝෂ කාර්යාලයේ කාර්යය සැහැල්ලු කොට කතා කිරීම සුදුසු නැහැ. මේ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය තවදුරටත් පුළුල් කර නවීන තාක්ෂණික පහසුකම් ලබාදිය යුතුයි එලෙස පැවසුවේ සිංහල ශබ්දකෝෂයේ කර්තෘ මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතාය.
පසුගියදා සිංහල ශබ්දකෝෂයට වර්ෂ 90ක් පිරීම නිමිත්තෙන් උත්සව මාලාවක් සංවිධානය කර තිබුණි. එහි අවසන් දින උත්සවය පැවැත්වුණේ කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. එහිදීය මහාචාර්යවරයා ඉහත අදහස පළ කළේ.
තම 90 වැනි උපන් දිනය සැමරීමට සිංහල ශබ්ද කෝෂ කාර්යාලය විශාල වෙහෙසක් දරා වැඩසටහන් රැසක් ඉදිරිපත් කර තිබුණි. වර්ණවත් ආරාධනා පත්‍ර, අලංකාර සමරු කලාපද ඒ අතර විය. එහෙත් ආරාධනා පත්‍රයේ සඳහන් අයුරින් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා උත්සවයට සහභාගි වූයේ නැත. අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න මහතාද එහි රැඳී සිටියේ සුළු මොහොතක් පමණි. නියෝජ්‍ය අමාත්‍යවරයාද පැමිණ සිටියේ නැත. එපමණක් නොවේ රටට ජාතියට වැදගත් මේ උත්සවය සඳහා ආරාධිතයන් පැමිණ සිටියේද සුළු ප්‍රමාණයකි. පදනම් ආයතනයේ ආසන වැඩි ප්‍රමාණයක් තිබුණේ හිස්වය. ශබ්ද කෝෂ කාර්යාලයේ සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරින් හැරුණුවිට බාහිර ආරාධිතයන් පැමිණ සිටියේද කිහිප දෙනෙකි. මින් අදහස් වන්නේ අද නවීකරණය වූ සමාජයට සිංහල භාෂාව එපාවී දැයි අපි නම් නොදනිමු. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල හදාරණ සිසුන් පවා එයට සහභාගිවීම උනන්දු නොවූයේ ඇයි? ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය වැනි අවට විශ්වවිද්‍යාලවල සිය ගණනක් සිසුහු සිංහල හදාරති. ජනසන්නිවේදනය ඉගෙන ගනිති. ඒත් ශබ්ද කෝෂයකින් ඔවුන්ට වැඩක් නැති බවකි පෙනී ගියේ.
සිංහල ශබ්දකෝෂයට අභිමානවත් ඉතිහාසයක් සතුය. උත්සවය නම් කොට තිබුණේද 90 වසරක අභිමානවත් සැමරුම යනුවෙනි.
සිංහල ශබ්ද කෝෂයක වැදගත්කම ඉස්මතු වුයේ 1926දිය. එහි සම්පාදන කටයුතු ආරම්භ කළේ රාජකීය ආසියාතික සංගමයේ මෙහෙයවීමෙනි. මුල්ම කර්තෘවරයා වූයේ ඩී.බී. ජයතිලකය. ඩබ්ලිව්.එෆ්. ගුණවර්ධන සහ ඒ. මැන්දිස් ගුණසේකර කර්තෘවරු වශයෙන් පත් කෙරිණි. 1927 මාර්තු 21 දා ශබ්දකෝෂ කාර්යාලය ස්ථාපිත කෙරිණි. 1927 සිට 1941 දක්වා ශබ්දකෝෂ කාර්යාලය රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව යටතේ ක්‍රියාත්මක විය. 1941දී එය ලංකා විශ්වවිද්‍යාලය යටතට පවරා ගැනිණි.
1972දී ශබ්දකෝෂ කාර්යය කඩිනම් කිරීම සඳහා එය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතට පත් කෙරිණි. සිංහල ශබ්දකෝෂය සම්පූර්ණ වූයේ 1992දීය. එහි ශිර්ෂ වචන 206692ක් ඇති අතර වචනවල අර්ථ දැක්වීමට වැය වී ඇති පිටු ගණන 13687කි. මේ වනවිට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂයද සිංහල - සිංහල සංක්ෂිප්ත ශබ්ද කෝෂයද සිංහල දෙමළ ඉංග්‍රීසි ත්‍රෛභාෂික ශබ්ද කෝෂයේ වැඩකටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මකය.
ශ්‍රීමත් ඩී.බී. ජයතිලකගෙන් පසු මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්, මහාචාර්ය එම්.ඩී. රාජසූරිය, ජූලියස් ද ලැනරෝල්, ආචාර්ය පී.බී.එස්. විජේරත්න, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහචාර්ය ඩී.ජේ. විජයරත්න, ආචාර්ය පී.බී. සන්නස්ගල, මහාචාර්ය විමල් ජී. බලගල්ලේ, මහාචාර්ය විනී විතාරණ සහ මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන යන විද්වතුන් එහි කර්තෘ පදවිය දැරූහ. මෙතරම් මාණික බුද්ධිමතුන් යටතේ ියාත්මක වුණු සිංහල ශබ්ද කෝෂය අද පරපුර වෙතින් ඈත්ව පැවතීම කනගාටුවට කරුණකි. සිංහල ශබ්ද කෝෂයක් තිබේද කියාවත් වැඩිදෙනෙකු දන්නේ නැත. එහෙත් ශබ්ද කෝෂය නවීන සමාජයට මුසුවීමට අවශ පියවර ගනිමින් සිටීම සතුටට කරුණකි.
ශබ්දකෝෂ කාර්යාලය මගින් වර්තමානයේ සමාජයීය අවශ්‍යතාවන් සලකා ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ශබ්දකෝෂ ජංගම යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම, ශබ්දකෝෂය අන්තර්ජාලයට එක් කිරීම, ඒ අතරින් වාපෘති කිහිපයක්.
ඇත්තටම ශබ්දකෝෂය භාෂා සංස්කරණය හා භාෂා පර් යේෂණය වෙනුවෙන් වටිනා කාර්යභාරයක් ඉටුකරනවා. නිවැරදි භාෂා වවහාරයටත් එය සහාය වෙනවා. මේ නිසා ශබ්දකෝෂය ජනගත කිරීමත්, එහි අගය පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමත් අතවශයයයි. ඒ වර්තමාන කතුවර මහාචාර්ය අබේසිරිවර්ධනගේ අදහස විය.
භාෂාව ගැන මෙලෝ හසරක් නොදන්නා තරුණ පෙළක වර්ධනය වන සමාජයක ශබ්ද කෝෂය ජනගත කිරීම කඩිනමින් කළ යුතු වැඩකි. ඒ සඳහා අදාළ බලධාරීන් වහා යාත්මක විය යුතු කාලය එළඹ තිබේ.
කුසුම්සිරි
සේයාරුව l රොමේෂ් ධනුෂ්ක සිල්වා