මෑන් බුකර් සම්මානය මුල්වරට අමෙරිකානුවකු දිනා ගත්තේය. නිකම්ම නිකම් අමෙරිකානුවෙක් නොවේ, කළු අමෙරිකානුවෙක්ය. කල්ලන් සල්ලං කරන බවට කටමැත දෙඩවූ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි කාලයේදීමය. මේ නිසාම ඔහු ලියූ අපූරු පොත ලෝකයේ දැඩි අවධානයකට කතාබහකට යොමුවිණි. The Sellout නම් වූ එහි පිටපත් ලක්ෂ 3ක් පන්නා විකිණී තිබුණේ උණුකැවුම් ලෙසිනි.
සැබැවින්ම The Sellout සුද්දන්ගේ ගෝත්‍රිකවාදයට බැටදෙන්නන් හට හොඳ කටගැස්මක්ව ඉදිරිපත්ව තිබේ. මෙතෙක් කලක් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලටත්, බ්‍රිතාන්‍යය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ රටවලටත් සීමා වී තිබූ බුකර් සම්මානය සඳහා අමෙරිකානු ලේඛකයන් ඇතුළු ලෝකයේ ඉංග්‍රීසියෙන් ලියන ඕනෑම ලේඛකයකු සඳහා දොර විවර වුණේ වසර හතරකට පෙර 2014 සිටය. පළමු වතාවට පෝල් බීටී නම් කළු අමෙරිකානු ලේඛකයා හට මේ සම්මානය හිමිවූයේ ඒ අනුවය.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ආශ්‍රිත ඩිකෙන්ස් නම් වූ මනඃකල්පිත ටවුමේ උපන් බොන් බොන් නමැති අරුමෝසම් තරුණයාගේ දුක්ඛ දෝමනස්සයන් සදය උපහාසයෙන් යුතුව මෙහි ඉදිරිපත්ව තිබේ. සමානාත්මතාව, මානව හිමිකම්, මහා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රසිද්ධියේ වගාඩම්බර දෙසන අමෙරිකාවේ කල්ලන්ට එරෙහි සැඟවුණු ගෝත්‍රිකවාදයේ සැබෑ ස්වරූපයට අත දිගුකර මහහඬින් ප්‍රසිද්ධියේ සිනාසීමට පෝල් The Sellout මගින් කටයුතු කර තිබෙන බව විචාරක මතයයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිකවාදී පාරම්බෑමකින් යුතුව ජනපති පුටුවට ගොඩවදිද්දී කළු ජාතිකයන්ට එරෙහි පොලිස් ප්‍රහාර මාලාවක්ද කලඑළි බසී. කල්ලන්ගේ වටිනාකම තහවුරු කරන්නට මුල්වන Black lives Matter විරෝධතා ව්‍යාපාරය ඇරැඹෙන්නේද මේ අතරය. ගෝත්‍රිකවාදයට එරෙහිව ක්‍රියාකරන සිය පරමාදර්ශී චරිතය වන පියා කල්ලෙකු වීම නිසාම පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග නන්නත්තාර වන පුත්‍රයෙකුගේ වේදනාත්මක ශෝකාලාපය මගින් ආයතනගත වර්ගවාදී ක්‍රියාකාරීත්වයට උපහාසාත්මකව සිනාසීමට සමත්වූ The Sellout එළියට එන්නේ මේ සමගමය.
ඒක හරියටම මිනිස්සු පිරිච්ච චිත්‍රපට ශාලාවක් ඇතුළෙදි එකපාරටම කවුරුහරි ගිනි ගන්නවෝ! කියලා මොරදුන්නා වගේ වැඩක් ගෝත්‍රවාදයෙන් මිදුණු බව කියන ව්‍යාජ ලෝකය ඉදිරියේ පෝල් ජාතිවාදියෝ යැයි මොර දෙනවා යැයි කියන්නේ වෝල් ස්ට්‍රීට් ජර්නලයයි. අමන්දා ෆෝර්මන් නමැති බුකර් විනිසුරු මඩුල්ලේ සභාපතිනිය මේ ග්‍රන්ථය ගැන ඉහළින්ම කතාකර තිබේ.
ප්‍රබන්ධය හැමවිටම සුඛනම්‍ය විය යුතු නැහැනේ. ඇත්ත හැමවිටම ලස්සන නෑ. ෙම් ඒ වගේ වැඩක්. මේක අපේ කාලයේ පොතක්. පෝල්ගේ ලියැවිල්ල හරියටම පාඨකයාව කුරුසේට ඇණගහලා කිති කවනවා වගේ. ඔහුගේ කතා ශෛලිය අපිව හිනාගස්සනවා වගේම වේදනාවෙන් ඇකිලීමට ලක්කරනවා. මේක හරි අමාරැ රචනයක්. සංගීත රචනාවක් වගේ එය ක්‍රමානුකූලව පැතිර යනවා. ජොනතන් ස්විෆ්ට් නැතිනම් මාර්ක් ට්වේන් දෙන්නාගෙන් පස්සේ මේ වගේ සූර සදය උපහාසය පිරි ලේඛකයෙක් මුණගැහුණාම තමා. බුකර් සම්මානයට හිමි පවුම් 50000 සහ අවසන් වටයට තේරීම උදෙසා හිමි පවුම් 25000 පිරිනමමින් අමන්දා එසේ කියා තිබුණි.
The Sellout ඔහුගේ මුල්ම ග්‍රන්ථය වීමත්, පෝල් තමන් අකමැතිම රාජකාරිය ලිවීම යැයි කීමත්, ඔහුට උගැන්නූ මහාචාර්යවරයකු තමුන් නම් කවදාකවත් ලේඛකයෙක් වෙන්නේ නෑ යැයි නියත විවරණයක් දී තිබීමත් මෙහි ඇති අපූරැ උපහාසාත්මක උත්ප්‍රාසයයි. ඉතින්, එහෙනම් The Sellout බලමු. අඬ අඬා හිනාවෙමු!
සුගත් පී. කුලතුංගආරච්චි