2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

මගී යාත්‍රාවක් අනතුරට

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 193

2020 වසරේදී සිදුවීමට නියමිත චන්ද්‍රග්‍රහණ තුනක් දැනට සිදුවී අවසන්ය. වසර තුළ සිදුවන අවසන් චන්ද්‍රග්‍රහණය ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස මෙම නොවැම්බර් මස 30 වැනි සඳුදා සිදුවනවා ඇත. සඳුට අයත් රෙහෙණ නැකැත උදාව දෙවැනි පාදය පවතිද්දී හා කිවිට අයත් වෘෂභ රාශිය උදාව පවතිද්දීත් සිදුවන ඡායා චන්ද්‍ර ග්‍රහණය හේතුවෙන් ඇමෙරිකානු රටවලටත් ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ජපානය, චීනය ආශ්‍රිත රටවල් හා දූපත්වලටත් බලපෑම් ඇතිවනු ඇත. එහි අතුරු ඵල විපාක ආසියාතික රටවලට හා ඉන්දියාවට මෙන්ම අප රටටද ඇතිවනු ඇත. ඉදිරි දින 180ක් යනතුරු මෙහි බලපෑම සිදුවනවා ඇත. මෙම ග්‍රහණයට පෙර දින 7ක්ද පසුදින 7ක්ද ශුභ කටයුතුවලට යොදා නොගත යුතුවේ.

හදිසි කාලගුණික විපර්යාස ඇතිවීමත් ප්‍රබල භූ චලන ඇතිවීමෙන් ජල ගැලිම්ද, ජීවිත දේපල විනාශ වීම්ද, ගොඩනැගිලි බිඳ වැටීම්ද වාර්තාවනු ඇත. මගීන් 100කට ආසන්න ප්‍රමාණයක් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් ජීවිත විනාශයක් පිළිබඳ වාර්තා වන අතර රට රටවල් අතර විදේශීය සම්බන්ධතා බලවත් වන කාලයක්ද වේ. ආගමික පූජ්‍ය පක්ෂයේ අයට මෙන්ම නීතිවේදීන්ටත් මාරක අපලද රෝග වැළඳීම්ද සිදුවන අතර මහජන නියෝජිත මන්ත්‍රීවරුන් අතර වාද විවාද ආරවුල් ඇතිවීමත් බහුල වේ. බහුලව රෝග පීඩාද මාරකද ඇතිවීමක් වාර්තාවන අතර වෛරස් රෝග ව්‍යාප්ත වීමත් හදිසි නායයෑම් ගොඩනැගිලි ගිලා බැසීමට ඉඩ වැඩිය.

මීළඟට ඔබට

මේෂ - ව්‍යාපාරවලට හොඳයි

ඔබට යහපත් වන අතර පවුල් දිවියේ සමගිය ඇතිවීමත් අවිවාහක අයට මංගල යෝග උදාවීමත් සිදුවනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ශුභඵල ඇතිවීමක්ද වනු ඇත.

වෘෂභ - වාහන මිලදී ගැනීම්

ආගමික කටයුතු සඳහා වැඩි වශයෙන් නැඹුරු වන කාලයක් වේ. අන් අය කෙරෙහි හිත ඇදී යන අතර භූමිය ආශ්‍රිතව කටයුතුවල නිරත අයට ශුභඵල අත්වනු ඇත. වාහන මිලදී ගැනීම්වලට යහපත් වන කාලයක්ද වේ.

මිථුන - ගමන්වලින් පීඩා

ඔබට අයහපත් වන අතර පිටස්තර අයට වැඩකර අමාරුවේ වැටෙන කාලයක්ද වේ. ගමන්වලින් හදිසි පීඩා ඇතිවීමත් උණ ආදී වසංගත රෝග ඇතිවීමත් සිදුවන කාලයක් බැවින් පරිස්සම් වන්න.

කටක - ලැබීම් වැඩියි

තම නිවසේ අලුත්වැඩියාවක් සිදුකරන කාලයක් වේ. ලැබීම් මාර්ග ඇතිවන අතර හිතමිතුරන්ගේ උදව් උපකාරද ලැබෙනු ඇත. විශාල වශයෙන් මුදල් යොදවා කටයුතු නොකළ යුතු කාලයක්ද වේ.

සිංහ - නිර්මාණශීලී අදහස්

මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල අත්වනු ඇත. සිතේ සහනය අඩුවනු ඇත. නිර්මාණශීලී අදහස් ජනිත වන අතර, තම කලාත්‍රයාට හදිසි රෝග පීඩා මතුවනු ඇත.

කන්‍යා - හදිසි අනතුරු

 පවුල් දිවියේ සමගිය පළුදු වනු ඇත. වැඩිපුර තමා ගැන සිතා කටයුතු කරනවා ඇත. ලියවිලිවලට අත්සන් ගැනීමේදී පරිස්සම් විය යුතුයි. හදිසි ශරීර පීඩා අනතුරුද ඇතිවන කාලයක් වේ.

තුලා - සතුරන් පරදී

ආර්ථික අපහසුතා ඇතිවන අතර තමන්ට යම්කිසි දෙයක් ලබාගැනීමට නොහැකිව තිබුණේ නම් එය ලබා ගැනීමට හැකියාව අත්වන කාලයකි. තමාට එරෙහිව පැවති සතුරු උපද්‍රව පරාජයට පත්කර ගත හැකි කාලයකි.

වෘශ්චික - පවුලේ සමගිය

ළඟින් ඇසුරු කළ අයකුගෙන් උදව් උපකාර අත්වන කාලයක්ද වේ. පවුල් දිවියේ සමගිය ඇතිවනු ඇත. අන් අය අතර ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට හැකිවේ. ඇස්වල රෝග පීඩා මතුවනු ඇත.

ධනු - ආර්ථික අපහසුතා

ඉඩකඩම් මිලදී ගැනීමට යහපත් වන අතර හවුල් කටයුතුවලින්ද ඵල අත්වනු ඇත. ජලය ආශ්‍රිත පීඩා ඇතිවන අතර ආර්ථික අපහසුතා තැන්පත් ධනය වියදම් වී යාමද ඇතිවනු ඇත.

මකර - මංගල යෝජනා

තාක්ෂණික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත. අන් අයට හිත ඇදී යන කාලයකි. අවිවාහක අයට මංගල යෝජනා උදාවනු ඇත. නීතිමය ප්‍රශ්නවලට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව වැඩ කරන්න.

කුම්භ - නිවස අලුත් වේ

තම දේ රැකගෙන කටයුතු කිරීමට උත්සාහ දරණ කාලයක් වේ. අලුතින් නිවසට කොටසක් එක් කිරීමට හෝ අලුත්වැඩියාවක් කිරීමට යන කාලයක් වේ. බෝවන රෝග වැළඳීමේ අවදානමක් ඇති බැවින් පරිස්සම්වන්න.

මීන - වැඩ ප්‍රමාදයි

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභඵල අත්වන අතර යම් යම් වැඩවල ප්‍රමාද ගති ඇතිවේ. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ශුභ වනු ඇත. සහෝදර සහෝදරියන් අතර හොඳ හිත වර්ධනය වනු ඇත.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය, ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00