2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

රෝග ව්‍යාප්තිය ඉහළට

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

ග්‍රහ මණ්ඩලයේ රජු වූ රවි ග්‍රහයා තමාට නීච රාශි භවන වූ කිවිට අයත් තුලා රාශියට 2020 ඔක්තෝබර් මස 17 වැනි ශනි දින උදේ 7 පසුවී විනාඩි 5ට පිවිස 2020 නොවැම්බර් මස 16 වැනි සඳු දින උදේ 6.54 දක්වා එසේම නීචව ගමන් කරයි. මේ අතර ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට නීච රාශි භවන වූ බුධට අයත් කන්‍යා රාශියට 2020 ඔක්තොම්බර් මස 23 වැනි කිවි දින උදේ 10 පසුවී විනාඩි 45ට පිවිස 2020 නොවැම්බර් මස 17 වැනි කුජ දින පාන්දර 1 පසුවී විනාඩි 3 දක්වාම නීචව ගමන් කරනු ඇත.

රවි ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් නීචව ගමන් කරන මෙම කාල වකවානුව තුළ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඉතා අයහපත් වූ අවාසනාවන්ත සිදුවීම් රැසක් ගෙනදෙන කාල සමයක් බව කිව යුතුව ඇත. 

වායුගෝලයේ වාතය තෙත ගතියෙන් යුක්ත වන කාලයක් වන අතර හදිසි ජල විපත්ද ඇතිවීමෙන් කෘෂි භෝග විනාශ වීම්ද සිදු වනු ඇත. රට තුළ කොරෝනා රෝග තත්ත්වය තවතවත් ව්‍යාප්ත වීම සමඟත් නැවත වරක් ආරක්ෂක අංශවල නිරත අයට රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් උද්ගත වන බැවින් ආරක්ෂක අංශවල නිරත අය ඉතා පරිස්සම් විය යුතු කාලයක් වේ. එමෙන්ම මෙම රෝග තත්ත්වය මත ඉහළ වයස්වල කාන්තා හා ළමා මරණද වාර්තා වන කාලයක් බැවින් වයස්ගත අයද පරිස්සම් විය යුතුයි. අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මහජන විරුද්ධතාද ඇතිවන අතර රෝහල් සඳහා විදේශ පරිත්‍යාග ලැබීම්ද ඇතිවනු ඇත. මහජන නියෝජිතයන්ට රාජ්‍ය නායකයන්ද මෙම කාලය අයහපත් වන අතර මාරක හා සමාන සිද්ධි ඇති වේ. රටේ ආර්ථිකයේ විශාල කඩාවැටීමක් සිදුවන අතර ව්‍යාපාරික කටයුතු මෙන්ම බැංකු හා මූල්‍ය කටයුතුවලට ද අයහපත් වේ. ආගමික නායකයන්ට හා ගුවන් මහා මාර්ග කටයුතුවලට සම්බන්ධ අයට අයහපත් කාලයක් වේ.

මේෂ - බඩේ දැවිලි ගති

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ඔබගේ හවුල්කරුවන්ගෙන්ද යම් යම් ප්‍රශ්න ඇතිවිය හැකිය. ශරීරයේ ඌෂ්ණ ගතිය ඇතිවන අතර බඩේ දැවිලි ගති ඇති වේ. ඒ ආශ්‍රිත පීඩා මතු වනු ඇත.

වෘෂභ - වෛරස් රෝග

නෑදැයන්ගෙන් ඔබට ප්‍රශ්න මතු වන කාලයක් වේ. ගමන්වලින්ද පරිස්සම් විය යුතු අතර හදිසි ශරීර පීඩාද මතුවනු ඇත. උණ වෛරස් රෝගාබාධවලින්ද පරිස්සම් විය යුතු කාලයක් වේ. අනවශ්‍ය ගමන් යාමෙන් වළකින්න.

මිථුන - සමගිය පළුදු වේ

ඔබගේ යම් යම් කටයුතු අතපසුවීම්වලට ලක්වන කාලයක් වේ. දේශපාලනික කටයුතුවල නිරත අයට ශුභවන අතර පවුල් දිවියේ සමගිය පළුදු විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

කටක - කාර්යයන් සාර්ථකයි

පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු අතර සිතේ සහනය ද අඩුවනු ඇත. තම මතයට කටයුතු කරමින් තමාගේ කාර්යයන් රුසක් සාර්ථක බවට පත්වන කාලයක් ද වේ.

සිංහ - නිර්මාණශීලී අදහස්

සිතේ ප්‍රශ්න ඇතිවන කාලයක් වේ. නිර්මාණශීලී කටයුතුවලට යහපත් වනු ඇත. අනවශ්‍ය ගමන්බිමන්වලින් කරදර ඇතිවිය හැකි බැවින් ඒවා සීමා කළ යුතු වේ. ශරීර සුවතාව කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න.

කන්‍යා - ආර්ථික අපහසුතා

ඔබට එතරම් යහපත් නොවන කාලයක් වේ. ඔබගේ උත්සාහයේ තරමට ඵල අත් නොවන අතර ආර්ථික අපහසුතා ද ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩා ඇති වන අතර බෝවන රෝගවලින්ද පරිස්සම් වන්න.

තුලා - කැපී පෙනෙන තත්ත්වයක්

ඔබට අයහපත් ඵල අත්නොවන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. තම කටයුතු බාධක මධ්‍යයේ වුවද ඉටු කරගත හැකිවන සමයක්ද වේ. හිසේ පීඩා කැක්කුම් ඇතිවන කාලයකි.

වෘශ්චික - කටයුතු අඩපණයි

ඔබට අයහපත් කාලයක් වේ. ඔබගේ කටයුතු අඩපණ වන අතර ගමන්වලින්ද පරිස්සම් විය යුතු කාලයක් වේ. බෝ වන රෝගවලින් ද ඇස් ආශ්‍රිත පීඩාවලින්ද පරිස්සම් වන්න.

ධනු - දේශපාලනයට හොඳයි

ඔබට අයහපත් ඵල අත් නොවනු ඇත. දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. ඔබගේ යම් යම් කටයුතුවල ප්‍රමාද වීම් ඇතිවන කාලයක් ද වේ.

මකර - ප්‍රශ්න මගහැරේ

ඔබට අයහපත් ඵල අත්නොවන නමුත් බෝවන රෝගවලින් පරිස්සම් විය යුතුය. සිතේ සහනය අඩු වන අතර සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යනවා ඇත. පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටීමද යහපත් වේ.

කුම්භ - වැඩ අතපසුවීම්

අයහපත් ඵල ගෙන දෙන අතර ඔබ කරන කටයුතුවලට බාධා ද ඇතිවනු ඇත. යම් යම් වැඩවල අතපසු වීම්ද වන අතර හදිසි ශරීර පීඩා ඇතිවන අතර බෝවන රෝගවලින්ද පරිස්සම් ද විය යුතුය.

මීන - හදිසි ශරීර පීඩා

ඔබට ඉතා අයහපත් ඵල ගෙනදෙන අතර පරිස්සම් විය යුතු කාලයක් වේ. ආර්ථික පාඩුද ඇතිවන අතර ගමන්වලින් හදිසි ශරීර පීඩාද ඇතිවනු ඇත. මේ නිසා දුර ගමන් යාමෙන් වැළකී සිටින්න.

රාජ්‍ය නැකැත් කමිටු සාමාජික
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල